මෛත්‍රීපාල ගෙන් කඩවෙන  පොරොන්දුවක් 

dr-dayan-jayatilleka-264x300

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දින සියයක්‌ ඇතුළත විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමට දුන් පොරොන්දුව  කඩවුන පොරොන්දුවක් වන  දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක කියා සිටී .

දිවයින  පුවත් පතේ පාලිත සේනානායක සමග සංවාදයකට එක්වෙමින්

ජනාධිපතිවරණය ජය ගෙන දින සියයකින් විධායක ජනාධිපති තනතුර අහෝසි කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා. ඔහු මේ දියත් කර තිබෙන්නේ විධායකයේ අත්තනෝමතිකත්වයට එරෙහි කැරැල්ලක්‌ද?

නෑ. මම හිතන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැරැල්ලට හේතු වුණු කරුණු සහ එතුමා ඉදිරිපත් කරන දේශපාලන වැඩපිළිවෙළ අතර යම් පරතරයක්‌ තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා තම කැරැල්ලට හේතු වුණු කරුණු පදනම් කරගෙන තම දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කළා නම් වඩාත් සාර්ථක බවයි මගේ අදහස.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ කැරැල්ලට හේතු වුණේ 1951 එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක සහ ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ කැරැල්ලට තිබුණු හේතුමයි. 1951 දී බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවෙන් අයින් වුණේ එම ආණ්‌ඩුව සහ පක්‍ෂය, සේනානායක පවුලේ ආධිපත්‍ය යටතේ පැවැති නිසයි. ඒ පවුල් ආධිපත්‍ය නිසා බණ්‌ඩාරනායක මහතාට ඒ පක්‍ෂය තුළ කිසිදිනක අගමැති වීමට හැකියාවක්‌ නොමැති බව ඔහුගේ විශ්වාසය වුණා. ඔහු එම පක්‍ෂයෙන් අයින් වුණේ ඒ නිසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාත් ආණ්‌ඩුවෙන් ඉවත් වී පොදු අපේක්‍ෂක වුණේ අගමැතිකම නොලැබුණු නිසාද?

මම කියන්නෙ අගමැතිකම නොලැබුණ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ කැරැල්ල දියත් කළා කියල නෙමෙයි. නමුත් විශේෂයෙන්ම පශ්චාත් යුද සමයේ පවුල්වාදය පමණක්‌ නොව රජ පවුල් වාදයක්‌ අද අපේ රටේ බිහිවෙලා තියෙනවා කියල. ශ්‍රීලනිපයේ සහ පොදු සමාජයේ මතයක්‌ ගොඩනැගිල තියෙනව.

මොකක්‌ද රජ පවුල්වාදය කියන්නේ?

රජ පවුල්වාදය කියන්නේ රාජපක්‍ෂ පවුලට මේ රට පාලනය කිරීමේ විශේෂ වරමක්‌ තිබෙනවා කියල මතයක්‌ අද නිර්මාණය වී තිබීමයි. අද එය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සීමා වූ දෙයක්‌ නෙමෙයි. මේ මතවාදය ඇරැඹුනෙත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් නෙමෙයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රිය චරිත ලක්‍ෂණ පාවිච්චි කරමින්, එයට මුවාවෙමින් ජනාධිපතිතුමා වටා පුද්ගලාභිවාදනයක්‌ ගොඩ නැගෙමින් ඒ පුද්ගලාභිවාදනය යටතේ සහ ඊට පසුපසින් පවුල්වාදී බල අධිකාරියක්‌ ගොඩනැඟිල තියෙනවා. පසුගිය අයවැයේ සංඛ්‍යාලේඛන අරගෙන බැලුවත් එක පවුලක සොහොයුරන් තිදෙනෙක්‌ අතට සම්පත් සංකේන්ද්‍රගත වී තිබෙන බව පෙනෙනවා. මේ අතර ජනාධිපතිතුමාගේ පුත්‍රයන් පක්‍ෂයේ අලුත් සංවිධාන නිර්මාණය කරමින් තමන්ගේ කනිෂ්ඨභාවයට නොසරිලන ආකාරයෙන් බලපෑමක්‌ කරන බවත් පෙනෙනවා. මේ සියල්ල සමස්‌තයක්‌ වශයෙන් ගත් විට පෙනෙන්නෙ කතිපයාධිපත්‍ය  ලෙසින් සමාජ විද්‍යාවේ හඳුන්වන සංසිද්ධිය අද අපේ රටේ ක්‍රියාත්මක වන බවයි. කතිපයාධිපත්‍යය කියන්නෙ සුළුතරයගේ පාලනය. ඒ සුළුතරය බොහෝ දුරට පවුල් කේන්ද්‍රීය සුළුතරයක්‌ බව ලෝක ඉතිහාසය දෙස බැලූ විටත් පෙනෙනවා. එවැනි පාලනයක්‌ තිබෙන සමාජවල සෑම පන්තියකම නොසන්සුන්තාවක්‌ ඇතිවීම අනිවාර්ය දෙයක්‌. ධනපති පංතිය තුළත් නොසන්සුන්තාවක්‌ තියෙනව. එයට හේතුව රටේ බලය සහ ධනය එක පවුලකට කේන්ද්‍රවීම නිසයි. මෙබඳු පාලනයක්‌ තුළදී තමන්ට එක්‌තරා සීමාවකට එහා යා නොහැකි බව දේශපාලකයන් මෙන්ම ව්‍යාපාරිකයනුත් හිතනව. කතිපයාධිපත්‍ය, සමාජයක්‌ තුළ ක්‍රියාත්මක වන විට සුදුස්‌සාට සුදුසු තැන නොලැබේය යන විශ්වාසයක්‌ සෑම ජන කොට්‌ඨාසයක්‌ තුළම ඇතිවෙනවා. සුදුස්‌සාට සුදුසු තැන නොලැබෙන තත්ත්වයක්‌ තුළ තනතුරු ලැබෙන්නේ පාලක පවුල සහ ඔවුන්ට ආවතේවකම් කරන්නන්ටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි ජ්‍යෙෂ්ඨයකු ගේ මේ කැරැල්ලෙන් ප්‍රකාශනය වන්නේ බල අධිකාරිය නිසා වර්තමාන සමාජ ව්‍යqහය තුළ ඇති වී ඇති නොසන්සුන්තාවයයි. මෙය විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව නැගුණ කැරැල්ලක්‌ නෙවෙයි.

මෙවැනිම තත්ත්වයක්‌ සේනානායක පවුල අපේ රටට නායකත්වය දෙන විට ඇති වුණා. ඊට පසු බණ්‌ඩාරනායක රත්වත්තේ පවුල්වාදය හැත්තෑගණන්වලදී දරුණු ලෙස තිබුණා. ඡේ. ආර්. ජයවර්ධන මහතා එය සිය මැතිවරණ ව්‍යාපාරයේ කේන්ද්‍රීය ඉලක්‌කය බවට පත්කර ගත්තේත් ඒ නිසයි. අපේ අසල්වැසි රටේ ඉන්දියාවේ මෝදි මහතාගේ ජයග්‍රහණය සිදුවුණේ නේරු – ගාන්ධි පවුල්වාදයට එරෙහිවයි. අපේ රටෙත් ඉන්දියාවෙත් මේ සියල්ල සිදු වුණේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේයි. ඒ නිසා මෙයත් කිසිසේත් විධායක ජනාධිපති ක්‍රමය හා සම්බන්ධ දෙයක්‌ නෙමෙයි.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව හමුවට යන්නේ විධායක ජනාධිපති ක්‍රමය පෙරටු කරගෙන නේද? එය අහෝසි කිරීමේ සටනක්‌ හැටියට නේද?

මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා රජ පවුල් වාදයේ ප්‍රශ්නය පෙරටුවට ගන්නේ නැතිව ඒ ගැන සඳහනක්‌ පමණක්‌ සිදුකර එයට කිසිසේත් සම්බන්ධ නැති විධායක ජනාධිපතික්‍රමය ඉවත් කිරීමට ඉදිරිපත්වීම ගැන මම කනගාටු වෙනවා.

විධායක ජනාධිපති තනතුර අහෝසි කර විධායක අගමැති තනතුරක්‌ ඇති කිරීමෙන් ප්‍රශ්නය විසඳෙයිද?

විධායක තනතුරේ බලතල ජනාධිපති අතේ සංකේන්ද්‍රගත වීම භයානක නම් එම බලතල අගමැතිවරයකු යටතේ සංකේන්ද්‍ර ගතවීම භයානක නොවන්නේ කෙසේද? ජනාධිපතිවරයා හෝa ජනාධිපතිවරිය යනු රටේ සමස්‌ත ජනතාව විසින් තෝරා පත් කර ගන්නා පුද්ගලයෙක්‌. එසේ නම් විධායක බලතල ලබාදීමට වඩා සුදුසු වන්නේ රටේ සමස්‌ත ජනතාවගේ බහුතරය තෝරා ගන්නා පුද්ගලයාද එක්‌ ප්‍රදේශයක ජනතාව තෝරා ගන්නා පුද්ගලයාද? අනිවාර්යයෙන්ම රටේ බහුතර ජනතාව තෝරාගන්නා පුද්ගලයායි ඊට සුදුසු. එම නිසා විධායක ජනාධිපති ක්‍රමයෙන් විධායක අගමැති ක්‍රමයකට මාරුවීම ප්‍රගතිශීලි පියවරක්‌ ලෙස මා සිතන්නේ නෑ.

මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ යුතුව තිබුණේ තමුන්ගේ දේශපාලන ගමන, ජීවිත අත්දැකීම්, සමාජ පසුතලයට සරිලන ආකාරයට ජනතා පුත්‍රයෙක්‌ වශයෙන් ජනතා පාලනයක්‌ වෙනුවෙන් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කිරීමටයි. ජනතාවගේ දුක්‌ගැනවිලි මත පදනම් වී එයට විසඳුම් ලැබෙන නව සමාජශීලි ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙලක්‌ ඉදිරිපත් කිරීම වෙනුවට කිසිලෙසකින් ජනතාවගේ පොදු ප්‍රශ්නයක්‌ නොවන විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම පිළිබඳ සටන් පාඨයක්‌ එතුමා බදාගෙන තියෙනව. ඊට එකතු වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගේ වැඩපිළිවෙළත් බෙහෙවින් දෝෂ සහිතයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගෙන දින සියයෙන් ජනාධිපති තනතුර ඉවත් කරන්න පුළුවන්ද?

ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කිරීමේ ක්‍රමවේද දෙකක්‌ තිබෙනවා. ව්‍යවස්‌ථානුකූලව ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම සහ ව්‍යවස්‌ථා විරෝධී ආකාරයට ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සෝල්බරි ව්‍යවස්‌ථාව වෙනස්‌ කළේ ව්‍යවස්‌ථාවෙන් පරිබාහිර ආකාරයටයි. නමුත් එයට ප්‍රබල තර්ක තිබුණා. එකක්‌ සෝල්බරි ව්‍යවස්‌ථාව ජාතික ව්‍යවස්‌ථාවක්‌ නොවන බව. දෙවැනි තර්කය වූයේ බ්‍රිතාන්‍ය කිරීටයට මුල් තැන දුන් ව්‍යවස්‌ථාවක සිට ජනරජයක්‌ කරා මාරුවීමේ මහා පෙරළියක්‌ කළ යුතු බව. එම නිසා සෝල්බරි ව්‍යවස්‌ථාව අනුව නොගොස්‌ නව ආරම්භයක්‌ එතුමා යෝජනා කළා. එය හඳුන්වන්නේ ව්‍යවස්‌ථා ඛණ්‌ඩනය නමින්. නමුත් ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්‌ථාව යටත් විජිත ව්‍යවස්‌ථාවක්‌ නෙමෙයි. එය සහමුලින්ම දේශීය ව්‍යවස්‌ථාවක්‌. අපේ රටේ යළිත් ජනරජයක්‌ පිහිටුවන්නට අවශ්‍ය නෑ. 72 ව්‍යවස්‌ථාවෙන් එය පිහිටුවා අවසන්.

එම නිසා මේ පවතින ව්‍යවස්‌ථාව, ව්‍යවස්‌ථා විරෝධී ආකාරයට වෙනස්‌ කරන්නට කිසිම සාධාරණ හේතුවක්‌ නෑ. ඒ පිළිබඳ තර්කයකුත් නෑ. එම නිසා මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරනව නම් එය කළ යුත්තේ ව්‍යවස්‌ථානුකූල ආකාරයටයි. එනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහිතව සහ සුප්‍රීම් උසාවියේ අනුමැතිය අනුව සහ ජනමත විචාරණයකින් මහජන කැමැත්තත් ලබාගෙනයි. 1978 ව්‍යවස්‌ථාව අනම්‍ය ව්‍යවස්‌ථාවක්‌. එනම් ලේසියෙන් වෙනස්‌ කළ නොහැකි ව්‍යවස්‌ථාවක්‌. මේ ව්‍යවස්‌ථාව දින සියයකින් ව්‍යවස්‌ථානුකූලව වෙනස්‌ කරන්න කිසි ලෙසකින්වත් බෑ. ව්‍යවස්‌ථා විරෝධී ආකාරයට අති ධානවකාරී විදියට මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්නට ගියොත් ව්‍යවස්‌ථා අර්බුදයක්‌ ඇති වෙනවා. ඒ හරහා රට තුළ අරාජිකත්වයක්‌ ගොඩනැගෙනවා. එම නිසා රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇටවූ උගුලක මෛත්‍රීපාල සිරිසේන මහතා හසු වී ඇති බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුවෙනවා.

විධායක  අගමැති ක්‍රමයකට මාරුවීම ප්‍රගතිශීලි පියවරක්‌ ලෙස මා සිතන්නේ නෑ.

මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ යුතුව තිබුණේ තමුන්ගේ දේශපාලන ගමන, ජීවිත අත්දැකීම්, සමාජ පසුතලයට සරිලන ආකාරයට ජනතා පුත්‍රයෙක්‌ වශයෙන් ජනතා පාලනයක්‌ වෙනුවෙන් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කිරීමටයි. ජනතාවගේ දුක්‌ගැනවිලි මත පදනම් වී එයට විසඳුම් ලැබෙන නව සමාජශීලි ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙලක්‌ ඉදිරිපත් කිරීම වෙනුවට කිසිලෙසකින් ජනතාවගේ පොදු ප්‍රශ්නයක්‌ නොවන විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම පිළිබඳ සටන් පාඨයක්‌ එතුමා බදාගෙන තියෙනව. ඊට එකතු වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගේ වැඩපිළිවෙළත් බෙහෙවින් දෝෂ සහිතයි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.