Where is Wimal Heading? විමල් කොයිබටද?

wimal weerawansa

විමල් වීරවංශ වමටද? දකුණටද? නැතිනම් ඉහළටද? පහළටද?

විමල් කොයි අත ගියත් දැන් ඔහු නොතකා හැරිය නොහැකි සාධකයක් බවට පත්ව  සිටී. 1980 ගණන්වල  කළුතර තිස්ස විද්‍යාලයේ ආරම්භක පිතිකරු වු විමලසේන කොලුවා  පත්තරකාර විමලසිරි ගම්ලත් හරහා විමල් වීරවංශ අමාත්‍යවරයා දක්වා පරිණාමය වෙද්දි ඔහු ලාංකීය දේශපාලන භූමිය තුල කාගේත් අවධානයටපත්වෙන ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක් වී හමාරය. දැන් ඔහු අලුත් ඉනිමකට අර අඳිමින් සිටී. බැලූ බැල්මට භාණ්ඩාගාර  ලේකම් පී.බී. ජයසුන්දර වෙත එල්ල කරන වාග් ප්‍රහාරයක් සේ විමල්ගේ වැඩපිළිවෙල හඳුන්වාදිය හැකි වෙතත් සැබෑ තත්වය ඊට වඩා වෙනස්ය. මේ ආරාවුල අලුත් පෙළගැසීම් කිහිපයකට මුල් විය හැකිය.

 

wimal weerawansa1

 

විමල්ගේ අතීතය පරික්ෂාකොට බැලුවොත් ඔහු සැබෑ ලෙසම දේශපාලඥයෙකි. ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමතිකම් දරනකාලයේදී විමල් වීරවංශ ඇමතිධූ රයක් නොදැරුවත්   සැබෑලෙසම බලය අදාලවන හැම මර්මස්ථානයක්ම ඔහුගේ පාලනයට නතුවිය. සන්ධානය සමඟ ඩීල් කලේ විමල්ය. මංගල සමරවීර ජනතා විමුක්ති පෙරමුණ සහ මහින්ද රාජපක්ෂ අතර වු සම්බන්ධීකරණ කටයුතු වලදී සම්බන්ධ  වෙමින් ජනාධිපති ප්‍රචාරණ ව්‍යාපාරය මෙහෙය වූයේ  විමල්ය. ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී යන තෙක්ම  අභ්‍යන්තර බලකණ්ඩායම් සම්බන්ධීකරණය කළේත් විමල් වීරවංශය. බලගතු ව්‍යාපාරිකයින් හා ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධීකරණයදීත් විමල් වීරවංශ අතින් වැදගත් කාර්යභාරයක්  ඉටු වූ අතර පසු කාලීනව තම පක්ෂය තනිව ගොඩනගා ගැනීමටත් මේ සබඳතා මහෝපකාරි වු බව පෙනෙන්නට ති‍බේ.

 

wimal weerawansa3

විමල් ගැන කවුරු මොනවා කීවත්  ඔහු තම මිත්‍රයන්ට හා සගයින්ට හිතවත්ව කටයුතු කරන්නෙකි. පීඩිත තරුණ පරම්පරාවේ බොහෝ දෙනාට විමල් වීරයෙකි. පහළ මධ්‍යම පන්තියෙන් ඉහළට ආ විමල් ගැන හිතන බොහෝ තරුණයින් හිතන්නේ අනේ මටත් මෙහෙම ඉන්න තියෙනවානම් කියාය. එහෙත් විමල්ගේ සාර්ථකය ඇත්තේ මේ  එකක්වත් නොවේ. ඔහු විසින් ක්‍රීඩා කරන පිට්ටනිය  ඔහු විසින්ම මැනවින් නිර්වචනය කර ගෙන තිබේ. ඔහු පෙනිසිටින්නේ ජාතික වාදයක් වෙනුවෙන් තෙම්පරාදුකරගත් සමාජවාදයක් වෙනුවෙනි. මේ ජාතික වාදය හෝ සමාජ වාදය සැබැවින්ම දක්නට නැති දේවල්ය. අනෙක් අතට මේවා බොහෝ දෙනාට අල්ලලා යන ලයින් එකකි.

 

wimalweerawansa5

 

ලෝක බැංකුවේ ප්ලග් එක ගලවා දැමීම, ගූගල් වර්ජනය කිරීම, බෑංකිමුන්ගේ වාර්තාව හකුළා ගන්නාතෙක් උපවාස කිරීම ආදි  සියල්ල ගැන කතාකොට යලිත් කිසිවක් සිදු නොවු ගානට වැඩ කරනගෙන යා හැකි වී ඇත්තේ මේ ජාතික වාදය හෝ සමාජ  වාදය සැබැවින්ම නැති දේවල් වුනත් ඒවාට ඇලුම් කරන බොහෝ පිරිස් සිටින හෙයිනි. විමල් මෙය මැනවින්  තේරුම් ගෙන තිබේ. මේ තේරුම් ගැනීම මත ඔහුට රාජපක්ෂ ආණ්ඩුව සමඟ බොහෝ දේවල් කේවල් කල හැකි අතර අනෙක් අතට එම හැකියාවම රාජපක්ෂ ආණ්ඩුවේ ඕනෑ එපාකම් සපුරාලීම සඳහා යොදවා ගත හැකිය. පසුගියදා සුගතදාස ක්‍රීඩාංගනයේ රැස්වු ජාතික නිදහස් පෙරමුණේ සාමාජික සංඛ්‍යාව දෙස බලන විට විමල්ගේ ලයින් එක නැගලයන තරම තේරුම් ගත හැකිය. විමල් සූදානම් වන්නේ කුමකටද යන්න ගැන ප්‍රධාන මතවාද දෙකක් තිබේ. පළමු වැන්න නම් රාජපක්ෂ ආණ්ඩුව වෙත එල්ලවන විරෝධය උරාගැනීමට කටයුතු කලහැකි බලවේගයක් ලෙස විමල්ගේ පෙරමුණ ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහයක් පිළිබඳ සැක මතුවී තිබේ.  මේ අනුව  රාජපක්ෂ වෙත විරෝධය පළකරන පිරිස් විමල් වෙත ආකර්ෂණය වීමට ඉඩ ඇති අතර තීරණාත්මක මොහොතකදී විමල්ට යලිත් රාජපක්ෂ පරිපාලනය හා සන්ධානගත විය හැකිය.

 

wimal 7

 

දෙවැනි මතය නම් රාජපක්ෂ පරිපාලනය තුල පීඩාවට ලක්වන විවිධ කොටස් සිටිති. පැරැණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මෛත්‍රීපාල සිරිසේන, නිමල්  සිරිපාලද සිල්වා, ජෝන් සෙනෙවිරත්න  ආදි එක් කොටසක් වන අතර වඩාත් රැඩිකල් ස්භාවයක් දරන හා  විමල් වීරවංශ  චම්පික රණවක තවත් කොටසකි. මේ දෙපිරිසම තමන්ට ප්‍රහාර එල්ල වීමට පෙර පූර්ව ප්‍රහාරයක් ලෙසින් ආණ්ඩුවේ වැඩපිලිවෙල අභියෝග කරන බව  තවත් කෙනෙකුට සිතිය හැකිය. මේ සඳහා විමල් මුට්ටිය දැමීම ආරම්භ කොට ඇති බවයි සමහරු කියා සිටින්නේ. මීට අමතරව  විමල්ගේ වාග් ප්‍රහාර ගැන තවත් අර්ථකථන  තිබිය හැකිය.

 

මේ මොන අර්ථකථන තිබුනත් විමල් වීරවංශගේ ක්‍රියාකලාපය ඔහු පතන ආකාරයටම සිදුවෙතැයි සිතිය නොහැක. අපේක්ෂිත ප්‍රතිඵල වලට වඩා අනපේක්ෂිත ප්‍රතිඵල වඩා බලවත් විය හැකිය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.