ජනාධිපතිවරණයේදී පොලිස් වගකීම්

ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 17 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල හිමිව තිබුණේ ජාතික මැතිවරණ කොමිසමටය. එහෙත් එකී වැදගත් සංශෝධනය දැනට ව්‍යවස්‌ථාපිතව අවලංගු කර ඇති බැවින් එම කොමිසමට පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීම මැතිවරණ කොමසාරිස්‌වරයාට හිමි වෙයි.

ජනාධිපතිවරණයකදී අපේක්‍ෂකයකු වෙනුවෙන් සැරසිලි කිරීම, ඡන්ද අපේක්‍ෂකයකුගේ ඡායාරූප හෝ එකී කොඩි එල්ලීම සැරසිලි, ඡායාරූප, විනාශ කිරීම විරුද්ධ පාක්‌ෂිකයන් විසින් 1981 අංක 15 දරන ජනාධිපතිවරයකු තෝරා ගැනීම පිළිබඳ පනත යටතේ වරදක්‌ ලෙස සඳහන් කෙරේ.

නීතිය අනුව අවසර ඇත්තේ රැස්‌වීමක්‌ පැවැත්වෙන රැස්‌වීම් භූමියේ සැරසිලි කිරීම සහ අපේක්‍ෂකයාගේ ඡායාරූප එම ස්‌ථානයේ පමණක්‌ ප්‍රදර්ශනය කිරීමය.

ජනාධිපති අපේක්‍ෂකයා ගමන් කරන රථයේද ඔහුගේ ඡායාරූපය කොඩි හෝ සැරසිලි කිරීම්වලට නීතියෙන් අවසර ඇත. ජනාධිපති අපේක්‍ෂකයාගේ ප්‍රධාන මැතිවරණ කාර්යාලවලද සැරසිලි කිරීම, කොඩි එල්ලීම සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම්වලට අවසර තිබේ.

බොහෝ අවස්‌ථාවල එම නීති කඩකිරීම් සිදු කෙරෙන බව පසුගිය ජනාධිපතිවරණ දෙස බැලීමේදී දකින්නට ලැබිණි. මැතිවරණ ආඥ පනතට අනුව දූෂණ ක්‍රියා, අයුතු බලපෑම් සහ ඡන්ද දායකයන්ට අල්ලස්‌දීම් වැනි ක්‍රියාද වැරදි හැටියට දක්‌වා තිබේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී කිසියම් ජනාධිපති අපේක්‍ෂකයෙක්‌ වෙනුවෙන් සහාය දක්‌වන ක්‍රියාකාරින් වටහා ගත යුතු කාරණයක්‌ නම් ඉහත සඳහන් වැරදි සිදුකරන්නන් මහෙස්‌ත්‍රාත්වරයකුගේ වරෙන්තුවක්‌ නොමැතිව අත්අඩංගුවට ගතහැකි බවය.

ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ පනත යටතේ මේ නීති වඩාත් දැඩිකර තිබෙන බව සඳහන් කළ යුතුය. දූෂණ ක්‍රියා පිළිබඳව එම විශේෂ පනත මගින් පුළුල් නිර්වචනයක්‌ද දක්‌වා ඇත.

ඡන්දදායකුගේ ඡන්දය ලබාගැනීම සඳහා යෑයි සිතිය හැකි අන්දමින් තේ කෝප්පයක්‌ හෝ බුලත් විටක්‌ දීම වුවද අල්ලස්‌ දීමක්‌ වශයෙන් එකී ව්‍යවස්‌ථාපිත අර්ථ නිරූපණය අනුව නිර්වචනය කළ හැකිය.

ජනාධිපතිවරණ කටයුතුවල නියෑලෙන පොලිස්‌ නිලධාරීන්ට එම කටයුතු කිරීමේදී පෞද්ගලික ආරක්‍ෂාව, ඡන්ද පොළේ ඡන්ද රාජකාරිවල නියෑලෙන රජයේ නිලධාරීන්ගේ මෙන්ම ඡන්දය දැමීම සඳහා පැමිණෙන ඡන්ද දායකයා ආරක්‍ෂා කිරීමත් ඡන්ද පෙට්‌ටි සහ අනෙකුත් රජයේ දේපළ ආරක්‍ෂා කිරීම සඳහාත් බලය පාවිච්චි කිරීමට නීතිය මගින් ඒ අනුව අවසර දී තිබේ.

එම බලය පෞද්ගලික ආරක්‍ෂාවේ අයිතිය පාවිච්චි කිරීම ව්‍යවස්‌ථාපිත සීමාවන්ට (ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ වගන්ති 92) යටත් විය යුතුය. එංගලනත්යේ අගවිනිසුරුවරයකු වූ ලේයන් සාමිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ ”එම බලය යුක්‌ති සහගත බලයක්‌ විය යුතුය” යන්නයි.

මෙම මැතිවරණ රාජකාරිවල නිරත වන පොලිස්‌ නිලධාරීන් ක්‍රියාත්මක කළ යුත්තේ බලධාරීන් ලබාදෙන නීත්‍යානුකූල නියෝග පමණි. යම් විටෙක උසස්‌ නිලධාරියෙක්‌ නීති විරෝධි නියෝගයක්‌ ලබාදුනහොත් එය ක්‍රියාත්මක නොකිරීමට පොලිස්‌ නිලධාරීන් බැඳී නොමැත.

හමුදා හෝ පොලිස්‌ නිලධාරියකු ක්‍රියාත්මක කළ යුත්තේ උසස්‌ නිලධාරීන් දෙන නීත්‍යානුකූල නියෝග පමණකි. නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළහොත් ඉන් ලැබෙන අයහපත් ප්‍රතිඵල වලට මුහුණ දිය යුත්තේ එකී නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළ පොලිස්‌ හෝ හමුදා නිලධාරීන්ය. ඊට උදාහරණ දැක්‌වෙන නඩු තීන්දු රැසක්‌ ඇත. නිදසුනක්‌ වශයෙන් වියට්‌නාමයේ ආයුධ විරහිතව සිටි කාන්තාවන් සහ දරුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ලුතිනන් වරයකු වූ කෙලී නමැත්තාට එරෙහිව තිබූ සමූහ මිනිස්‌ ඝාතන නඩුව ජාත්‍යන්තර අධිකරණයේදී විභාග කර ඔහුව වැරදිකරු කර ඔහුට දඬුවම් ලබාදෙන ලදී.

 

crowd apura

ශ්‍රීලංකාවේ ”කොරයාට එරෙහිව රැජින” සහ ”විඡේ සූරියට එරෙහිව රජය” යන නඩු තීන්දු ද උදාහරණ වශයෙන් මෙහිදී සඳහන් කළ හැකිය.

සියළුම පොලිස්‌ නිලධාරින් තමන්ගේ ඉහළ නිලධාරින් දෙන නියෝගයක්‌ ක්‍රියාවට නැඟීමට පෙර එම නියෝගය නීත්‍යානුකූල නියෝගයක්‌ද යන්න සළකා ක්‍රියාකළ යුතු බව ඉහත නඩු තීන්දු ආශ්‍රයෙන් මනාව සැළකිල්ලට ගතයුතු වීම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ආරක්‍ෂාවට යෝග්‍ය වන බව සඳහන් කළ යුතුය.

ඉහළ නිලධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම තම බලය පාවිච්චි කිරීමේදී මෙය ඉතා සැළකිල්ලට ගත යුතුය. නියෝග ක්‍රියාත්මක කිරීමේ කාර්යන්හි දී නීතියට අනුව මෙන්ම නිවැරදිව නීතිය ඉදිරියේ තම ක්‍රියාවන් යුක්‌ති සහගත කළ හැකි ආකාරයට සටහන් තැබීමේ කුසලතාවද පොලිස්‌ නිලධාරීන් සතු විය යුතුය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 17 වැනි සංශෝධන ක්‍රියාත්මක වූවා නම් එහි 104-5 වගන්ති අනුව මැතිවරණ කටයුතු කිරීමේදී පොලිස්‌ නිලධාරීන් කරන කිසිවකට එරෙහිව සිවිල් උසාවිය හෝ අපරාධ උසාවියේ නඩු පැවරිය නොහැකි බව සඳහන්ව තිබේ. එසේ වුවද සිදු කරන ලද ක්‍රියාව නීත්‍යානුකූල හා සද්භාවයෙන් කළ බවට ඔප්පු කිරීමේ වගකීමද සාක්‍ෂි ආඥ පනතේ ප්‍රතිපාදන අනුව පොලිස්‌ නිලධාරීන් මත පැවරේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ කිසිම වාහනයකින් ඡන්ද දායකයන් ප්‍රවාහනය කළ නොහැක. වාහනයකින් යාත්‍රාවකින් හෝ බෝට්‌ටු වලින් ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීම යම් දේශපාලන සංවිධානයක්‌ විසින් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබුණහොත් එම වාහන අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ බලය 1984 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ආඥ පනතේ 82-5 උප වගන්තියෙන් පොලිසියට බලය පවරා ඇත.

ජනාධිපතිවරණ කාලසීමාවේ සිදු කෙරෙන විශේෂ ඝනයට ගැනෙන සමහර වැරදි වලදී මහේස්‌ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගැනීමට නොහැකි වන අතර අදාළ ආඥ පනතේ වගන්ති අනුව ඇප ලබාගැනීම කළ හැක්‌කේ මහාධිකරණයෙන් පමණි.

 

kandymee

දණ්‌ඩ නීති සංග්‍රහයේ 169 වැනි වගන්තිය හා එහි අනු වගන්තීන් යටතේ ඡන්දය දීම මෙන්ම ඡන්දය නොදී සිටීම පිළිබඳ නිර්වචනයක්‌ කර තිබේ. ඡන්ද දායකයකුගේ කැමැත්ත වෙනස්‌කර වෙනත් කෙනෙකුට ඡන්දය ලබාදීම සඳහා මනාපය වෙනස්‌ කිරීමට තැත් කිරීමද මේ අනුව වරදක්‌ වේ.

ඡන්දය නොදී සිටින පුද්ගලයකුට ඡන්දය ලබාදෙන ලෙස අයුතු බලපෑම් කිරීම අල්ලස්‌දීම හෝ තර්ජනය කිරීම බරපතළ වරදකි.

ඡන්දය ලබාගැනීමේ සහ ඡන්දය දෙන පුද්ගලයන්ගේ කැමැත්ත වෙනස්‌ කිරීමේ අදහසින් අයුතු බලපෑම් කිරීම්, නීත්‍යානුකූල නොවන ලෙස මැතිවරණ සළකුණු ප්‍රදර්ශනය කිරීම්, අපේක්‍ෂකයාගේ ඡායාරූපයක්‌, සළකුණක්‌, ලකුණක්‌, කොඩියක්‌ හෝ පතාකයක්‌, සැරසිල්ලක්‌ වැන්නක්‌ බෙදා හැරීම හෝ ප්‍රදර්ශනය කිරීමත් සපුරා තහනම්ය.

ආගමික උත්සව වලදීද මෙවැනි ප්‍රචාරක ක්‍රියා තහනම් වේ. ඡන්දය දීම සඳහා පෙළඹවීම වෙනුවෙන් සංග්‍රහ කිරීම, යම් කෑමක්‌ බීමක්‌ සැපයීම, ආධාර කිරීම හා ඒ සඳහා වන වියදමෙන් කොටසක්‌ දැරීම වැනි කටයුතු ද නීතිය අනුව තහනම් වේ. මෙම සියලුම වැරදි මැතිවරණ නීති උල්ලංඝනය වන අතර මෙම උල්ලංඝනය කිරීම් වලට එරෙහිව පොලිසිය විසින් අපක්‍ෂපාතීව හා නිර්භීතව තම නිල කාර්යය ඉටු කිරීම ජනතාව අපේක්‍ෂා කරනු ලබන්නකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් මහජනතාවගේ ඡන්දය දීමේ අයිතීන් තම හිතට එකඟව හා නිර්භීතව පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය ආරක්‍ෂිත වාතාවරණයක්‌ පොලිසිය විසින් සපයනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ වන ශ්‍රී ලංකාවේ ජනතාව ඒකාන්තයෙන්ම තබා ඇති බලාපොරොත්තුව වේ. එකී බලාපොරොත්තුව සුන් කිරීම ශ්‍රී ලංකා පොලිසිය විසින් කළ යුතු නොවේ.-divaina

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති
ගුණසේන තේනබදු
කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ
අපරාධ නීති පිළිබඳ දර්ශනපති

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.