ජීවිතය දුෂ්කරද මේ තරම්- අලියා වැටුණු ඇල්ලේ මිනිස්සු

හුළු අතු පත්තු කරන් රෑටත් පාසල් යන අලියා වැටුණු ඇල්ලේ මිනිස්සු ගැන කියවන්නට ලැබුනේ ඇපල් පත්ත්රයෙනි. ඒ අපුරු ඉස්කෝලයකි. කථාව කියන්නේ නුවරඑළිය සම්පත් ජයලාල්ය.

අලියා වැටුණ ඇල්ල ගම්මානය යේ ළමුන් යන මඩුල්ල විද්‍යාලයේ උසස්පෙළ සමත්වීමේ ප්‍රතිශතය සියයට 100කි. 2016 වසරේ උසස්පෙළට සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය අනුව ලංකාවේ 42 ස්ථානය හිමි කරගෙන සිටි.

ඒ ජයග්‍රහණය ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ පාසල් වේලාවෙන් පසුව නැවත සවස 5ට පාසල පටන්ගෙන රාත්‍රි 10 දක්වා විද්‍යාලය තුළම අමතර පන්ති පැවැත්වීමෙනි. අද වන විට රාත්‍රී විද්‍යාලය නමින් ප්‍රචලිත මෙම විදුහලේ ගුරුභවතුන් ඒ සඳහා දරුවන්ගෙන් කිසිඳු මුදලක් අයකර නැත.

රාත්‍රි 10ට පන්ති හමාර වීමෙන් පසුව දරුවන් කැටුව යාම සඳහා දෙමාපියන් පැමිණීම සාමාන්‍ය පුරුද්දකි. තිලක් රූපසිංහ තම දරුවා කැටුව යාම සඳහා එදින රාත්‍රියේ පාසලට පැමිණ සිටි එක් පියෙකි. ඔහු අප සමඟ දොඩමුලු වූයේ මේ ලෙසිනි.

“මහත්තයෝ මම දරුවන් ඇන්න මොරහෙලට ත්‍රීවීල් එකකින් ගිහින් එතන ඉඳලා කිලෝ මීටර් දෙකහමාරක් විතර පයින් යන්න ඕනි ගමට. ඒ කියන්නේ අලියා වැටුණ ඇල්ලට. මේ රාත්‍රි යාමේ කියලා නෑ හුඵ අතු බැදගෙන අපි යනවා තවත් දරුවොයි දෙමාපියොයි එක්ක. දරුවන්ට උගන්නලා මේ අපායෙන් එගොඩ කරන්න ඕනි නිසාම අපි මේ දුෂ්කරතාවය විඳිනවා. මඩුල්ල ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයයි, ගුරුවරුයි සෑහෙන මහන්සියක් ගන්නවා මේ දරුවන් විභාගවලින් සමත් කරවලා තැනකට එක්කන් යන්න. අපිට තියෙන එකම සැනසීම ඒක තමයි මහත්තයෝ….”

රාත්‍රි 10 වන විට දරුවන් කැටුව යාමට දෙමාපියන් විවිධ ආකාරයෙන් පැමිණ සිටිනු දක්නට ලැබුණි. සමහරුන් ත්‍රීරෝද රථ, මෝටර් සයිකල්වලින් පැමිණ දරුවන් කැටුව යද්දි බොහෝ දෙනා අඳුර මැදින් පයින්ම යන ආකාරය අප නිරීක්ෂණය කළෙමු. ඒ අතර අලියා වැටුණ ඇල්ලට මේ රාත්‍රි යාමේ සතා සර්පයා මැද, ගල් මුල්වල පය හැපි හැපී පයින් යන දරුවන් අපට මතක් වූයේ නිරායාසයකිනි. ඒ අනුව පසුදාම අලියා වැටුණ ඇල්ල ගම්මානයට යාමට අප තීරණය කළෙමු.

අලියා වැටුණ ඇල්ල ගම්මානයට යාමට මග පෙන්නූ සනත් හේමචන්ද්‍ර මොරහෙලින් බැස පයින් යන ගමනේදී ගම්මානය පිළිබඳව අප දැනුවත් කළේය.

“අලියා වැටුණ ඇල්ල, මදුවැල්කැටිය, උඩලියද්ද, මොරහෙල, ගල්ගොඩයාය කියන මේ ගම් ඔක්කොම අයිති වෙන්නේ 527-බී මොරහෙල ග්‍රාමනිලධාරි වසමට. අපි ජීවත් වෙන්නේ ගොවිතැනින්. ගම්මිරිස්, වී, වගේම බෝංචි වගේ එළව`ඵ වර්ගත් කොස් දෙල් වගේ දේවලුත් මෙහෙ හොඳට වැවෙනවා. මේ හැම දෙයක්ම අපිට වෙළඳ පොළට අරන් යන්න වෙලා තියෙන්නේ කරමතින් කිලෝ මීටර් හතරක් පහක් පයින් උස්සගෙන ගිහින් තමයි. ඒ වගේ දුෂ්කර තත්ත්වයක් මත තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ ගමට කිසිම මාර්ග පහසුවක් නැති නිසයි. ලෙඩෙක් පවා ගොඩක් දුර පාරට උස්සන් යන්න ඕනි. මරණයක් වුණත් ගෙනියන්න අපි දුෂ්කරතා විඳිනවා. වැස්ස කාලෙට නම් මේ පාරේ කොහොමත්ම යන්න බෑ. තනිකර අගලක් වෙනවා. ඒ වුණාට තවමත් මේ ගැටලුව ඉවර වෙන පාටක් නම් නෑ.”

ඇත්තෙන්ම මේ මාර්ගය අතිදුෂ්කරතාවලින් පිරී පැවතුණි. පාසල් යන දරුවන් එක් දිනකට හතර වතාවක් උඩට පල්ලෙහාට කිලෝමීටර් 10ක පමණ දුරක් ගමන් කිරීම බොහෝ අයට හිතාගැනීමටත් අපහසු කාරණයක් වනු ඇත. එහෙත් එය සත්‍යයක් බව නැවත නැවතත් අපට පසක් කර දුන්නේ එදින ගම්මානයේදි අපට හමුවූ මඩුල්ල විද්‍යාලයේ ඉගෙනුම ලබන බුද්ධිමාලි දියණියයි.

“මම මඩුල්ලේ ඉස්කෝලේ යන්නේ පයින්. මගට ගිහින් තමයි බස් එකට නගින්න ඕනි. සමහර වෙලාවට ඉස්කෝලෙට යනකොට පරක්කු වෙලා. එකහමාරට ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට තුන විතර වෙනවා. තියෙන දෙයක් කාලා වෙන ඇඳුමක් ඇදගෙන පහ වෙන කොට ආයේ ඉස්කෝලෙට යනවා රෑ පන්තියට. රෑ දහයට අපිව එක්කන් යන්න අම්මලා තාත්තලා එනවා හුඵ අතු පත්තු කරගෙන. වෙන කරන්න දෙයක් නැති නිසා මේකේ එනවා
දෙඅත් එක් කොට වැඳ ඇය පැවසුවේ ඇඬූ කඳුළිනි..

මේ ගම්මානයේ වෙසෙන ජේ. ජී. ජේමිස් කියු තවත් එවැනි කතාවකි.

“මේ ගම් රටට විශාල ආදායමක් ගෙන දෙන ගම්මාන. නමුත් කිසිම පහසුකමක් නෑ. පාරක් හදලා දෙනවා නම්, ප්‍රවාහන පහසුකම් දෙනවා නම් මීට වඩා ඉදිරියට යන්න පුඵවන්. ගම්මිරිස්, කෝපි, තේ, ගව සම්පත මේ ගම්මානයේ තියෙනවා. පාරේ තැන් තැන්වල සිමෙන්ති දාලා තියෙනවා. ඒවත් දැන් කැඩිලා. ඇමතිවරු හිටියට ඇමතිවරු කරලා දෙන්නේ නෑ. ඡන්දේ කාලෙට විතරක් එනවා. රජයේ නිලධාරි මහත්වරුන්ට වුණත් මේ ගම්මානවල ඇවිදින්න පහසුකම් නෑ…”

ඔහුගේ ඒ කතාවට තවත් දේ එකතු කලේ එහි සිටි සුමනරත්නයි.

“මේ ගම්මානයේ කුඩා තේ වතු 25 ක් විතර තියෙනවා. මමත් අක්කරයක් විතර තේ හදනවා. ඒ තේ දලු කඩලා සතියකට වතාවක් කිලෝ මීටර් පහක් විතර දුර අරන් යන්න ඕනි. ඒකට රුපියල් පන්සියයක් විතර යනවා. පාරක් නැතිකම නිසා තමයි එහෙම වෙන්නේ. අනිත් එක තමයි වතුර ප්‍රශ්නේ. කිලෝමීටර් තුන්කාලක් විතර, වතුර අපි කරේ අදින්න ඕනි කන්ද උඩට. ඒකටත් තවම විසඳුමක් නෑ…”

පානීය ජලය ලබාගැනීම ද මේ ගම්මානවල ජනතාවට උග්‍ර ගැටලුවක් බව අප කළ නිරීක්ෂණයේදී පැහැදිලි විය. ඒ වන විටත් තම ඉඩමේ පිහිටි හිස් ළිඳ පෙන්වමින් ඩබ්. ජී. ඕදිරිස් එම කරුණ අපට තවත් පැහැදිලි කළේ මෙසේය…

“පවුල් 10ක් 15ක් වතුර බිව්ව මේ ළිඳෙන් අද අපිට බොන්න වතුර පොදක් ගන්න බැරිවෙලා තියෙනවා. වතුර ගේන්න හැතැප්මක් විතර පයින් යන්න ඕනි. බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මට දැන් අවුරුදු 65ක් වෙනවා. ඒ අවුරුදු 65කටම අද තමයි මාධ්‍යයකින් කියලා හරි ඇවිත් අපේ දුක සැප බලපු පළවෙනි වතාව මේ. මේ පාරත් මම කපා ගත්තේ තනියෙන්. දේශපාලකයින් එන්නේ ඡන්දේ ගන්න විතරයි. ඒ ආවට පස්සේ ආයෙත් එන්නේ නෑ. කරන්න දෙයක් නෑ. අපේ කරුමේ කියලා හිතාගෙන ජීවත් වෙනවා.”

කරුමය වෙනස් කළ නොහැකිද?
මේ ගැටලු සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද යන පැනය අප විමසූයේ වලපනේ ප්‍රාදේශිය ලේකම් අයි. එම්. සේනානායක මහතාගෙනුයි.

“මේ සම්බන්ධයෙන් මම මෙම ගම්මානවලට ගිහින් පරීක්ෂා කර බැලිමක් සිද්ධ කරන්නම්. ඊට පස්සේ තමයි මට යම් පිළියමක් යොදන්න පු`ඵවන් වෙන්නේ. කොහොම වුණත් මෙවැනි දුෂ්කර ගම්මාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා ඉදිරියේදී ලැබෙන ප්‍රතිපාදනවලින් අවශ්‍ය පහසුකම් ලබාදෙන්න උත්සාහ කරන්නම්.”

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.