Ranil Presidential Adviser-රනිල්ට ජනාධිපති උපදේශක ධුරයක්?

 

ranil-mahinda

රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාවේදි නිරන්තරයෙන්ම සිදුවන දෙයක් ඇමෙරිකාවේදිත් සිදුවුනේය. සුප්‍රසිද්ධ තාක්ෂණික විශ්ව විද්‍යාලයේ  දෙසුමකට ගිය රනිල් වික්‍රමසිංහ හට ඉන්දියන් සාගරයේ රටවල් වලට බලපාන දේශපාලන සබඳතා ගැන කියන්නට වැදගත් දෙයක් තිබුණත් රනිල් ලංකාවට වැදගත්වන  බොහෝදේ කියතත් ඒ ගැන අහන්නට කවුරුවත් වැඩි උනන්දුවක් දක්වන්නේ නැති බව ප්‍රසිද්ධ රහසකි.

පස්දෙනෙක් සිටියත් රනිල් වික්‍රමසිංහ වැඩේ අත්හැරියේ නැත. ඉතා තාර්කිකව සහ කූල් පිට තම කරුණු ඉදිරිපත් කිරීම කළේය. මේ තරම් විදග්ධ ලෙසත් ගැඹුරු ලෙසත් කලාපයේ භූ දේශපාලනික සබඳතා විවරණය කළහැකි වෙනත් කිසිඳු දේශපාලඥයෙක්  ශ්‍රී ලංකාවේ නැති බව සහතිකය.

 

ranil mit

 

රනිල්ගේ දෙසුම අසන්නට පස්දෙනෙක් සිටි බව බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබුණත් රනිල් කිව්වේ මොනවද කියා බොහෝ මාධ්‍යවලට මඟ හැරි ගොස් තිබුණි. රනිල් කියා සිටියේ 2050 වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති කලාපය වන්නේ ඉන්දියන් සාගර කලාපය බවත් , ලෝක ජනගහනයෙන්  1/3 ක්  පමණ මේ කලාපයේ ජීවත් වන අතර ‍ලෝකයේ කන්ටේනර් ගමනාගමනයෙන් 50%ක් පමණ ඉන්දියන් සාගරය හරහා ගමන් ගන්නා බවයි. මේ තත්වය හමුවේ කලාපයේ වර්ධනය සහ ස්ථාවරත්වය සඳහා  ඉන්දියාවේ භූමිකාව මෙන්ම ඉන්දියාව සහ පකිස්ථානය පවත්වාගෙන යන සබඳතා වැදගත්බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය. ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරට න්‍යෂ්ටික බලය සහිත රටවල් වන හෙයින් දෙරට අතර  ඇතිවන අර්බුද සීරුවෙන් විසදා ගතයුතු බවයි රනිල් වික්‍රමසිංහ තර්ක කළේ. ඒ සඳහා එලිපිට කතාබහ  සහ පස්ස දොරෙන්කරන  කතාබහ වලට  අමතරව පෙට්ටියෙන්  පිටත හෙවත් සම්මතයට බැහැරින් කරන කතාබහ අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම ඉන්දියාවෙත් පකිස්ථානයෙත් සාමාන්‍ය ජනතාව අතර සිදුවන කතාබහ ඉතා වැදගත් බව රනිල් අවධාරණය කළේය.  මේ සඳහා ඉන්දියානු බොලිවුඩ් සිනමාව මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවත් භාවිතා කළ හැකි බව රනිල් මැනවින් පහදා  දුන්නේය. මේ කතා අසන විට කෙනෙකුට වැටහී යන්නේ යුරෝපා පාර්ලිමේන්තුව වැනි ආයතනයක් සාර්ක් කලාපයටත් තිබුණානම් රනිල් වික්‍රමසිංහ නිසැකයෙන්ම එහි ජනාධිපතිධුරයට සුදුසු බවයි. මන්ද යත් ඉන්දිය සාගර කලාපයේ දේශපාලන කටයුතු මෙහෙය වීම ගැන ඉන්දියාව පකිස්ථානය මෙන්ම කලාපයට බැහැරයෙන් සිටින චීනය ඉන්දියාව හා යුරෝපයටත් පොදුවේ වැඩ කළහැකි ක්‍රමවේදයක්  ඔහුගෙන් යෝජනා වු බැවිණි.

එහෙත් ප්‍රශ්ණය වන්නේ මේ පෙට්ටියෙන් පිට  සිතන ආකාරය ක්‍රමවේදය ඔහුගේ පක්ෂයට ඔහු හඳුන්වා නොදෙන්නේ මන්ද යන්න පිළිබඳවයි.  ඔහුට පෙට්ටියෙන් පිට තබා පෙට්ටිය ඇතුලත තිබෙන දෙය පවා නිසිලෙස කළමනාකරණය කළනොහැකි බව මැනවින් ඔප්පු වි ඇති අවස්ථාවකයි ඔහු Massachusetts Institute of Technology   ආයතනයේදි තම දෙසුම  පැවැත්වුයේ.

 

රනිල් වික්‍රමසිංහගේ දේශණයට පස් දෙනෙක් පැමිණිමෙන් පෙනීයන්නේ ඔහු තමන් කියන දෙය මිස අනුන් හිතන විදිය හෝ බලන විදිය ගණන් ගන්නේ නැති බවයි. එය සාර්ථක දේශපාලඥයෙක්ගේ වැදගත් ලකුණක් විය හැකිය. නමුත් ලාංකීය පොලිටික්ස් භූමිය තුළදි එය ඔට්ටු නැති බව රනිල්ට හිතාගන්න බැරිවීම  කණගාටුවට කරුණකි. ප්‍රේමදාස ජනාධිපතිවරයා ගමක් ගමක් ගානේ ඇඟළුම් කම්හල් විවෘත කරන්නට යන දවස්වලදි ප්‍රශ්ණ අසන්නට, පරණ දැන හැඳුනුම්කම් මතු කරගන්නට,  පෙර  සුදානම් කර තිබු ආකාරය මතක් වන විට රනිල්ට පෙට්ටියෙන් පිට ඉගෙන ගන්නට බොහෝ දේ ඇති බව පැහැදිලිය.

 

mahinda_ranil_3

 

රනිල් තමන් කියන දෙය අසන්නට පිරිසක් සොයා ගන්නට බැරිනම් කළ හැකි තවත් දෙයක් ඇත. එනම් තමන් කියන දේ පිරිසට ඒත්තු ගන්වන්නට සමත් කෙනෙක්  සොයා ගැනීමය. ඒ සඳහා කිසිඳු ගැටළුවක් නැතිව රනිල් වික්‍රමසිංහට ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එක්විය හැකිය. රනිල් වික්‍රමසිංහ වැනි කෙනෙක් තමන්ගේ උපදේශකයෙක් ලෙස පත්කර ගැනීමට ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම එකඟවෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කාට හෝ භාරදී ජනාධිපති උපදේශක ධුරයක් භාර ගැනීම තුලින් රටට වැඩක් කළහැකි වන අතරම නිරන්තරයෙන්ම මැතිවරණ පරාජය වීම පිළිබඳ චෝදනාවෙන්ද රනිල් වික්‍රමසිංහහට මිදිය හැකිවෙනු ඇත.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.