ඉන්දුනීසියානුවෙක් රෝහලට කඩා පැන්න හැටි

normanදිවයිනේ නෝමන් පලිහවඩන මාධ්‍යවේදියා උපක්‍රමශීලී පුවත් ගවේණයේ සමතෙකි. මේ ඔහු ඉන්දුනීසියානුවෙක් ලෙසින් රෝහලට පැන ගත් හැටියි.

මීගමු පැත්තේ සිට ගිලන් රථ කොළඹට විශාල ලෙස පැමිණෙන බව මගේ මිත්‍රයකු දුරකථනයෙන් එදා මට දැනුම් දීමක්‌ කළේය. අද මෙන් එදා එස්‌. එම්. එස්‌. පණිවිඩ නොතිබිණි. අන්තර් ජාල පහසුකම් නොතිබිණි. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රචාරයකින් යම් කිසි හදිසි පුවතක්‌ අපට දැන ගැනීමට ලැබිණි. එහෙත් ගුවන් විදුලියද එම ප්‍රවෘත්ති නිවේදනය කළේ උදෑසන, දහවල්, රාත්‍රි, සවස ප්‍රවෘත්ති ප්‍රචාරය වශයෙනි. ගිලන් රථ මෙසේ කොළඹට පැමිණෙන හේතුව පත්තර වාර්තාකරුවකු වශයෙන් සොයා බැලිය යුතුය.

මුලින්ම මා කතා කළේ මා මිත්‍ර අපරාධ භාරව ක්‍රියාකරන නියෝජ්‍ය පොලිස්‌පති ආර්. සුන්දරලිංගම් මහතාටය.

අන්න….. කටුනායක පැත්තේ ගුවන් යානයක්‌ කඩා වැටුණා යෑයි සුන්දරලිංගම් මහතා කීය.

මේ ආරංචිය දිනමිණ කර්තෘ මණ්‌ඩලයට පවසද්දී දිනමිණ කාර්යාලය කඩි ගුලක්‌ බවට පත්විය. කීයක්‌ මළා ද අනතුර සිද්ධ වුණේ කොහේද යනුවෙන් ඒ අය අසන ප්‍රශ්නවලට පිළිතුරු දී ඉවරයක්‌ නැත. වාර්තාකරුවන් දෙදෙනකු සිද්ධිය වූ ස්‌ථානයට යෑවූ අතර කොළඹ මහ රෝහලට ගොස්‌ තත්ත්වය සොයා බලන ලෙස ප්‍රවෘත්ති කතුවරයා වූ අමරසේන මහතා මට දැනුම් දීමක්‌ කළේය. මේ අනුව දිනමිණ කාර්යාලයේ වෑන් රියකින් මම කොළඹ මහා රෝහල බලා පිටත්ව ගියේ මගේ කැමරාව අඩංගු බෑගයද රැගෙනය. කොළඹ මහා රෝහලට තරමක්‌ ඈතින් පොලිස්‌ ආරක්‌ෂක වළල්ලක්‌ යොදවා තිබිණි.

“වාර්තාකරුවන්, ඡායාරූප ශිල්පීන් කාටවත් යන්න දෙන්න එපා.”  ගෆුර් මහතා පොලිස්‌ නිලධාරීන් අමතා විධානයක්‌ දුන්නේය. මගේ මතකයේ හැටියට ගෆුර් මහතා එවකට පොලිස්‌ අධිකාරි තනතුර දැරුවේය. ඔහුගේ උසට සරිලන තරබාරුකම පොලිස්‌ නිලධාරියෙකු වශයෙන් ඔහු කැපී පෙනුණි.

ගෆුර් මහතා මා හොඳින් දන්නා හඳුනන අයෙකු වූ නමුත් මිත්‍රකමට හිතවත්කමට ඔහුගෙන් සහයක්‌ ලැබුණේ නැත. රෝහලට පිවිසෙන මරියකඩේ ඩීන්ස්‌ පාර අසල දිගටම පොලිස්‌ රැකවරණ යොදා තිබිණි. ගිලන් රථ එක පෙළට නලා හඬ නංවමින් රෝහල දෙසට ධාවනය කරනු දක්‌නට ලැබිණි. මා මෙන්ම පත්‍ර වාර්තාකරුවෝ ඡායාරූප ශිල්පීන් රෝහලට යැමට නොහැකිව අවස්‌ථාවක්‌ ලැබෙන තුරු බලා සිටියෝය.

ඔහොම ඉඳලා බැහැ කොහොම හරි ඉස්‌පිරිතාලේ ඇතුළට පැනගත්තොත් තුවාල ලැබූ ගුවන් මගියෝ දැක බලා කතා කරන්න පුළුවන් යෑයි පත්තර මිත්‍රයකු මට කීවේය. අනතුරට පත්වූයේ ඉන්දුනීසියා ගුවන් යානයකි. එහි ඉන්දුනීසියා ගුවන් මගීන් වැඩි දෙනකු මියගොස්‌ සිටි අතර සමහරු අය තුවාල ලබා තිබිණි. පොලිස්‌ ආරක්‌ෂක වළල්ල වටා කීප විටක්‌ සංචාරය කළ මම එඩිතරව පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු මැදින් කඩිසරව ගමන් කළෙමි. ඒ මොහොතේ අව් කණ්‌ණාඩියක්‌ පැළඳ සිටි මම හිස කෙස්‌ අවුල්කර ගතිමි.

“කොහෙද මේ යන්නේ යන්න දෙන්න බැහැ ” යෑයි පොලිස්‌ නිලධාරියකු පැවැසීය.

එම අවධියේ කතෝලික දෙව්මැඳුරුවල යාඤා මෙහෙයන් සහ ගීතිකාවන් පැවැත් වූයේ ලතින් බසින්ය. මට ලතින් ගීතිකා යාඤා කඩ පාඩම් වී තිබිණි. පොලිස්‌ නිලධාරියා අමතා ලතින් බස උච්ඡාරණය කරමින් අවසානයේදී ඉන්දුනීසියා යෑයි මම කීවෙමි.

එම වදන්වලට කන්දුන් පොලිස්‌ නිලධාරියා “සෑර් සෑර්…” මේ ඉන්දුනීසියාකාරයෙක්‌ අපි යන්න දෙමු සෑර්” යෑයි තවත් පොලිස්‌ නිලධාරියකුට කීවේය. ඒ සැනකින් මම රෝහල දෙසට පියමං කළේ සෙසු වාර්තාකරුවෝ සහ ඡායාරූප ශිල්පියෝ බලා සිටියදීමය. කෙසේ හෝ වේවා පැය කාලක්‌ ඇතුළත මම රෝහල් වාට්‌ටුවට පිවිසුණෙමි.

ගුවන් අනතුරෙන් තුවාල වූ යුවළක්‌ සිටි අතර ඉන් එක්‌ අයෙකු මියගොස්‌ තිබිණි. මෙම දෙදෙනාම විවාහ වී මධු සමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි යුවළකි. ඉන්දුනීසියා බස සිංහල බසට පරිවර්තනය කරන අයකු ද රෝහල් වාට්‌ටුවේදී දක්‌නට ලැබිණි.

තුවාලකරුවන්ගේ ඡායාරූප රැසක්‌ද ලබාගත් මම මෙම ගුවන් අනතුර පිළිබඳව වටිනා පුවතක්‌ දිනමිණ පත්‍රයේ පළ කළෙමි. අසීරු පුවතක්‌ ලබාගැනීමේදී එම පුවත ලබාගන්නා ආකාරය පිළිබඳව අදාළ වාර්තාකරු උපක්‍රමශිලී විය යුතු යෑයි මම සිතමි. ප්‍රවෘත්තිය ගන්න බැරි වුණා යෑයි ආපසු හැරී එන එක වාර්තාකරුවකුගේ වගකීමක්‌ නොවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.