ගිලා බසින අවදානමෙන් පීඩිත කොළඹ

colomboඅක්‍රමවත් ලෙස ගොඩනැගිලි ඉදි කිරීම හේතුවෙන් කොළඹ ගිලා බසින අවදානමකට ලක්ව තිබෙන බව මහාචාර්ය ජිනදාස කටුපොත පවසයි. අපේ රටේ අගනගරය වන්නේ කොළඹ හා ජයවර්ධනපුර ආශ‍්‍රිත ප‍්‍රදේශය. මීට අවුරුදු 40ට 50ට පෙර මේ ප‍්‍රදේශයේ තිබුණේ තනි තට්ටුවේ නිවාස. නැතිනම් තට්ටු දෙක තුනේ නිවාස. ඊට වැඩි තට්ටු නිවාස තිබුණත් ඒ ඉතාම අඩුවෙන්. මගේ මතකය හැටියට සෙලින්කෝ ගොඩනැගිල්ල, මහබැංකු ගොඩනැගිල්ල, සංචාරක හෝටල සහ වෙනත් වානිජමය ගොඩනැගිලි තවත් කිහිපයක් පමණයි තිබුණේ. නමුත් අද වන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද තට්ටු 20 – 30 විතරක් නෙමෙයි ඊටත් වඩා උස ගොඩනැගිලි ඉදිකරනවා. එම ගොඩනැගිලි බොහොමයක් ඉඳි කරලා තියෙන්නේ දෙණිබිම්, පහත් බිම්, ජලාශ සහ වගුරු බිම් ගොඩකරලා. නැතිනම් කඳුගැට සමතලා කරලා. නමුත් මේ ගොඩනැඟිලි ඉඳිකරන විට එම ඉඳි කිරීම් භාරව සිටි දේශීය හෝ විදේශීය ඉංජිනේරුවරුන් ගොඩනැගිලිවල ධාරිතාවය අපේ පාෂාණවලට ගැලපෙනවදැයි සොයා බැලූ බව නිශ්චිතවම කියන්න බැහැ. එතැන තමයි අපට තියෙන ලොකුම ප‍්‍රශ්නය.

අපේ රටේ භූතලය සැකසී තියෙන්නේ කොහොමද ? එහි ශක්තිමත්බව වෙනත් රටවලට සාපේක්ෂව අඩුද ?

අපේ රටේ පොළෝ අභ්‍යන්තරයේ තියෙන පාෂාණ ප‍්‍රාග් කේන්ද්‍රීය යුගයට අයත් විපරීත පාෂාණ. ක‍්‍රියාකාරී යමහල් ප‍්‍රදේශ වල සහ මළයමහල් ප‍්‍රදේශවල ඇති වගේ ශූද්ධ වූ ග‍්‍රැනයිට් පාෂාණ අපට වගේ නැහැ. ඒවා විපරීතකරණයට ලක්වෙලා නයිෂ්ට් පාෂාණ බවට පත්වෙලා තියෙන්නේ. කණිජ සංයුතිය අනුව මේවායේ වර්ග තියෙනවා. මෙහෙම තියෙන පාෂාන මතුපිටක කොයිතරම් දුරට මේවා විහිදෙනවාද කියන්න බැහැ. සමහර ස්ථානවලදී මීටර් 300ක් 400ක් ගැඹුරට යනවිටත් පැලූම් තල, විවර තියෙනවා. එය අපිට පැහැදිලිව දකින්න පුළුවන් වුණ තැනක් තමයි උමාඔය ව්‍යාපෘතිය. එහි කැනීම් කරන විට මතුපිට සිට මීටර් 300ක් 400ක් ගැඹුරට ගිය පසුව උමග දිගේ ජලය කාන්දු වෙන්න පටන් ගත්තා. එයින් පෙන්නුම් කරන්නේ එම පාෂාණ වල ඇති දුර්වල බව. ඒ නිසා කොළඹ වගේ තදාසන්න ප‍්‍රදේශ වල අනිවාර්යෙන්ම පැලූම් විවර කුස්තුර තියෙන්න පුළුවන්. එහෙම තියෙන මතුපිටක අතිවිශාල ධාරිතාවක් දරන්න අමාරුයි. මම පෙර සඳහන් කල ප‍්‍රදේශ වලට කැළණිය ප‍්‍රදේශයේ දකුණු පුරවරය තුල ගොඩකරලා තියෙනවා. නමුත් මේවා අවුරුදු මිලියන 1500 හෝ 1800 ත් අතර පැරණි පාෂාණ වෙන්න පුළුවන්. නමුත් අධික වශයෙන් විපරීතකරණයට ගොදුරු වුණ ජීර්ණය වූ පාෂාණ මේවා. ඒ මතුපිට ඉදිකිරීම් කරන විට බොහෝමත් සැලකිලිමත් වෙන්න ඕන.

නමුත් කවුරුත් කියන්නේ අපේ රට වාසනාවන්ත රටක් කියලා. භූචලනවලින් ගිනිකඳුවලින් තොර රටක් කියලා. ඒක එහෙම වෙන්න පුළුවන් දෙයක්ද ?

නැහැ. අපේ රට වාසනාවන්ත රටක් වුණේ යුරෝපීය ජාතීන් මේ රට එන්න ඉස්සෙල්ලා. අපි නිතරම සඳහන් කරන්නේ ලංකාව භූ චලනවලින් තොර ප‍්‍රදේශයක් ලෙසින්. මේ විදිහට හිතාගෙන තමයි සංවර්ධන කටයුතු වලදී ඉවත් බවක් නැතිව දැවැන්ත ගොඩනැගිලි ඉදිකරන්න ගත්තේ. නමුත් අපිට මතකයි 2004 දී සුනාමි ඇවිත් දැවැන්ත විනාශයක් වුණා. ඒ කියන්නේ අපේ භූමියේ ඍජුවම භූචලනයක් නොවුණත් වෙනත් රටක හෝ වෙනත් තැනක ඇතිවන භූ චලනයක් නිසා අපේ රටටත් හානි වෙන්න පුළුවන්. මේ නිසා රටේ ගිනිකඳු ඇති නොවුණත් රටේ භූචලන ඇති නොවුණත් අපි ඒවායින් සුරක්ෂිත රටක් කියලා කියන්න බැහැ. අපේ භූතලයේ වුවත් භූකම්පන ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා 1615දී කොළඹ හා තදාසන්න ප‍්‍රදේශයේ රික්ටර් මාපකයේ 6කට වැඩි අගයකින් යුත් භූචලනයක් වුණා. එයින් කොළඹ නගරයේ මහා විනාශයක් සිදු වූ බවට වාර්තා වනවා. විශේෂයෙන්ම ජාතික සිතියම් පොත වගේම තවත් වාර්ථවල එහි භූචලන පිළිබඳ ලියූ වාර්තා තියෙනවා. ජාතික සිතියම් පොතට මා ලියූ වෙරළබඩ භූරූප පිළිබඳ වාර්ථාවෙත් වෙරළබඩ භූ රූප පිළිබඳ වාර්තාවේත් එවැනි භූ චලන ගැන සඳහන් කර තියෙනවා. මේ නිසා කොළඹ නගරය සහ තදාසන්න ප‍්‍රදේශවල භූචලනයක් සිදු නොවේයැයි අපිට කියන්න බැහැ. මේ නිසා කොළඹ නගරයේ දැවැන්ත ගොඩනැගිලි ඉඳි කිරීමේදී සැලකිලිමත් වීම අනිවාර්ය දෙයක්. එවැනි ඉඳිකිරීම් කරනවා නම් ලෝක මට්ටමේ ගොඩනැගිලි ඉඳිකිරිම් කරන විද්වතුන්ගෙන් භූ විiා සමීක්‍ෂණ ආයතනවලින් පර්යේෂණ සිදුකර ගෙන නිවැරදිව තොරතුරු දැන ගත යුතුයි. එවැන්නකින් පසුව කොළඹ නගරයේ මහාපරිමාණ ඉඳි කිරීම් කිරීමේ වරදක් මම දකින්නේ නැහැ.

ඔබතුමා කියන්නේ කොළඹ නරගය ගිලා බැසීමේ අවධානමක් තියෙනවා කියලද?
මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. අද කොළඹ නගරයේ තට්ටු 25 හෝ 30 ගොඩනැගිලි අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. මෙම ගොඩනැගිලිවල බර කොපමණද කියා කාටවත් ගණනය කරන්න බැහැ. සිමෙන්ති, කළුගල්, යකඩ, වැලි සහ තවත් නොයෙකුත් දේවල් සමඟ බලන විට ටොන් බිලියන ගාණක ප‍්‍රමාණයක් මෙහි ගොඩගසා තිබෙනවා. ඒ නිසා යම්කිසි විදියකින් දුර්වල පාෂාණ ස්ථරයක් කඩාගෙන ගිලා බැස්සොත් ඇති විය හැකි හානිය අති විශාල බව හොඳින් මතක තියා ගන්න. ගිලාබැසීම් ස්වාභාවිකව වෙන්නත් පුළුවන්. මිනිස් ක‍්‍රියාකාරකම් නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ස්වාභාවිකව සිදුවන ගිලාබැසීම් වේගවත් වී විය හැකි හානිය විශාල වෙන්නත් පුළුවන්. හොඳම උදාහරණය සුනාමිය, මුහුද ගොඩගැලූවා. වැඩිම හානියක් වුණේ කොහෙටද ? මිනිස් ක‍්‍රියාකාරකම් නිසා වෙනස්වුණු කලාපවලට. වැලිවැටි, ස්වාභාවික වෙරළ තිබුණු ප‍්‍රදේශවලට වූ හානිය අවමයි. ඒ වගේ තමයි පොළොව ගිලා බැසීම්. තට්ටු 30 – 40 ගොඩනැඟිලි නිසා මහපොළොවේ පාෂාණවලට ඔරොත්තු නොදෙන බරක් ඇති වුණොත්, භූතලයේ කරන වෙනස්කම් නිසා පාෂාණ පුපුරා ගියොත් පොළොවේ ගිලා බැසීම් ඇති නොවිය හැකිබවට දිය හැකි සහතිකය මොකද්ද ?

ලංකාවේ මධ්‍යම ප‍්‍රදේශයේ ගිලා බැසීම් අපිට පැහැදිලිව දකින්න පුළුවන්. එවැනි ගිලාබැසීම් කොළඹ නගරයේ අපිට දකින්නේ නැහැ ? ඒකෙන් පෙනෙන්නේ ඔබතුමා කියන පාරිසරික හානි තවමත් වෙලා නැහැ කියන එක නේද ?

නමුත් ඉදිරියේදී වෙන්න පුළුවන් නේද? අනිත් කරුණ ඔබ කියන්නේ මහා පරිමාණයේ ගිලා බැසීම්. ඔව්. එවැනි තත්ත්වයක් තවම දක්නට නැහැ. ඒකෙන් කියන්නේ නැහැ ඉදිරියේදී එවැන්නක් සිදු නොවෙයි කියලා. නිසි අධ්‍යයනක් නොමැතිව කරන මේ ඉඳි කිරීම් නිසා එවැන්නක් වීමේ සම්භාවිතාව වැඩි කියලයි මම කියන්නේ. සහරවිට ඇසට නිරීක්ෂණය නොවන ගිලා බැසීම් කොළඹ නගරය ආශ‍්‍රිතව සිදු වනවා ඇති. උදාහරණයක් වශයෙන් වරාය නගරය හෙවත් දැන් මූල්‍ය නරගරයේ ඉඳිකිරීම් සඳහා වැලි කියුබ් මිලියන 60ක් 70ක ප‍්‍රමාණයක් මුහුදෙන් ගන්න හදනවා. මේ වැලි ප‍්‍රමාණය ගන්නේ සාගර පත්ලෙන්. මේ නිසා මීගමුවෙන් උතුරට හලාවත දක්වා ප‍්‍රදේශයේ විශාල ලෙස වෙරළ ඛාදනය විශාල ලෙස දක්නට ලැබෙනවා. මේවා නතර කරන්න අපිට බැහැ. මෙයින් හානිය වෙන්නේ වෙරළ දිගේ ජීවත් වන ජනතාවට. ඒ විතරක් නොවෙයි සාගර පත්ල ආශ‍්‍රයෙන් තිබෙන ජලප‍්‍රවාහනත් වෙනස් වෙන්න පුළුවන්. කොළඹ වරාය නගරයේ අත්තිවාරම සැකසීමේදීත් සාගර ජල ප‍්‍රවාහන මාර්ග වෙනස් වී ඛාදනය අවඛාදනය විය හැකියි. ඒ විතරක් නෙමෙයි. මූල්‍ය නගරයට ගල් කියුබ් ලක්‍ෂ ගණනක් ගම්පහ, කළුතර, කොළඹ දිස්ත‍්‍රික්කවලින් කඩාගන්න හදනවා. තව ජැටි හදනවා. මේවාට ගල් පිට රටින් ගේන්නේ නැහැ. අපේ රටේ තියෙන ගල් පාවිච්චියට ගන්නේ. එයින් ඒ තැන්වල හිඩැස් ඇති වෙනවා. ඒ වගේම ගල් පිපිරීමට ගල්වෙඩි දැමීමෙන් පැලූම්, විවර කුස්තුූර ඇති වෙන්නත් පුළුවන්. එම කඩතොළු ඔස්සේ වර්ෂා ජලය ගලා යාමේදී භූවිද්‍යාත්මක ජල විද්‍යාත්මක ප‍්‍රශ්න ඇතිවීම වලක්වන්න බැහැ.

කොළඹ නගරය අවධාමනට ලක්ව තිබෙන්නේ මේ තට්ටු ගොඩනැඟිලි නිසාමද ? ඊට වඩා භයානක කරුණු තියෙනවා නේද ?
ඔව්. ඒක මම බැහැර කරන්නේ නැහැ. ඇත්තටම අද කොළඹ කියන්නේ ඉතාම සංවේදී නගරයක්. පොළොවට එකතුවන බරට අමතරව දැන් දැන් වායුවට විශාල අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් එක් වෙනවා. ජලපද්ධතිය වෙනස් වෙනවා. පාරිසරික වශයෙන් කුණු ප‍්‍රශ්නයත් ප‍්‍රබලයි. එක් වතාවකදී ඔරුගොඩවත්තේ සහ කොළොන්නාව ප‍්‍රදේශයේ තිබුණ කුණු ගොඩෙන් කිහිපදෙනෙක් විදුලිය උත්පාදනය කරන්න, ගෑස් නිෂ්පාදනය කරන්න උත්සාහ කළා. නමුත් ඒකට ඉඩ දුන්නේ නැහැ. දැන් පුත්තලමේ හුණුගල් කර්මාන්තය ආශ‍්‍රිත කපලා තියෙන වලවල් වලට ඒ කුණු දාන්න උත්සාහ කරනවා. පුත්තලටම කුණු ගෙන යාමෙන් අහිත කර ප‍්‍රතිඵල ආරාබි මුහුද දක්වාම විහිදේවී. අපේ පාරිසරික ප‍්‍රශ්නයක් අපිට විතරක් සීමා වන ප‍්‍රශ්නයක් නෙමෙයි. එය ලෝකයේ අනෙක් සියලූ දෙනාටම බලපානවා. ඒකයි අපි මේ ප‍්‍රශ්න ගැන වඩාත් සංවේදී විය යුත්තේ.

ගාලූ මුවදොර පිටියට ගියාම දැඩි සුළං දකින්න පුළුවන්. මේ සුළං තත්ත්වය ලංකාවට බලපාන්නේ කොහොමද ?

කොළඹ නගරය මුහුණ දී තියෙන්නේ සුළං මුණතට. ඒ වගේම මුහුදු රළ සහ අනෙකුත් ප‍්‍රවාහ මුණතට වදින්නේ. සුළං උඩින් හමාගෙන ගියාට මුහුදේ තියෙන රළ සහ ප‍්‍රවාහ වෙරළට වදින විට මහා පරිමාණ ඛාදනයන් ඇතිවෙනවා. මම පුවත්පතක දවසක් දැක්කා දෙහිවල මුහුදු තීරයේ තියෙන ගල්පර කඩන්න හදනවා, ධීවර බෝට්ටු ගන්න බැරිව. ධීවර බොට්ටු ගල්පරවල වැදී පෙරලී යාමෙන් ධීවරයින් මිය යන බවත් එය සාධාරණීකරණය කරන ලෙස බලධාරීන්ට පැවසුවා. නමුත් ගල්පර කැඞීම ප‍්‍රශ්නයට විසඳුම එය නෙමෙයි. ගල්පර කැඩූ විට මුහුදු රළ රට තුළට එනවා. දිය වැල් වෙනස් වෙනවා. ඒවායේ තියෙන බලපෑම් කවුරුත් හිතන්නේ නැතිව හිතුවක්කාර විදියට තමයි මේ තීන්දු ගන්නේ. මාළු අල්ලන්න ගත්තදා පටන්ම රුවල් නැව් සහ අනිත් නැව්වලින් ගිහින් මාළු ඇල්ලූවේ නැද්ද? බි‍්‍රතාන්‍ය, පෘතුගී‍්‍රසි, ඕලන්ද ජාතිකයින් නාවික කටයුතුවල යෙදුණා. ඒ අය සහ අපේ අය මාළු ඇල්ලූවේ නැත්ද, මුහුදු ගියේ නැද්ද ? නාවික කටයුතු කළේ නැත්ද ? ඒ ගැන හරිහැටි අධ්‍යයනයක් කරන්න ඕන. එවැනි විiාත්මක පර්යේෂණ නොකර; විදේශ ආධාර අරගෙන; මේ රටේ තියෙන ගල් ටිකත් කඩලා; මුහුදු පතුලේ තියෙන වැලි ටිකත් ඇදගෙන ස්වභාව පරිසරය විනාශ කළාම ඒවාට විපාක විඳින්න වෙන්නේ තව අවුරුදු 25ක් 30ක් ගියාම. එතොකොට දැන් ඉන්න දේශපාලනඥයින් කවුරුත් ජීවතුන් අතර නැහැ. මා දන්න විදියට 1990 දශකයේ පේ‍්‍රමදාස මහත්මයා, හිටපු ජනාධිපතිතුමා පරිසර ඇමතිතුමා ලෙස සිටියා. එතැන් සිට මේ දක්වා පරිසරය භාර ඇමතිවරුන් සහ ඉහළ බලධාරීන් මොනවාද අපේ රටේ පරිසරය වෙනුවෙන් කරලා තියෙන්නේ ? හැම මනුස්සයාම කරලා තියෙන්නේ පරිසරයට විනාසයක්. කිසිම කෙනෙකුට කියන්න බැහැ ඇඟිල්ල දික්කරලා මෙන්න මේ වැඬේ කළා, මේ විනාසය නතර කළා කියලා. හැබැයි ඒ හැම කෙනාටම කෝටි ගණන්වලින් මුදල් උපයැයුවා.

ඔබතුමා පවසන ලෙස සාගරය අපේ පරිසරයට පමණක් නෙමෙයි මිනිස් ජීවිතවලටත් බලපානවා. ඒ සඳහා උදාහරණයක් දෙන්න පුළුවන්ද ?
ඉතා සරල උදාහරණයක් කියන්නම්. ලංකාවේ මෑතකදී ලූණු මිල ඉතා ශීඝ‍්‍රයෙන් ඉහළ ගියා. නමුත් අපේ ලංකාව වටේම මුහුද. අපිට ලූණු නිෂ්පාදනය කරන්න පුළුවන් ස්ථාන බොහොමක් තියෙනවා. තෙත් කලාපේ ලූණු හදන්න බැරි වුණත් අපේ රටේ මුහුද වටේම තියෙනවා. තුනෙන් දෙකකට වැඩි බිම් ප‍්‍රමාණයක් වියළි තත්ත්වයකින්. ඒ හැම එකකම කලපු සහ මුහුදු ජලය සහිත විල් තියෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් පුත්තලම, අලිමංකඩ සහ නැගෙනහිර පළාතේ ස්ථාන බොහෝමයක් තියෙනවා. දකුණට ආවොත් හම්බන්තොට ඉඳලා යාල ඇතුළට යනතෙක් ලූණු නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන තියෙන ප‍්‍රශ්නය. ලංකාවට දකුණු දෙසින් අලූතින් වර්ධනය වෙනවා පැළුම් කලාපයක්. ලංකාවේ සිට කිලෝමීටර් 600ත් 1000ත් අතර භූකම්පන කලාපයක්. එහි ඉඳහිට භූකම්පන ඇතිවෙනවා.මේ මෑතකදී දකුණු පළාතට ඇතිවූ භූචලනයත් ඒ වගේ එකක් වෙනන්න පුළුවන්. ඒවායේ බලපෑම් ලංකාවටත් එනවා. තවම මහා පරිමාණයෙන් ඇවිත් නැහැ. කොහොම නමුත් දැන් ලංකාවේ දකුණු දිග මුහුදු ප‍්‍රවාහවල වෙනස්කම් ඇතිවෙනවා කියලා නාවික කටයුතුවල යෙදෙන අය කියනවා. ඉස්සර තිබුණා උණුසුම් දියවැල්. දැන් ඇත්ත වශයෙන්ම සීතල දියවැල් ගමන් කරනබව ඔවුන් කියනවා. මේ සීතල දියවැල් දෛනික කාළගුණ තත්ත්වයන්ට බලපානවා. ඒ වගේම ඍතුමය කාළගුණ තත්ත්වයන්ටත් ඒවා බලපානවා. සමහරවිට වර්ෂාපතනය අඩු වැඩිවීම්වලටත් බලපානවා. යම්කිසිවිදයකින් මේ සීතල දියවැල් නිසා දකුණු කලාපයට වර්ෂාපතනය වැඩි වුණහොත් අපිට ලූණු නිෂ්පාදනයේ ප‍්‍රශ්නයක් ඇති වෙනවා. ලූණු ලේවායන්වලට මුහුදු වතුර පුරවා ලූණු නිෂ්පාදනය කරන්න බැරිවේවී. නමුත් මේවා ගැන පර්යේෂණ කරලා ඉවර නැහැ. ඒවා තීන්දු තීරණ ගන්න අය රටේ උගතුන්ට භාර කළ යුතුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.