අකලට මිලින කුසුම – සන්ධ්‍යා

giribawaරජරට පළාතම වෙලාගත් නියං සාය නිසා රාජාංගණය ජලාශයේ වතුර ටිකෙන් ටික අඩු වෙන්නට විය. පතුල පෙනෙන්නට ඇති මේ දිනවල නියඟයේ තරම තවත් කියාපාන්නට තවත් වදන් අනවශ්‍යය. එම නියඟයට බැටකෑ ගොවීන් මේ දිනවල නොයෙකුත් රැකියාවල යෙදෙන්නේය.

සන්ධ්‍යා මධුෂානිගේ දෙමවුපියන් ද එවැන්නකට යොමු වී ඇත. එනිසාම මව අසල වෙළෙඳසලක මුරුක්‌කු පැකට්‌ කරන්නට ගොස්‌ සිටියාය. තාත්තා කුඹුරේ කුමන හෝ වැඩක යෙදෙන්නට ඇත. සන්ධ්‍යාට සිටියේ තවත් එක්‌ සහෝදරයකු පමණි. එකම අයියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වූයේය. නිවසක තනියෙන් සිටින්නට බියක්‌ නොදැනෙන පරිසරයක ඇගේ නිවස පිහිටා තිබිණි.

ගිරිබාව පොලිස්‌ වසමට අයත් රාජාංගණය සාලිය අශෝකපුර යාය 2 ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක වූ ඒකනායක මුදියන්සේලාගේ සන්ධ්‍යා මධුෂානි ඒකනායක නම් වූ මල් කැකුළ පසුගිය 23 වැනි දින මහ දහවල් හිත් පිත් නැති පාපතර නරුමයකුගේ බිල්ලක්‌ බවට පත්විය. ආර්. එම්. සීලවතී හා ඊ. එම්. නන්දසේන සන්ධ්‍යාගේ දෙමවුපියන්ය.

ඔවුන්ගේ කැදැල්ලට දරුවන් දෙදෙනෙකි. දුව ඉන් බාලයාය. ඇය 2019 වසරේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. ඉගෙනුමට හා බාහිර ක්‍රියාකාරකම්වලට දක්‍ෂ ඇය මනා පිරිපුන්, පැහැපත් රුවකට හිමිකම් කීවාය. ගිරිබාව මහා විද්‍යාලය තුළ ඇගේ ඉගෙනුම් කටයුතු නිවැරදි මාවතකට රැගෙන යැමට විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්‌ඩලයෙන් ලැබී ඇති සහාය අතිමහත්ය. දැන් පාසල් නිවාඩුව නිසා මධුෂානි දැරිය තම පොත්පත් වැඩ අත් නොහැරියාය.

චූටි දුව මම වැඩට යනවා තාත්තත් ගෙදර නෑ” ඒ අම්මාගේ කටහඬයි. මධුෂානි තම පාඩම් වැඩවල නිරත වූවාය. අගෝස්‌තු 23 දින දහවල වෙනදාට වඩා අව් කාශ්ටය දරුණුය. පාඩම් වැඩ පසෙක දැමූ සන්ධ්‍යා මධුෂානි විඩාව නිවා ගැනීමට රූපවාහිනිය ක්‍රියාත්මක කර ගත්තාය. දහවල් 12 ට පමණ අසල්වැසි අයියා කෙනකු නිවසට පැමිණ ඇත. ඔහු අල්ලපු නිවසේ අයකු නිසා පුංචි මධුෂානි බිය නොවන්නට ඇත. ඒ ආව පුද්ගලයා තමන්ගේ “මාරයා” බව දැනගත්තා නම් පුංචි මධුෂානිට තම මව ළඟට දිව යන්නට තිබුණාය.

ඒත් ඇය තම අසල්වැසි තරුණයා ගැන සැක නොසිතන්නට ඇති. ගතවී ඇත්තේ නිමේෂයකි. පුංචි මධුෂානිගේ “ආත්මය” සොරාගත් මේ පාපි නරුමයා ඇගේ ජීවිතය ද අමු අමුවේම සොරා ගත්තේය. මෙවන් පාපතරයකුගෙන් ගැලවීමට පුංචි මදුෂානි කෙතරම් උත්සාහ අරගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ඇදිවත පිටින්ම සැකකරු අත්අඩංගුවට
ඇගේ දැත් පිටුපසට කර රෙදි පටියකින් බැඳ දැමූ මේ නරුමයා ඇයව දූෂණය කළේය. ඇගේ කැමැත්ත නොමැති තැන ඇයට බලහත්කාරකම් කළ බව ඇගේ සිරුරේ තිබූ සලකුණුවලින් මනාව ඔප්පු වේ. ඇගේ තොල් ප්‍රදේශය සපාකෑමට ලක්‌වෙලා. බෙල්ලේ නිය පහරවල්ය. තම සිතැඟියාව ඉටුකරගත් මේ නරුමයා 28 හැවිරිදි අයෙක්‌ බව පොලිසිය කියයි. මීට වසර කිහිපයකට පෙර මෙම ප්‍රදේශයට පදිංචියට පැමිණි බව ද පැවසේ. අවිවාහක මොහුට අනියම් බිරියක්‌ද සිටින බව ප්‍රදේශවාසීහු කීහ. තදින්ම මත්ද්‍රව්‍යවලට යොමුවී ඇති එකී නරුමයා එදින දහවල් තම සිතැඟියාව ඉටුකර සන්ධ්‍යාගේ නිවසින් පැනගත්තේ උඩ ඉන්න “දෙවියන්” ගැන හරිහැටි නොදත් බැවිනි.

ඔහු අසල පිහිටි පාලුවැව මංසන්ධියට පැමිණ තිබේ. ඉන්පසු පැමිණි බස්‌ රථයකින් පලායැමට සිතා ඊට ගොඩ විය. ඒ වන විටත් මුළු රාජාංගණයම ගිනි ගෙන මෙන් මෙපුවත සැරිසරා තිබිණි. එනිසාම බසයේ කොන්දොස්‌තරවරයා කඩිමුඩියේ බසයට නැගුණු යට කී තරුණයා ගැන සැක සිතුවේය. සැකයට අල්ලාගත් ඔහු ඇත්තටම සන්ධ්‍යාගේ ඝාතකයා විය. ඔහු වහාම ගිරිබාව පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. ගල්ගමුව උසාවියට ඉදිරිපත් කළ මෙකී පාපතරයා සැප්තැම්බර් 4 දක්‌වා රක්‍ෂිත බන්ධනාගරගත කෙරිණි.

දිනපතා බුදුපහන තියා පාඩම් වැඩ කරන සන්ධ්‍යා මධුෂානි යාබද පන්සලේ ඇති දහම් පාසලේ දීප්තිමත් සිසුවියකි. ඇය චිත්‍ර හා රචනා තරගවලින් ඉහළින්ම ජය ලැබුවෙකි. තම ප්‍රදේශවාසීන්ට අහිංසක සිනාවකින් සංග්‍රහ කිරීමට අමතක නොකළ ඇය එදිනද යට කී නරුමයාට ද එසේ කරන්නට ඇත. ඒත් දෛවයක සරදම ඇයට හරස්‌ විය. කුරිරු සමාජය විසින් නිර්මාණය කරන ලද ම්ලේච්ඡත්වය උඩට පැමිණ යට කී මල් කැකුළ තලා පොඩි කර ඉන් නොනැවතුණු පාපතරයා ඒ මල මිලින කර දමන්නට තරම් සැහැසි විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.