කළු ජූනිය

aluthgama

ලූත්ගම ගැන කතා මේ වන විට පරණ විය හැකිය. එහෙත් ඒ ගැන නැවත නැවත කතා කළ යුතු ය. මන්ද අලූත්ගමක අවශ්‍යතාව අලූත්ගමට නිතැතින්ම තිබෙන බැවිනි.

අලූත්ගම, බේරුවල සිද්ධියෙන් පසුු අලූත්ගමට යෑමට පෙර මෙහි තත්ත්වය සිහි කළ යුතුය. එය වඩා වැදගත්යැ’යි හැගේ. මේ නුගේගොඩ ති‍්‍රවිලර් රථ රියදුරෙකි. සිංහලය. ‘‘අර කඬේක මුස්ලිම් මිනිහෙක් පොඩි සිංහල කොල්ලෙකුට කරදර කළානේ. පොලීසිය ඒ කේස් එක යට ගැහැව්වා. ඒ යටගහපු හින්දා තමයි මේ ඔක්කොම ප‍්‍රශ්න. සිංහල මිනිස්සුන්ගේ වරදක් නෑ. කට පියාගෙන හිටියොත් අපේ පොඩි එවුන්ට වුණත් ඔච්චරයි.’’

දෙවැන්නා දෙල්කඳ මාළු වෙළෙඳසැල් හිමියෙකි. ‘‘පොසොන් දවසේ බණකට ගිය අපේ හාමුදුරුවෝ කෙනකුට මුස්ලිම් අය ගහලානේ. ඒකයි මේ ප‍්‍රශ්නය ඇවිළුණේ. ඒක වැරදියි. අපි වුණත් සිවුරට ගරු කරන්නේ. එතකොට වෙනත් ආගමක කෙනෙක් හාමුදුරුවෝ නමකට ගහනවා කියන්නේ කේන්ති යනවා සාධාරණයි. හාමුදුරුවෝ නමකට ගහලා ඔය තරමට හරි බේරුණ එක ගැන පුුදුම වෙන්න ඕනෑ. මේක සිංහලයන්ගේ රට. එහෙම ඕනෑ කෙනකුට ඕන දෙයක් කරන්න දෙනවා නම් අපිට රටක් නැති වෙනවානේ.’’

මේ, සිද්ධිය ගැන මෙලෝ මළදානයක් නිවැරදිව නොදන්නා, එහෙත් කළුතරින් මෙපිට මහජන මතයය. තව අදහස් හුවමාරු කරගත් බොහෝ අය සිටියෝද ඒ මතයේමය. ඔවුහු සියල්ලෝ සිංහලය. අලූත්ගම, බේරුවල, දර්ගා නගරයේ කුමක් සිදුවුවද හරියට නොදත් මොවුහු කුමක් හෝ සිදුවී ඇති බව නම් දනිති. එහෙත් ඔවුන් දැනගෙන ඇත්තේ සිංහල ඔළුගෙඩිවලිනි. සිංහල දේශපේ‍්‍රමී ඔළුගෙඩිවලිනි. මේ සියල්ලන් නඟන්නේද බොදු බලසේනා තර්කමය.

අලූත්ගම කතාව මොකද්ද? අලූත්ගම, බේරුවල සිද්ධිය පිළිබඳ ගෙතෙන කටකතාවලට නොරැවටෙන්නැ’යි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි. රැවටෙන්න හෝ නොරැවටෙන්න කුමක් සිදුවීද යන්න හරියාකාරවම දන්නෝ කවුද? සැවොම කියනුයේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියන දෑය. පොලිස් ඇඳිරි නීතිය දැමූ බවය. හිටිවනම හතර දෙනෙකු මිය ගොස් ඇති බවය. කඩ කුඩුකර ඇති බවය. නිවාස ගිිනි තබා ඇති බවය. එසේ නම් අප සිතිය යුත්තේ මොන මොනවා හෝ සිදුවන බව ද? මේ අපෙන් දුර තහනම් කලාපයක් ද? මේ සියලූ බාධාකිරීම් අවසානයේ ඒකපාර්ශ්වික කතාවලට තටු ලබා දුන්නේ කෙසේද? ඒ කිසිවකු හෙළිදරව් නොකළද අවශ්‍ය දේ අවශ්‍ය පදමට හෙළිදරව් කොට ඇති නිසා නොවේද?

aluthgama23

අලූත්ගම සිද්ධිය

එදා පොසොන් පෝයදාය. ජූනි 12 වැනිදාය. තැන අලූත්ගමට අයත් දර්ගා නගරයේදීය. පන්සල දර්ගා නගරයේ විජයාරාමයය. භික්ෂුව එහි වසන අයගම සමිත හිමිය. එහිමියෝ සිය රථයෙන් බණකට යමින් සිටියහ. පටු මාවත තවත් පටු වන ලෙස යතුරු පැදියක් නවතා තිබීම නිසා මග විවර කර ගැනීමට රියැදුරු රථයේ නළාව තදින් නාද කරන්නේය. එය ඇසුණද නොඇසුණු තැනට ඉන්නට යතුරුපැදිකරු කටයුතු කරන්නේය. යතුරුපැදිකරු මුසල්මානුවෙකි. බැලූබැල්මට නොව සිද්ධිය පිළිබඳ ලද බොහෝ තොරතුරු මත වරදකරු යතුරුපැදිකරුය. වාහනයේ රියදුරුගේ නළා හ`ඩ නොතකනවා පමණක් නොව යතුරුපැදිකරු බැණ වැදීමක්ද සිදුකොට ඇත්තේය. ඒ අනුව දෙපැත්තෙන්ම වචන හුවමාරුව සිදුවී ඇති අතර අවසාන ප‍්‍රතිඵලය දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත. මේ අවස්ථාවේදී ඒ අසල සිටි තවත් මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුද රියැදුරාට පහරදී ඇත. මුස්ලිම් ජාතිකයන් තිදෙනාගෙන් ගුටිකන රියැදුරා බේරාගැනීමට හිමියන්ද පැන ඇත. එහිදී හිමියන්ට පහරක් වැදුණාද නොවැදුණාද අපි නොදකිමු. මුස්ලිම් පාර්ශ්ව කියනුයේ හිමියන්ට ‘පහර නොදුන්’ බවය. සිංහල පාර්ශ්ව එනම්, ප‍්‍රධාන කොට හිමියන්ද ඇතුළුව නැගෙන හඩ ‘පහර දුන්’ බවය. එකී උපකල්පන අනුව හිමියන්ට පහරක් නොවැදුණාමයි සිතිය නොහැකිය. එහිමියෝ පසුව රෝහල්ගත වන්නාහ.

මේ අනුව දර්ගා නගරයේ සිංහල හඬ උස් වන්නේ හිමියන්ට පහරදුන් අය වහාම අත්අඩංගුවට ගත යුතුයැ’යි බලකරමිනි. පොලීසියේ යම් යම් ස්වභාවයන් අනුව ( ඕනෑම ස්වභාවයක අඩුව එළිවන්නේ එය පුපුරා ගිය විටකදීය.) අත්අඩංගුවට ගනුයේ යතුරුපැදිකරු නොව බාහිරින් ගැටුමට සම්බන්ධ වූ දෙපළය. ඒ අනුව සිංහල පාර්ශ්වය පෙරට වඩා කිපී අලූත්ගම පොලීසිය වටකරනුයේ ප‍්‍රධාන පුද්ගලයන්ද වහා අත්අඩංගුවට ගත යුතුයැ’යි කියමිනි. ඒ අවස්ථාවේදී පොලීසියටද ගල් වරුසාවක් එල්ල වෙයිි. එහි ඉතිරි පියවර ඒ ගැම්මටම අලූත්ගම මුස්ලිම් කඩ කිහිපයකටද අලාභ හානි සිදුකිරීමය. එකී තත්ත්වයේ බැරුම්කම කල්තියා වටහා ගන්නා රුෂ්ඩි නම් ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරයා මැදිහත් වී යතුරු පැදිකරු පොලීසියට භාර දෙන්නේය. මේ පළමු සිද්ධියය.

Aluthgama-Sinhala-131

නීතිය ඉදිරියට

හිමිනමගේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් තිදෙනා ජූනි 13 වන සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කරන මුත් හිමිනමගේ තත්ත්වය සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව එදින උසාවියට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන්නේය. එහිදී සැකකරුවන් චෝදනා කරනුයේ තමන් පොලීසියේදී පහරකෑමට ලක්වූ බවත් එහිදී හිමිනමද පහරදුන් බවත් පමණක් නොව බන්ධනාගාර රථය තුළ ජේලර්ලාද පහරදුන් බවත්ය.

ඉරිදා මෙහෙයුම

ඒ දින දෙක එලෙස ගෙවී යද්දී බොහෝ දුරකථනවලට එන කෙටි පණිවුඩයක් දැනුම් දෙනුයේ මහා බොදු සමුළුවකට සියලූ දෙනාටම අලූත්ගම නගරයට පැමිණෙන ලෙසය. ඒ ජූනි මස 15 වැනිදා, ඉරිදාය.

අලූත්ගම නගරයට දස දහස් ගණනින් පැමිණෙන බෞද්ධ කොඩි පිරිවරා ගත් බොදු බල සේනාව අලූත්ගම නගර මධ්‍යයේ කිසිදු අවසරයකින්, වග විභාගයකින් තොරව ලොරියක සැදූ ජංගම වේදිකාවක ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා ගෙන ඉතා අශික්‍ෂිත දේශනයක් පවත්වන්නේය. වටාපිටාවේ සිටි පොලීසිය මෙන්ම විශේෂ කාර්ය බලකායද දේශනයට සමවැදී සිට ඇත. මේ දහවල් 1.30ට පමණය. බොදු බල සේනාව පවත්වන මේ මහා බොදු බල සමුළුවේ අරමුණ කුමක්ද?

භික්ෂුවකට මුස්ලිම් ජාතිකයන් පහරදුන් බැවින් ඊට විරෝධය පළකිරීමය. රෝහල්ගතවී සිටියේයැ’යි කියන අයගම සමිත හිමිද ඒ මොහොතේ ජංගම වේදිකාවට ගොඩවද්දාගෙන ඇත. එදින ජනපි‍්‍රය තරුව ඒ හිමියන්ය. ඊට පසු ලොමුදැහැගන්වන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ කතාවක් සමග පෙරහරින් දර්ගා නගරයේ පිහිටි විජයාරාම විහාරයට සමිත හිමි රැුගෙන යෑම සමුළුවේ අරමුණය. කෙටි පණිවුඩ යවන තැන සිට අලූත්ගම ගමනේ අවසාන සූදානම එයම විය. ඊට පෙර කිවයුත්තක් ඇත. එනම් ජූනි 14 වෙනිදා සිටම හෙට එනම් ඉරිදාට දර්ගා නගරය බිමට සමතලා කරන බවට පුවත ළැව්ගින්නක් සේ පැතිරී ගොස් හමාර වීමය. එනම් හිමිනමට ගැසූ වාඩුව ගැනීමේ මෙහෙයුම එදිනම දියත්කරන බව අලූත්ගමට, දර්ගා නගරයටම ඒ වන විට රහසක් නොවේ. මෙය නිර්නාමිකව පොලීසියට දැනුම් දෙන්නේ එබැවිනි. මුස්ලිම් දේශපාලකයන් පවා මෙම සමුළුව එදින අලූත්ගමදී නොපවත්වන්නැ’යි ලිඛිතව පොලීසියෙන් ඉල්ලීම් කරන්නේද එබැවිනි. ඒ කල්තියා කටින් කට ඉරිදාට ‘ඇහැට ඇහැක්’ න්‍යාය කි‍්‍රයාත්මක වන බව දැනුම්දුන් නිසාය. මේ බව පොලීසියද දැන සිටියේය. කොටින්ම දැන නොදැන සේ සිටියේය. ඒ අනුව ගින්න ඇවිළුණේය.

අලූත්ගම නගරයේදී වෛරයේ මහා දෙසුම පවත්වන ඥානසාර හිමියන් ඊළ`ග පියවර ලෙස අලූත්ගම සිට දර්ගා නගරයට යෑමේ විජයග‍්‍රාහී ගමන ආරම්භ කරනුයේ තම රථයේම අයගම සමිත හිමිද නංවාගෙන මුලින්ම ගමන් කරමිනි. එකක් පස එකක් රථ ගමන් කරන අතර පාබල බෞද්ධ හමුදාව දෙපසින් ගමන් කරති. බෞද්ධ කොඩිද පෙරටු කොටගෙන දර්ගා නගරය මැදින් මහා හඩින් ඝෝෂා කරමින් ඇදෙන දහස් ගණන් ජනයාට පළමු ගල් ප‍්‍රහාරය එන්නේ කොතනින්ද යන්න සෙවීම පල රහිත වුවත් ගලා ආ පැත්තද සටහන් කළ යුතුමය. මෙයද අනුමානයට ලියන වගන්තියක් නොව සිංහල, මුස්ලිම් දෙපාර්ශ්වයෙන්ම ඊට සහභාගි වූවන්ගේද ප‍්‍රකාශ මත තබන සටහනකි. පළමු ගල එනුයේ සීනවන්ත පල්ලියෙනි. එනම් මුස්ලිම් පල්ලියෙනි. දෙබරෙට ගල් ගැසෙන මොහොත මේ දැන් එතැ’යි බලාසිටි සැවොම එක පොදියට පල්ලියට රිංගනුයේ ලේ පිපාසාවෙනි. පෙර සූදානම මේ දෙපැත්තෙන්ම සිදුවන බැවින් පල්ලියේ බිම එකම යුදබිමක් වන්නේය. එයට රිංගු භික්ෂුන් දෙනමක්ද කැපුම් තුවාල සහිතව එළියට එන විට නැගෙන යෝධ හඬ භික්ෂුවක අපවත් වී ඇති බවය. එතැන් සිට උපාසක අප්පෝලා සියල්ල දර්ගා නගරයත් ඉන් එහාට අලූත්ගම නගරයත් සුණු විසුණු කරන්නට පටන් ගන්නෝය. ආණ්ඩුවේ නිල තුවක්කු ද හතර අතේ පත්තු වන්නෝය. එහිදී පල්ලිය තුළදීම මුස්ලිම් ජාතිකයෝ දෙපළක් ඝාතනය වන්නෝය. ඒ වෙඩි වැදීමෙනි. අයකුගේ හිසටම වෙඩි වැදිණ. සියල්ල අවශ්‍ය පදමට ඇවිළෙද්දී සිතූ අයුරින් සියල්ල සිදුවෙද්දී ගින්න දැල්වී දැල්වී අළුවන්නට දී බොදු බල සේනාවේ ඥානසාර හිමියෝ පොලිස් ආරක්ෂාව සහිතව නගරයෙන් රිංගා අධිවේගයට විත් අධිවේගයෙන්ම කොළඹට එන්නාහ.

අලූත්ගම, බේරුවල, දර්ගා නගරවල සිදුවූයේ එයය. සියලූ නරක එතැන් පටන් නීතිගත විය. වසර ගණනාවක් උදේ හවා මූණ බලමින් එකට විසූ සිංහල, මුස්ලිම් මිනිසුන් නයි මුගටින් වී මරාගත් අතර සිංහල ජනයාගේ සහායට බොදු බල සේනාව මිනිසුන් පොම්ප කර තිබූ නිසාම තත්ත්වය තවත් දරුණු විය. තම අසල්වැසි මුස්ලිම් ජනයාගේ ගෙවල්වල බඩුමූට්ටු කොල්ලකන්නට විය. දහවල් ඇරඹි මෙම කි‍්‍රයාවලිය එදින හවස 6.30ට ඇඳිරි නීතිය පැනවුවද නොනැවතුණි. වැඩිපුරම කඩ සහ නිවාස කොල්ලකෑම් ගිනිබත් කිරීම් සිදුව ඇත්තේ ඇඳිරි නීතිය පැනවූ පසුවය. තම ඇඳිවතට පමණක් බොහෝ අය සීමා වූහ. මේ අතර බහුතරයක්ම මුස්ලිම්වරුය. සිංහල කඩ ඉතිරි වී මුස්ලිම් වෙළෙඳසැල් පමණක් ඇවිළිණි. මුස්ලිම් නිවෙස් දැල්වී සිංහල නිවෙස් ඉතිරි විය. හැම දෙයක් ගැනම නිවැරදි තක්සේරුවක් කරන කල මුස්ලිම්වරුන්ට වටකොට පහරදීමක් සිදුව ඇති බව තහවුරුය.

aluth-chil

ජීවිත අහිමිවීම

අලූත්ගම, බේරුවල, දර්ගා නගරය තුළ සිදුවීම හේතුවෙන් මුස්ලිම්වරු හතර දෙනෙක් මියගියහ. තිස්හය හැවිරිදි සරාන් වෙළෙඳාමෙන් දිවි ගෙවූවෙකි. තිස්තුන් හැවිරිදි ෂිරාස්ද වෙළෙඳාමේ නියුත්තෙකි. ඉම්රාන් සිල්ලර කඩයක් කළ තිස්තුන් හැවිරිදි අයෙකි. මීට අමතරව වැලිපැන්නේදී කළ පහරදීමකින් දෙමළ තරුණයෙක් මියගියේය. මීට අමතරව ඉරිදා (15) ඉණට, කලවට, කකුලට වෙඩි වැදුණු සිංහල ජාතිකයන් 14 දෙනෙක්ද, මුස්ලිම් ජාතිකයන් 45 දෙනෙක්ද කළුතර උතුර, නාගොඩ රෝහලට රැුගෙන විත් ඇත. මේ කිසිවක් මාධ්‍ය හරහා එළියට නො ආ අතර ඊට අමතරව කැපුම් තුවාලවලට ලක්වූ විශාල පිරිසක්ද සිටිති.

ඇඳිරි නීතිය තිබියදී

ජූනි මස 15 වැනිද ඉරිදා ඇඳිරි නීතිය රාති‍්‍රය ප‍්‍රදේශය පුරා කි‍්‍රයාත්මක වෙද්දීද, සඳුදා දිනය පුරා කි‍්‍රයාත්මක වෙද්දීද ඒ අතර කාලය තුළ වැලිපැන්නේ මුස්ලිම් කඩ හතළිහක් ගිිනි තබා විනාශ කොට දැමූ අතර එදින ඉහත සඳහන් දෙමළ තරුණයකු පහර කෑමට ලක්ව මියගියේය. ඒ අනුව පෙනීයන්නේ ඇඳිරි නීතිය පනවා දහස් ගණන් පොලීසිය විශේෂ කාර්ය බලකාය, හමුදාව මේ ප‍්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළ ද එකී ආරක්ෂාව මුස්ලිම් අයට නොලැබුණු බවය.

විනාශය

මේ වනවිට ආණ්ඩුව ප‍්‍රකාශ කරනුයේ අලූත්ගම බේරුවල ජන දිවිය සාමාන්‍ය වී ඇති බවය. මේ වන විට සිව් දෙනෙක් මියගොස්ය. ඉන් තුනක් මුස්ලිම්වරුය. එක් අයෙක් දෙමළය. නිවාස 148කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇත. ඒ සියල්ලද මුස්ලිම්වරුන්ගේය. මුස්ලිම් අයගේ කඩ 83ක් ගිනිගෙන විනාශ වී ඇත. මුස්ලිම් පල්ලි 17ක් විනාශ කොට ඇත. ඊට අමතරව උන්හිටි තැන් අහිමිව නිවෙස් තිබුණ ද යන්නට බියෙන් අසරණව අවතැන්ව සිටින ප‍්‍රමාණය හයදහසකට ආසන්නයැ’යි ගණන් බැලේ. ඔවුහු ඇතැම් පල්ලි සහ මුස්ලිම් විද්‍යාලවල ලැගුම් ගෙන සිටිති. එසේනම් සාමකාමී වී ඇත්තේ කවුද? පහරදුන් අයද? ගුටි කෑ අයද? ටෙලිවිෂන් නාලිකා විදුලි වේගයෙන් ගොස් අලූත්ගම සන්සුන්යැ’යි වෙළෙඳාම් කරන බඩු මිලදී ගන්නා දසුන් පෙන්වති. රඹුටන් විකුණන දසුන්ද ඒ අතරය. මේ සරදම කුමක්ද? මේ සියලූ රූප රාමු සිංහල පසුබිමය. අලූත්ගම බේරුවල, දර්ගා නගරය ප‍්‍රසිද්ධියක් උසුලනුයේ මුස්ලිම්වරුය. එසේනම් මේ සාමකාමී පරිසරයේ නිදහසේ සරන මුස්ලිම්වරු කෝ?

වගකිව යුත්තෝ

දෙයක් දරාගත නොහැකි නම්, තමා අත්විඳින වේදනාවකින් වුව බහුතරය සුරක්ෂිත වන්නේ නම් එකී බහුතරයේ නාමයෙන් විඳදරා ගැනීම ආගමික නායකයකුගේ ලක්ෂණයකි. බුදුන්ටත් නිගාදෙන චීවරධාරීන් නිසා මුළු චීවරයම පිරිහී ඇති බව පෙනේ. අයගම සමිත හිමි බුදුන්ගේ දහම අනුව කටයුතු කළා නම් මේ දේ මේ තරම් විනාශයක් කරා ගමන් කරන්නට ඉඩ නොතිබුණි. එහෙත් චීවරය තුළ ඒ හික්මීම, සමාව දීම වෙනුවට තිබුණේ වෙනකකි. බුදු බලය වෙනුවට එහි කි‍්‍රයාත්මක වූයේ බොදු බල සේනාහි බලයය.
අනෙක් අතට එය එක් සිද්ධියක් වුවත් මෙය මහා ගැටුමක් බවට පෙරළුවේ බොදු බල සේනා බව නොකියාම බැරිය. තවදුරටත් මෙය රහසක් කොට බොදු බල සේනා හිමිවරුගෙන්ම අලූත්ගම ගැන ප‍්‍රකාශ ගන්නේ නම් එයම ජාතික කරුමයකි. දැනට සිදුවන්නේ එයය. සියල්ල අලූත්ගම, බේරුවල. දර්ගා නගරය ගැන අසනුයේ එය ඇති කළ අයගෙන්මය. දැන් සුන්සුන් වන්නට කියනුයේ ද ඔවුන්මය.

එදා අලූත්ගමදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි කළ අන්ත ජාතිවාදී වෛරී කතාවෙන් පැමිණ සිටි සියලූ උපාසකයෝ ජාත්‍යාලයෙන් පිම්බී පිපිරී ගියාසේම ශබ්ද විකාශන යන්ත‍්‍ර හරහා බෙදාහැරෙන එම වදන්වලට මුස්ලිම් එවුන්ගේ ලේද කකියන්නට විය. කතාවේ හරය සිතු ලෙසම ඉටුවිය. දෙපිරිස ඇවිළෙන ගින්නට පෙට්‍රොල් බවුසරයක්ම ඥානසාර හිමියන්ගේ කතාව හරහා වැක්කෙරුණි.

aluth22

දඩුවම් දීම

ජනපති පවා බේරුවලට පැමිණ තරාතිරම නොබලා දඩුවම් දෙන බව ප‍්‍රකාශ කරන්නේ නම් මුලින්ම දඩුවම් දිය යුත්තේ ගල් ගහපු අය හෝ ගලා ආ පැත්තට නොව ගල් ගසන තැනට මිනිසුන් කුපිත කරවා උසිගැන්වූ අයටය. සියල්ල විනාශ කරගත් මුස්ලිම් ජනයා නැවත දිනාගන්නට නම් මුලින්ම කළ යුත්තේ අන්තවාදී කතා පතුරුවන අන්තවාදී භික්ෂූන් අත්අඩංගුවට ගැනීමය. මේ සිද්ධියට මුහුණ දුන් මුස්ලිම් මෙන්ම සිංහල අයද ආපස්සට හැරී බලන කල චෝදනා කරනුයේ බොදු බල සේනාවටය. ඥානසාර හිමිටය. එහෙත් කළුතරට රැුස්වන ඇමති බැසිල් රාජපක්ෂ ප‍්‍රමුඛ ආන්ඩුවේ පිරිසද එකී සාකච්ඡුාවල ප‍්‍රධාන චරිතයක් ලෙස ගෙනෙනුයේ ඥානසාර හිමියන්ය. මෙරට ආණ්ඩුව තවම මේ ප‍්‍රශ්නය විසඳීමට අවංක වී නැත. එසේ වේ නම් මෙවන් පටුතැන්වල සිට මේ ප‍්‍රශ්නය දිහා බලන්නේ නැතිය. අපට මුස්ලිම් පැත්ත හෝ දෙමළ පැත්ත ගැනීමේ උමතුවක් නැත. එහෙත් මේ මොහොතේ උමතු වී ඇත්තේ ජාතිවාදී අන්තවාදී බෞද්ධ නඩයක් බව කියන්නටද මැලිකමක් නැත. එය එසේ නොකියනවා නම් සැබවින්ම අපට උමතුවක් සැදී තිබිය යුතුය.
තවදුරටත් බොරු බේගල් ඇදබාමින් මෙය දෙපිරිසක් අතර ගැටුමක් ලෙස හුවා දක්වනුයේ ඇයි? මෙය සිංහල, මුස්ලිම් අය අතර ඇතිවූ ගැටලූවකි. මෙය නිවැරදිව තේරුම් ගෙන නිවැරදිව රටට අවබෝධ කර නොදෙන්නේ නම් මේ ගින්න හැම තැනම ඇවිලිය හැකිය. එය නිවාලන්නට නම් කළුතරින් මෙපිට ජනයාටද අලූත්ගමින් එපිට ජනයාටද සතර දිග්භාගයේ ජනයාටද ඇත්ත ඇති සැටියෙන් දැනුම්දිය යුතුය. හැම සිංහලයාම, හැම භික්ෂුවම අන්තවාදී නොවන බව වටහා ගත යුතුය. එයට සිංහල, මුස්ලිම්, දෙමළ භේදයක් නැත. ඇත්තේ මනුස්සකමේ අයිතියය. සාමකාමී වන්නට නම් සාමකාමී පරිසරය නිර්මාණය කළ යුතුව ඇත. දඩුවම් දීම කතාවෙන් නොව කි‍්‍රයාවෙන් ඔප්පු කළයුතු අතර තෝරු, මෝරු බේරා හාල්මැස්සෝ ඇල්ලීම විසඳුම නොවන්නේ තෝරු, මෝරු කවුද යන්න සමාජයම දන්නා බැවිනි. වැරදිකරු නිදැල්ලේ සිටී නම් ඔහු කවුද යන්න සැවොම දන්නේ නම් ඊට විකල්ප ලෙස පය බරවාවට පිරිකර බෙහෙත් බැඳීම විසඳුම නොවන බව ජනපතිද පසක් කර ගත යුතුය. මන්ද මේ ගින්න සිතන තරම් සුළුපටු නැත. මෙය රාජපක්ෂ යුගය තුළ ඇවිලූණු අමතක නොවන ගින්නක් බව ඉතිහාසය දෙස් දෙනු නියතය.

මූලාශ්‍රය – ටිරන් කුමාර බංගගමආරච්චි (රාවය)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.