පළමු මරාගෙන මැරෙන කොටි සෙබළ මිල්ලර්ගේ අම්මා කියූ කතාව

millorමේ ලංකාවේ පත්තර ඉතිහාසයේ පළමුවැනි වතාවට මිල්ලර්ගේ අම්මා තම්බුවල්ලිපුරම් කමලාදේවී එක්ක සිංහල පත්තරයක් කරන සම්මුඛ සාකච්ඡාව. මිල්ලර් කියන්නේ පළමු වරට මරාගෙන මැරුණු කොටි සෙබළා. අපිට මේ වතාවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් විදියට පෙනී හිටින්න වුණා. ඒකට අපිට අපේ පෙනුම පවා වෙනස් කර ගන්න සිද්ධ වුණා. එහෙම කරලා ඒ අම්මව රවට්ටන්න වීම ගැන අපි ඇගෙන් සමාව ඉල්ලනවා. අපි එහෙම කළේ මේ හදගැස්ම ඔබට නෑසෙන නිසා. එකම රටක කිලෝ මීටර් සීයක දෙසීයක පරතරයක් අස්සේ අපි නාදුනන මිනිස්සු වෙලා . ඒ අයගේ කතාව අපි දන්නේ නෑ. අපේ කතාව එයාලා දන්නේ නෑ. දැන් මේ පරතරය පියවන්න කාලෙ හරි. අපි වෙස් මාරු කරගත්තේ ඒ වෙනුවෙන්.

අපි මිල්ලර්ගේ ගෙදරට යනකොට අපිව පිළිගත්තෙ මිල්ලර්ගේ අක්කා. ඈ දෙතුන් වතාවක් අපි ගැන අහලා අපේ මාධව කුලසූරියගේ දෙමළ උච්චාරණය පිළිගත හැකියි කියලා සහතික කර ගත්තා. ඊට පස්සෙයි ඈ අම්මට පණිවුඩයක් යැව්වේ. ඈ සිනාමුසු මුහුණින් කොහෙදෝ ඉඳලා ආවා. අපේ උතුරේ මිතුරෝ අපිට ඈ ගැන කියලා තිබුණෙත් නල්ල අම්මා කියලා. ඇත්තටම ඈ පුදුම විදියට ප්‍රසන්නයි. ඈට ඒ වෙනකොට තිබුණු ලොකුම ප්‍රශ්නෙ දැඩි දාහය.

රස්නෙයි නෙ , හරියට ඈ හිනාහෙමින් කිව්වා. අපි කතාව පටන් ගත්තා.

යුද්දේ කොහොමද?
මොන යුද්දෙද ඉතින් දැන්? දැන් ඒවා ඉවරනේ.

යුද්දෙට කැමතිද?
යුද්දෙට කවුද කැමති. යුද්දෙට කවුරුත් කැමති නෑ . හොයලා බලන්න සිංහල අයත් කැමති නෑ ඔය හමුදාවෙ අයවත් කැමති නෑ අපේ කට්ටිය කැමතිත් නෑ

දැන් කවුද අම්මත් එක්ක මෙහේ ඉන්නේ?
මමයි, දුවයි, දුවගෙ මහත්තයයි.

අනෙක් දරුවෝ?
එක්කෙනෙක් කැනඩාවේ, මට දුවයි, පුතාලා දෙන්නයිනේ. කැනඩාවෙ ඉන්නෙ පොඩි පුතා ලොකු දුව ලංකාවේ ඉන්නේ.

එතකොට මිල්ලර්?
එයාගේ නම මිල්ලර් නෙමෙයි. එයා වල්ලිපුරම් වසන්තම්. එයා තමයි මැද කෙනා.

දැන් එයාව මතක් වෙන්නේ නැද්ද?
අම්මෙක්ට කවදාවත් පුතෙක්ව අමතක වෙනවද? එයා දැන් හිටියා නං ලොකු මහත්තයෙක් වෙලා ඉදීනේ. මාව බලන්න එයිනේ අම්මා කියාගෙන. මම බත් කවන්න හදනකොට එයා දුවයි ඇති ඇති මට වැඩ තියෙනවා කියලා. එයා ඉස්සර එහෙමයි. මම තරහ වුණාම ආයෙ ආපහු ඇවිල්ලා කනවා. එයා මගේ ලොකු තුතා. හැබැයි මම එයා ගැන ආඩම්බරයි. මම එයාට හැමදාම පිච්ච මල් මාලයක් දානවා. එයා දිහා බලාගෙන ඉන්නවා. එයා ගියේ අපිව මහ පිරු පවුලක් කරලනේ.

ඒත් එයා කරපු වැඩේ හරිද?
එහෙම වුණේ ඇයි කියලා ඔයාලා දන්නවනේ.

අම්මා හිතන්නේ කොහොමද?
එයාව දන්නවද ඔයාලා? එයා ඔයාලට වඩා ලොකු ඇති වයසින්, එයා හුගක් දක්ෂයි. එයා ඉගෙන ගන්න හරිම හපනෙක්, එයාට ඕන වුණේ ඉගෙනගෙන ඉස්සරහට යන්න. එයා නඩුකාරයෙක් වෙයි හිටියා නං, ඒත් එයා මැරුණනේ . පව් එයා.

ඉතින් ඇයි එයා සංවිධානෙට ආවේ?
එයාට සංවිධානෙට එන්න වුවමනාවක් තිබ්බේ නෑ.

එහෙනං ආවේ?
එයා දවසක් පන්ති ගියා. හවස එදා එයා ගෙදර ආවේ නෑ. අපි හෙව්වා. එයාගේ තාත්තා බැංකු මැනේජර් ඒ නිසා එයාව ඔක්කොම දන්නවා. එයාව අරගෙන ගිහිල්ලා කිව්වා. පස්සේ එයා ආවා.

එයාට මොනවද වුණා කිව්වේ?
එයා තෙල්ලිඅඩිවල ඉන්න කොට හමුදාවෙන් අරගෙන ගිහිල්ලා තිබුණා. අරගෙන ගිහිල්ලා එයාට හොඳටම ගහලා ඒ ගහලා තියෙන්නේ වැරැද්දක් නැතිව. ඊට පස්සේ මෙයා හිටියේ හුගාක් කලකිරිලා. ඔහේ බලාගෙන හිටියා. අපි මොනවා කිව්වත් ගාණකට ගත්තේ නෑ ඊට පස්සේ එයා ආයෙ අතුරුදන් වුණා.

ඒ කියන්නේ?
එයා එහෙම තමයි සංවිධානෙට ආවේ. අපිට කරන්න දෙයක් තිබ්බේ නෑ.

එයා ගෙදර ආවේ නැද්ද?
නෑ ගෙදර එන්න දෙන්නේ නෑ එයා ආවෙත් නෑ ටික දවසකට. ඊට පස්සේ එයා ඉන්දියාවේ යනවා කියලා ඇවිල්ලා කියලා ගියා.

එපා කිව්වේ නැද්ද?
මිනිස්සු මරනවට අපි කැමති නෑ සිංහල, දෙමළ, කියලා නෑනේ ඒත් එයා ගියා.

ඒ කොයි කාලෙද?
ඒ ගියේ එක්දාස් නවසිය අසූ හයේ.

කොච්චර කාලයක් හිටියද?
අවුරුද්දයි එයා එනවට අපි ගොඩාක් ආසාවෙන් හිටියා. පුතා රට ගිහිල්ලා එන නිසා.

එයා ගෙදර ආවද?
ඔව්. ගෙදර ආවා. කෙළින්ම ආවේ ගෙදරට. ඇවිල්ලා හැබැයි එයා යන්න ගියා.

මොනවද කිව්වේ?
මොනවත් නෑ . එයා සංවිධානෙ ගැන වචනයක්වත් කතා කළේ නෑ . අපිට මොනවත්ම කිව්වේ නෑ. එයාගේ තාත්තා ඉන්න කිව්වා. එතකොට ඉඳලා බෑ කිව්වා. දවසක් එයා කන්න කැමැති කෑම හදලා දෙන්න කිව්වා. මට කවන්න කිව්වා . ඊට පස්සේ එයා යන්න ගියා.

ඊට පස්සේ?
අයෙ එයා ආවේ නෑ පස්සේ දැනගන්න හම්බවුණා එක්දහස් නවසිය අසූ හතේ ජූලි පස් වැනිදා නෙල්ලිඅඩි ඉස්කෝලෙ තිබුණ කෑම්ප් එකට ගහලා, ගහපු කෙනා මැරිලා , හමුදාවෙ කට්ටියත් හැට හැත්තෑවක් මැරිලා කියලා . පස්සේ දැනගන්න හම්බවුණා ඒ අපේ පුතා කරපු එකක් කියලා.

එතකොට?
එතකොට තාත්තට හාට් ඇටෑක් එකක් හැදුණා. මට නං එයා ඒ කරපු දේ ගැන ලොකු කලකිරීමක් ඇති වුණා. ඇයි එයා එහෙම කළේ කියලා ඒත් පස්සේ එල්.ටී.ටී.ඊ නායකයො මට මේක පැහැදිලි කළා.

කවුද ඒ?
ඇන්ටන් බාලසිංහම් එයාගේ වයිෆ් එක්ක ආවා.ප්‍රභාකරන් ආවා.

ඇවිල්ලා?
ඇවිල්ලා අපිට උපහාර කරනවා කිව්වා. හැබැයි අපිට හැමදාම වගේ උපහාර කළා. උත්සව තිබ්බා. සල්ලිත් දුන්නා.

ගෙදරද?
ඔව් . ගෙදරට ආවා. නිතරම කට්ටිය ආවා. ඒ කාලෙම එයාගෙ තාත්තා අපිව දාලා ගියා

ඒ කොයි කාලෙද?
අවුරුද්දක් යන්න වුණේ නෑ. එයා අපිව දාලා ගියා. එයාගේ මල්ලිත් ලංකාවෙන් ගියා. දැන් ඉන්නේ මමයි එයාගේ අක්කයි විතරයි.

දැන් ඉතින් යුද්දේ ඉවරයිනේ?
ඔවි, අපි දැන් සැනසිල්ලේ ඉන්නවා. ඒත් ඉතින් එයාලා දැන් නෑනේ.

(ජනයුගය)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.