කාර්ය බහුල උදය ගම්මන්පිලට විවාදයට වේලාවක් නැහැ

 

gamman1

 

තමා විවාදයට සහභාගි වීමට සූදානම් වුවත් ජනවාරි 05 දින ජනපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන තෙක් තමන්ට වේලාවක් නැති බව   පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටී.

පසුගියදා ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා මාධ්‍ය හරහා උදය ගම්මන්පිල මහතාට විවාදයකට ආරාධානා කර තිබූ අතර එම ආරාධනය ගම්මන්පිල මහතා  ඒ ඇරයුම පිළිගත්තේය.

විවාදයේ සහභාගීත්වය පිළිබඳ උදය ගම්මන්පිල මහතා ගේ  නිවේදනය පහතින්:

“මා පක්ෂයෙන් ඉවත් වීමට බල පෑ ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන මෙන් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා මාධ්‍ය හරහා මට කර තිබුණු ආරාධනාව මම පිලිගත්තෙමි. මෙම සංවාදය සඳහා චම්පික රණවක මහතා හෝ අවම වශයෙන් වර්ණසිංහ මහතා හෝ සහභාගි වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වුණෙමි.  ඒ වෙනුවට ඔවුන් නම් කර ඇත්තේ පක්ෂයේ දෙවන පෙල නායකයෙකු වන අනුරුද්ධ ප්‍රදීප් මහතාය. ඔහු කිසිම මැතිවරණයකට තරග කර නොමැති පූර්ණකාලීන දේශපාලනයේ නොයෙදෙන කලාතුරකින් මධ්‍යම කාරක සභාවට සහභාගි වන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකි.

පක්ෂය තුල මතුවුණු ගැටුම පිළිබඳ ඔහුට පූර්ණ අවබෝධයක් නොමැත.  අවම වශයෙන් මා සහභාගි වුණු අවසාන මධ්‍යම කාරක සභාවටවත් ඔහු සහභාගි නොවිණි.  නමුත් පක්ෂය තුල මතුවුණු ගැටුම ජනගත කිරීමට මෙම සංවාදය වේදිකාවක් වන බැවින් ඔහු සමග සංවාදය කිරීමට මම එකඟ වෙමි.  තමන් කැමති නාලිකාවක් නම් කිරීමට මා දුන් අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් ටීඑන්එල් නාලිකාව තෝරා ගෙන ඇත.  තමන් කැමැති දිනයක් තෝරා ගැනීමට ඔවුන්ට අවස්ථාව නොදුන් නමුත් මගෙන් කිසිම විමසීමකින් තොරව දෙසැම්බර් 29 දින විවාදය පැවැත්වෙන බවට ඒක පාර්ශවිකව තීන්දු කර මාධ්‍ය වලට ද දැනුම් දී තිබිණි.

මා පක්ෂයෙන් ඉවත් වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතා පිටුපස සිටින අන්ත දූෂිත මෙන්ම බෙදුම්වාදි අශුද්ධ සංධානය පරාජය කිරීමට කැප වීම සඳහාය. ඒ අනුව ජනවාරි 05 දින දක්වා ශ්‍රී ලංකාවේත් මැද පෙරදිග රටවලත් රැස්වීම් ගණනාවක් ඇමතීමට යොදා ගෙන ඇත. එමෙන්ම විද්‍යුත් නාලිකා ගණනාවක සංවාදයන්ට සහභාගි වීමට ද භාරගෙන ඇත. නමුත් ජාතික හෙළ උරුමය නම් කළ නියෝජිතයා පසුගිය ජනපතිවරණයන්ට සක්‍රියව දායක නොවුණු එසේම මෙම ජනපතිවරණයට සක්‍රියව දායක වන බවක් නොපෙනෙන පුද්ගලයෙකි.

මේ පසුබිම තුල අනිවාර්යයෙන්ම මා විවාදයට සහභාගි වීමට සූදානම් වුවත් මට ඊට සහභාගි විය හැක්කේ ජනවාරි 05 දින ජනපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුය. වේලාව තිබෙන පරිදි පටිගත කර වැඩසටහන විකාශනය කිරීමට මා මුලින් එකඟ වුවත් එයට මගේ පක්ෂයෙන් දැඩි විරෝධයක් මතු විය. ටීඑන්එල් නාලිකාව අපහසුතාවයට පත් වන බැවින් එම හේතුව මෙම ලිපියේ සඳහන් නොකරමි.“ යැයි එම නිවේදනයේ දැක්වේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.