මධ්‍යම පළාත් සභාව හිඟා කද්දී මන්ත්‍රීවරු ඇතුළු 65 ක් රට සවාරියේ…

cantral-pමධ්‍යම පළත් සභාව දැඩි මූල්‍යය අර්බුදයකට ලක්ව ඇති මොහොතක පළාත් සභාවට හිමි මහජන මුදලින්  රුපියල් කෝටි 13 ක්     වැයකර මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හා රාජ්‍යය නිලධාරීන් 65 දෙනෙක් රුසියානු සංචාරයක් සඳහා අනිද්දා (27) අලුයම දිවයිනෙන් පිටත්ව යෑමට සූදානමින් සිටිති. සංචාරයේ අරමුණ අධ්‍යයන චාරිකාවක් බව පැවසේ.

මොවුන් කණ්ඩායම් දෙකක් සේ සංචාරයට එක්වීමට නියමිතය. අනිද්දා ( 27) දිවයිනෙන් පිටත්ව යන කණ්ඩායමට මන්ත්‍රීවරු 28 දෙනකු හා සභාලේකම්වරයා අයත්වෙයි. ඔවුහු කටුනායකින් ඩුබායි බලා ගොස් එතැනින් රුසියාවට යති. සතියක සංචාරයකින අනතුරුව ඔක්තොම්බර් 4 දා මේ පිරිස යළි දිවයිනට පැමිණීමට නියමිතය.doc1

පළමු කණ්ඩායම ලංකාවට පැමිණි දිනට පසුදින එනම් 05 දා දෙවන කණ්ඩායම රුසියාව බලා පිටත්වනු ඇත. මේ එක් අයෙකුගේ ගුවන් ටිකට්පත් සදහා පමණක් පළාත්සභාව වැයකරන මුදල රුපියල් 180000.00 කි. සංචාරය සඳහා සහභාගීවන එක් මන්ත්‍රීවරයකුට ‍වියදම් දීමනාව ලෙස ඩොලර් 3000 ක මුදලක් වෙන්කර ඇත. ඉන් ඩොලර් 1325 ක මුදලක් ආහාර හා නවාතැන් වෙනුවෙන් අයකර ඉතිරි ඩොලර් 1675 ක මුදල  වියදම් දීමනා ලෙස මන්ත්‍රීවරු අත‍ට ලබා දේ. ඩොලර් 3000 ම ලබා නොදීම සම්බන්ධව මේ වනවිට මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවය පළ කර සිටිති.

මන්ත්‍රීවරුන්ගේ රුසියානු චාරිකාව සඳහා ප්‍රථම අධියර යටතේ සහභාගීවන  මන්ත්‍රීවරුන් හා නිලධාරීන් ඇතුළු 29 දෙනෙක් වෙත මහනුවර ලංකා බැංකු අධිශ්‍රේණි ශාඛාවේ පළාත් සභාවට අයත්  අංක 33789 දරන ජංගම ගිණුම මගින් ඇමරිකානු ඩොලර් 51655 ක මුදලක් නිදහස් කරන ලෙස මුදල් සහකාර එස්.කේ වෙලගෙදර හා සභාලේකම් බණ්ඩාර තෙන්න‍කෝන් ස්වකීය අත්සනින් යුත් doc2ලිපියකින් කළමණාකරු වෙත දන්වා තිබේ. මෙම සංචාරයේ මුල් කණ්ඩායම සමග සභාලේකම් බණ්ඩාර තෙන්නකෝන ද විදේශගත වේ.  එම ලිපියේ පිටපත් සියලු මන්ත්‍රීවරුන්ටද ලබාදී ඇත.

කෙසේ වෙතත්  මධ්‍යම පළාත් සභාව මගින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති 2996 ක් අතරින් ව්‍යාපෘති 258 ක් මෙ වනවිට මුදල් නොමැති නිසා ඇණහිට ඇති බව වාර්තා වේ. මෙම ව්‍යාපෘති නිමා කිරීම සදහා   රුපියල් මිලියන 5174 ක මුදලක් අවශ්‍යයව තිබෙන බවත් පසුගිය පළාත් සභා රැස්වීමේදී සන්ධාන මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසා තිබිණි. මතුව ඇති තත්වය ගැන විමසීමේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක පැවසුවේ තමන් ආණ්ඩුකාරවරිය විමට පෙර පසුගිය අයවැයෙන් මෙම සංචාරය සදහා මුදල් වෙන්කරගෙන තිබී ඇති බවත්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පැමිණ තමන්ගෙන් මේ සදහා අනුමැතිය ඉල්ලූ විට අධ්‍යයන චාරිකාවක් බැවින් ඊට අනුමැතිය දුන් බවත්ය. එහෙත් මධ්‍යම පළාත් සභාව දැඩි මුල්‍යය අර්බුදයකට ලක්ව තිබියදී මහජන නියෝජිතයින් මෙවැනි සංචාරයන්හි නිරතවීම හෘද සාක්ෂියට එකඟව අනුමත කළ නොහැකි බවද ඇය  ප්‍රකාශ කළාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.