ජේ. බී.- අමරදේව හිටිවන කවියෙන් හොයා ගනිති

Pandith Amaradevaඅගනුවර තරුණ කවි සමාජයේ (අතකස) 82 වැනි සංවත්සරය හා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ පසුගිය 20 වැනිදා ඉරිදා දෙහිවල එස්‌. ද එස්‌. ජයසිංහ ශාලාවේදීයි. ඒ මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන්ගේ ප්‍රධානත්වයෙන්.

මහාචාර්යතුමා එහිදී කීවේ කවි ලියන්න වෙනම බසක්‌ හෙවත් කව්ලැකියක්‌ තිබෙන්නේ සිංහල භාෂාවේ පමණක්‌ බවයි. සිංහලයන්ගේ ‘ඇඟේ’ හිටිවන කවිය තිබෙන බවත් සිංහලයකු නම් හිටිවන කවි කිව හැකි බවත් මහාචාර්යතුමා කිව්වා.

තමන්ගේ ජීවිතයේදී හිටිවන කවියෙන් ලැබූ අද්දැකීම් විස්‌තර කරන්නත් මහාචාර්යතුමා අමතක කළේ නෑ. අපි එතුමාගේ ‘හඬට’ කන් දෙමු. ඒ වගේම හිටිවන කවිය හා බැඳිච්ච මගේ ජීවන අද්දැකීමක්‌ කියන්න කැමතියි.

අලුත්ගම කන්දේ විහාරයේ තිබුණ කවි මඩුවකට මටයි අමරදේව මහත්තයාටයි ආරාධනාවක්‌ ලැබිලා තිබුණා. අපි පන්සලට ගිහින් බහින කොට නායක හාමුදුරුවොත් හිටියා. අමරදේව මාස්‌ටර්ට මම කිව්වා කවි මඩුවකට යන නිසා කවියක්‌ කියමුද දෙන්නත් එක්‌ක කියලා. ඔරලෝසුවෙන් වෙලාව බලලා මම පළවැනි පදය කිව්වා.

“දැන් වේලාව හරියට හතකුත් කාලයි” කියලා. එවිට අමරදේව මහතා කීවා “ඒ වුණාට අපි ආවේ නොකාලයි” කියලා. බලන්න ඒක කොයිතරම් වටිනවද කියලා. ඒක අහපු නායක හාමුදුරුවෝ කිව්වා “බහින්න… බහින්න… අන්න දාන ශාලාවේ ඔක්‌කොම තියනවා” කියලා. හිටිවන කවිය එවැනි ප්‍රකාශන මාධ්‍යයක්‌.

ඒ කවි මඩුවේ ආරාධිතයන් හැටියට හිටියේ අමරදේව මහත්තයායි, මමයි, මර්සිලින් ජයකොඩි පියතුමායි. පන්සලේ පියතුමා කියලයිනෙ එතුමට කියන්නෙ…

එදා අපිව පිළිගත්තේ ජී. ඇම්. අජිත් කවියා. ඔහු මර්සිලින් ජයකොඩි පියතුමාව පිළිගත්තේ මෙහෙමයි.

jb disanayake

කුරුසිය ගෙලේය
අතකින් බයිබලේය
පියතුම දිළේය
වැඩිය ලස්‌සන පන්සලේය

 

ඊට පස්‌සේ ජී. ඇම්. අජිත් කවියා පිළිග්තේ අමරදේව මහත්තයාව. ඒ මේ විදිහට.

සංගීත රාවය
දෙසවනට දෙයි ජීවය
ඔහු අමරදේවය
තාම සරසවි ඔහුගෙ ගාවය

මගේ ගැනත් කිව්වා ජී. ඇම්. කවියා. හැබැයි අතිශෝක්‌තියෙන්.

ලොවෙන් ලද ගරුසරු
දිසෙයි ජේ. බී. මහැදුරු
වියතෙක්‌ය බස හුරු
වාසනාවන් එහෙම ගුරුවරු

බලන්න කොයිතරම් ලස්‌සනට හිටිවන කවියකින් අදහස්‌ ඉදිරිපත් කරන්න පුළුවන් ද කියලා.

හැබැයි මට හොඳටම මතක හිටින කවිය කිව්වේ තිහාරියේ මානෙල් කවියා. ඒකෙන් පද දෙකයි මතක.

දැක දැක නිබඳ සරසවි ළඳුනගෙ නාබී
කලිසම ඇඳන් හෙළ බස රැකපන් ජේ.බී.

ඒ පද දෙක එහෙමයි… මම අදටත් කලිසම අඳින්නේ ඒකනේ. (සභාවේ හිනා)

හිටිවන කවි කීම සිංහල අපේ ඇඟේ තියනවා. ඔබ සිංහලයෙක්‌ නම් ඔබට පුළුවන් හිටිවන කවි ගොතලා කියන්න. උපන් දා අම්මගෙන් නැලවිලි ගීය අසා පටන් ගත්තාම අපි මැරෙනකම්ම කවි කියනවා. සල්ලි තිබුණත් නැතත් කවියා වචනවලින් පොහොසත්.

* අනුරාධ හිරිපිටියගේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.