ඉනාමළුවේ මංගල හිමියන්ට පුරාවිද්‍යාව නඩු දමන්න යයි

mangala-theroදඹුල්ල රජමහා විහාරාධිකාරී පුජ්‍ය ඉනාමලුවේ මංගල හිමියන්ට එරෙහිව නඩු මගට පිවිසීමට කටයුතු කරන බව වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල අද (26) පැවසීය. ඔහු මේ බව කීවේ අද විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැඳවමිනි.

සංරක්ෂණ කටයුතුවල නිරත පුරාවිද්‍යා නිලධාරීන්ට බාධා කර එම භූමියෙන් ඉවත් කිරීමට උන්වහන්සේ කටයුතු කර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.  මාසිකව රුපියල් ලක්ෂ 30 ට අධික මුදලක් දඹුල්ල පුදබිමට ලැබෙන බවත්, එම මුදලින් ශතයක්වත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්කෘති අරමුදලට නොලැබෙන බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට වසර ගණනක මුළු කාලයටම ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ තිහකට අඩු මුදලක් බවත් මෙහිදී හෙළිදරව් විය.

දඹුල්ල පන්සලේ ප්‍රවේශපත්‍ර විකුණා ලබන ආදායම පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා දඹුල්ල රජමහාවිහාරය අතර ඇතිවී ඇති මේ ගැටුම දැන් තීරණාත්මක ලෙස වර්ධනය වී තිබේ.  අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් උත්සාහ කිරීමත් සමග ඇතිවූ අර්බුදය අස්ගිරිය පන්සල දක්වා ගිය අතර දඹුල්ල විහාරාධිකාරී ඉනාමළුවේ මංගල හිමියෝ එහි දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා මේ පවතින තත්වය කීහ. අධ්‍යාපන ඇමතිවරයාද රූපවාහනී සාකච්චාවක් පවත්වා දඹුල්ල පන්සලේ විහාරාධිකාරිය විවේචනය කළේය.

ටිකට් විකිණීමෙන් ලබන ආදායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා ගත හැකිද යන්න සොයා බැලීමට පෙර අධ්‍යාපන ඇමතිවරයා සාකච්ඡාවක් මීට මාස 6 පෙර පැවැත්වීය. එහිදී එම අදහසට එරෙහි වූ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇමතිවරයාගේ බලවත් දෝෂ දර්ශනයට ලක් විය. අනතුරුව එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පිට මේ සිද්ධිය නීතිපතිවරයා වෙත යොමු කළේය. නීතිපතිවරයා කියා තිබුණේ පුරාවිද්‍යා ආඥා පනත යටතේ ඇති බලතල අනුව මෙම මුදල් පුරාවිද්‍යාවට ලබා ගත හැකි වුවත් ඉතාම සංවේදී කාරණාවක් බැවින් මෙය ක්‍රියාත්මක කිරීමට දෙවරක් කල්පනා කරන ලෙසය.
ඒ අතර විහාර දේවාලගම් පනත  අනුව මේ පුදබිම්වල ආදායම ලබා ගැනීමට විහාරාධිකාරී හිමියන්ට ද නෛතික ආවරණයක් තිබේ.
මේ ගැටුම දුරදිග යෑමත් සමග දඹුළු විහාරයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවල නිරතව සිටි පුරාවිද්‍යා නිලධාරීන් ඉවත් කිරීමට දඹුල්ල විහාරාධිකාරී ඉනාමලුවේ මංගල හිමියන් කටයුතු කර තිබේ. ඒ නිසා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනාරාල්වරයා අද (26) උදෑසන දඹුලු පොලිසියේ පැමිණිල්ලක් කළේය. අනතුරුව මෙම පුවත්පත් සාකච්ඡා කැඳවා දඹුල්ල විහාරාධිකාරී හිමියන්ට එරෙහි නඩු පවරණ බව පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.