දෛවය පරාද කළ සෙනරත් අත්තනායක මරණයට පරද වෙයි

kithsiri-senarathවත්මන් ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී හා හිටපු අමාත්‍ය අධිනීතීඥ කිත්සිරි සෙනරත් අත්තනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (29) හදිසියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 51 වන වියේ පසුවිය. 1999 වර්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ආසනය නියෝජනය කරමින් ඌව පළාත් සභාවට තේරී පත්වූ ඒ මහතා මේ දක්වාම ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. 1999 වර්ෂයේ දී ඌව පළාත් කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

මේ ඔහු හ දිවයින කළ කථා බහකි

දෛවය පරාද කරන මිනිස්‌සු සිටිති. ඒ මිනිස්‌සුන්ගේ කතා සිරිමත් ය. සෙනරත් අත්තනායක අපට විරලව හමුවන එවැනි සිරිමත් මනුෂ්‍යයෙකි. සෙනරත් අත්තනායකගේ ජීවිතය ඇරඹෙන්නේ රෝද පුටුවක්‌ මතය. ඔහු අවුරුදුÊ තුන වන විට දෙපයින් නැගිටිය නොහැකි පෝලියෝ රෝගියෙකි. ආබාධිත දරුවෙකුට සමාජයෙන් ලැබෙනා නොපිළිගැනීම විඳ දරා ගනිමින් හෙතෙම ජීවිතය දිනන්නේ ය. සෙනරත් අත්තනායක අද නීතිඥයෙකි. රෝද පුටුවක හැදී වැඩී නීති ක්‍ෂේත්‍රය දිනූ ලංකාවේ මුල්ම නීතිඥවරයා සෙනරත් අත්තනායක ය. එමෙන්ම හෙතෙම මේ වන විට සාර්ථක ව්‍යාපාරිකයෙකි. ක්‍රියාකාරී දේශපාලකයෙකි. ඌව පළාත් සභාවේ ඇමැතිවරයෙකි. ආදරණීය පියෙකි. යහපත් ස්‌වාමිපුරුෂයෙකි.

කොටින්ම දෛවය දිනූ මනුෂ්‍යයෙකි. අත්පා හතරම යහපත් සේ පිහිටිය නමුදු සිතින් අංග විකල වූ අපේ රටේ බොහෝ දෙනාට සෙනරත් අත්තනායක පාඩමක්‌ නොව පාඨමාලාවක්‌ වැන්න.

ඒ අපූරු මිනිසා වෙනුවෙන් ‘ජීවිතය’ ඉඩහසර වෙන් කරන්නේ ඒ නිසාය.

ඇත්තම කියන්න ඔබ මේ ජීවිතේ ගෙවන්නේ සතුටින්ද?

මේ වගේ ආබාධ සහිත අයගෙන් සතුටින්ම ඉන්න පුද්ගලයා මම වෙන්න ඇති. මම හොඳ ව්‍යාපාරිකයෙක්‌. මම තනිවම ගොඩනගාගත්ත ව්‍යාපාර තිබෙනවා. මම හොඳ දේශපාලකයෙක්‌. ඌව පළාතෙ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, වනසම්පත් හා පශු සම්පත් අමාත්‍යවරයා මමයි. මට හොඳ පවුලක්‌ තියෙනවා. මුළුÊදවසෙම නිකන් ඉන්නෙ නැතිව කරන්න වැඩ තියෙනවා. ඉතිං මම තෘප්තිමත්.

ඔබ රෝද පුටුවකට වෙන්නේ පුංචි කාලෙදිමද?

ඇවිදින්න බැරිකම පුංචි කාලෙ ඉඳලම තිබුණා. මොකද මට පෝලියෝ හැදෙන්නෙ වයස අවුරුදු එකහමාරෙදි?

ඒ මුල් කාලයේ ජීවිතය ගෙවුන හැටි මතකද?

මට මතක ඇති කාලේ මම හිටියේ හොස්‌පිට්‌ල්වල. හේතුව අපේ අම්මා තාත්තා හිතුවා මාව සනීප කරන්න පුළුවන් කියලා. හැබැයි මේ කාලෙ වෙන කොටත් අනෙක්‌ ආබාධ සහිත අයට වගේ මම අඩුපාඩු මැද්දේ ජීවත්වුණ කෙනෙක්‌ නොවෙයි.

මම ඉපදුනෙ 1966 දී. හැත්තෑවේදී අප්පච්චි පාර්ලිමේන්තුවට යනවා. ඔහු ජයවර්ධන අත්තනායක. ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගොඩනඟන්න දායක වුණ මුල්ම කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌. මම හැදුන පරිසරය තුළ අනෙක්‌ ආබාධ සහිත අයට නැති වරප්‍රසාද මේ නිසා මට ලැබෙනවා. ඒ නිසාම රිඡ්වේ රෝහලේ, ආයුර්වේද පංචකර්ම රෝහලේ වගේ තැන්වල තමයි පුංචි කාලෙ මගේ ජීවිතේ ගෙවෙන්නේ.

මේ වෙනකොට ඔබට ජීවිතය තේරෙනවද?

ඔව්. ජීවිතයෙ තේරෙන දේවල් තිබුණා. නංගි මට ගොඩක්‌ ආදරෙයි. මම ඒ වෙනකොට පාසලකට යන්නෙ නෑ. නංගි ඉගෙන ගත්තෙ මියුසියස්‌ එකේ. එයා නිවාඩු කාලෙට ගෙදර ආවාම මට පාඩම් වැඩ කියලා දෙනවා. අපේ අම්මලාත් ඉතිං ඒ දිහා බලන් ඉන්නවා. හැබැයි මම හරියකට පාසලකට නොගියට අම්මා ඉස්‌කෝලෙ උගන්වනකොට මමත් ඒ පංතිවලවලට වෙලා අම්මත් එක්‌ක ඉන්නවා. රෝහල්වල ඉඳිද්දි ගුරුවරු ඇවිත් මට උගන්නල තියෙනවා. ඒ නිසා මට අකුරු ලියන්න කියවන්න පුළුවන්කම තිබුණා.

නිසියාකාරව පාසලකට යන්න පටන් ගත්තේ?

හතර වසරේ ඉඳලා. ඒ කොළඹ රෝයල් කොලේඡ් එකට.

ඒ අලුත් පරිසරය ඔබට දැනුනෙ කොහොමද?

රෝයල් එකේ ඉන්න සිසුන් එක්‌ක බැලුවාම මම රෝයල් එකට එන්නේ කිසිම දෙයක්‌ දන්නෙ නැති, ඉංග්‍රීසි කතා කරන්නෙ නැති ගමේ කොල්ලෙක්‌ විදියට. හැබැයි මාව රෝයල් එකට දානකොටම ‘ඩොක්‌ටර්’ අරුණාලන්දන් මාව බලාගන්නම රෝයල් එකෙ ගුරුවරයකු වී එනවා. එය මට ගොඩාක්‌ පහසුවට කාරණයක්‌ වුණා.

ඉක්‌මනින්ම ඒ පරිසරයට හුරු වෙන්න පුළුවන් වුණාද? මම අහන්නේ පාසලේ යහළුවන් අතරේ?

හොස්‌ටල් එකට ආවට පස්‌සෙ තමයි මම ඒ පරිසරයට හුරු වුණේ. හේතුව හොස්‌ටල් එක සම්පූර්ණ වෙනස්‌ තැනක්‌ විදියට මට දැනුනෙ. ඒකෙ හිටිය යහළුවන්ට මාව වෙනස්‌ විශේෂිත පුද්ගලයෙක්‌ ලෙස දැනුනෙ නෑ. මම ආබාධ සහිත පුද්ගලයෙක්‌ ද කියන එක ඒ අයට වැදගත් නෑ. ඒ අය මට ආදරය කළා. ඒක මට දැනෙන්න ගත්තාම මම ඉගෙන ගත්තා යහළුවන් මට ආදරේ කරන විදියට ඉන්න. ඇත්තටම මම ජීවිතේ පටන් ගත්තෙ හොස්‌ටල් එකෙන්. ඒ පටන් ගැනිල්ල තමයි තාමත් මේ යන්නේ.

ඒ වගේ ගතිගුණවලට ඔබ හුරු වුණේ කොහොමද? කව්රු හින්ද වෙන්න ඇතිද?

ඒ නිහතමානීකම මට ආවේ අපේ අප්පච්චිගෙන්. අපේ අප්පච්චි කියන්නේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක්‌ ගරු කළ පුද්ගලයෙක්‌.

පුංචි කාලෙ ගැන මතක්‌ කරද්දී හිත සංවේදී වෙන තැන් තියෙනවද?

එහෙම තැන් තියෙනවා. මම ඉස්‌කෝලෙ යන්නෙ නැතිව කාලයක්‌ ගෙදරනෙ හිටියෙ. නංගි එතකොට ඉස්‌කෝලෙ යනවා. ගෙදරට එන නෑදැයො පැන්සල් මකන කෑලි වගේ තෑගි ගේන්නෙ නංගිට විතරයි. මොකද එයාල හිතන්නෙ මම ආබාධිත නිසා මට ඒවා වැඩක්‌ නෑ කියල. හැබැයි ඒ හැම අවස්‌ථාවකදීම නංගි ඒ ගේන පැන්සල් පෑන් මටත් දීලා මට වෙනසක්‌ නොදැනෙන්න වැඩ කළා. මට මතකයි අපේ මුත්තා මම ඉන්න තැන නංගිට විතරක්‌ කියනවා. උඹ ඉගෙන ගෙන ඇඩ්වකේට්‌ නෝනා කෙනෙක්‌ වෙයන් කියලා. ඒක එයාගෙ වරද නෙමෙයි. ආබාධිත දරුවෙක්‌ට අනාගතයක්‌ තියෙනවා කියල ඒ කාලේ කව්රුවත් හිතපු නැති නිසාත් සමාජ මතයත් නිසා එහෙම වුණේ.

මිනිස්‌සු ඔබට අනුකම්පා කරනවට කැමතිද?

නැහැ. මුල්a කාලේ කව්රුහරි මාව දැකල මොන දේ වුණත් අනේ පව් කියල කියනකොට මට කේන්ති යනවා. පහුවෙනකොට ඒ වගේ කව්රුහරි නැවතිලා මා දිහා බලාගෙන ඉන්න කොට මම නැවතිලා ඒ අය අහන දේට උත්තර දෙන්න පුරුදු වුණා. මම ගෑනු ළමයෙක්‌ එක්‌ක හිටියත් ඒක මිනිස්‌සුන්ට ප්‍රශ්නයක්‌. මම ඒ අය අහන දේට උත්තර දෙන්නෙ මා ගැන අනුකම්පා හිතෙන විදියට නෙවෙයි.

පාසලේ ගුරුවරු ඔබ ගැන විශේෂත්වයක්‌ දැක්‌වූවද?

ගුරුවරු විශේෂ විදියට මට ආදරය කළත් ඒක මට පෙන්නුවේ නෑ. ගුරුවරු අනෙක්‌ ළමයි දිහා බලන විදියටම මා දිහා බලනවා කියල තමයි පෙන්නුවේ. සමහර වෙලාවට සෙනරත් ඔය පොත මෙහාට ගේන්න කියලා මට කතා කරනවා. එහෙම කළේ මාව ඇවිද්දවන්න. මාව ඉන්න තැනින් ඉස්‌සරහට ගන්න. ඒ ගුරුවරු අදටත් මට බොහොම සමීපයි. ඡන්දය ඉල්ලනකොට තාමත් මම මුලින්ම බුලත් දෙන්න යන්නෙ මට පොඩි කාලේ උගන්නපු ගුරුතුමියක්‌ ළඟට.

මේ කාලෙ වෙනකොට මම හොඳට ඉගෙන ගන්නවා කියන අදහස හිතට අරන් හිටියද?

මමත් මෙහෙම ඉඳල හරියන්නෙ නෑ යමක්‌ කරන්න ඕන කියල දැනුනෙ අට නවය වගේ පංතියේදී. ඇත්තටම මම සාමාන්‍ය පෙළ පාස්‌ වුණේ යාන්තමට. ඒ වෙනකොට මම පංතියේ අන්තිමයා වගේ. හැබැයි මම සාමාන්‍ය පෙළ ෙµaල් වුනොත් ඒක ලොකු ලැඡ්ජාවට කාරණයක්‌ කියන හැඟීම මට දැනුනා. ඒ හේතුව නිසයි ඒ තරමින් පාස්‌ වෙන්න හරි වැඩ කළේ.

විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා කියල හිතන් හිටියෙ නැද්ද?

උසස්‌ පෙළ කරන කාලේ සාමාන්‍ය පෙළ කරන දවස්‌වල තිබුණ හැඟීම් වෙනස්‌ වුණා. මම හැදැරුවේ වාණිජ විෂයයන්. උසස්‌ පෙළ ලියන කොටත් මම දැනන් හිටියා මම කැම්පස්‌ තේරෙනවා කියලා.

වාණිජ විෂයයන් කරල විශ්වවිද්‍යාලයටත් තේරිලා ඊටත් පස්‌සෙ ඇයි නීතිඥවරයෙක්‌ වෙන්න හිතුවේ.

හැත්තෑ හතේ ආණ්‌ඩුවත් එක්‌ක අපිට ඔළුව උස්‌සන්න බැරි තත්ත්වයක්‌ තිබුණෙ. තාත්තා නියෝජනය කළ පළාතෙන් දේශපාලනයේදී ප්‍රබල චරිත මතුවෙන්න ගත්තා. සාමාන්‍යයෙන් පවුලක ලොකු පුතා කියන කෙනාට වගකීමක්‌ තියෙනවා තාත්තගෙ, නැත්නම් පවුලේ ඉදිරි ගමනට රුකුලක්‌ වෙන්න. ඒත් මම ආබාධිත නිසා සම්මතයක්‌ විදියට තාත්තගෙ දේශපාලන සටනට උර දෙන්න මට හැකියාවක්‌ නෑ. අනික මම ආබාධිත නිසා අධ්‍යාපනයක්‌ නැති කෙනෙක්‌ උනොත් (සමාජ පිළිගැනීමක්‌) මම කියන දේ මිනිස්‌සු පිළිගන්නෙ නැති වෙනවා. ඒකට මුහුණ දෙන්න තමයි මම නීතිඥවරයෙක්‌ වෙන්නෙ. මම දැනගත්තා අප්පච්චිට හයියක්‌ වෙන්න සමාජය පිළිගන්න තැනකට මම එන්න ඕනෑ කියලා.

මේ තත්ත්වයේ සිට නීතිඥවරයකු ලෙස දිවුරම් දෙන ලංකාවේ මුල්ම පුද්ගලයා ඔබද?

මම දන්න විදියට මුල්ම කෙනා මම

සමාජ වගකීම් දරන පුද්ගලයකු මුවහත් වුණේ කොහොමද?

වගකීම් දරන හැටි කියල දුන්නෙත් මගෙ අප්පච්චි. ඒ දවස්‌වල අපිට ලොරි කිහිපයක්‌ තිබුණා. ලංකාවේ කොහේදි හරි ඔය ලොරියක්‌ කැඩුනාම මම ආබාධිතයි කියලා හිතන් නැතිව ඒ ගැන හොයා බලන්න බාර දුන්නෙ මට. සමහර වෙලාවට මහ රෑ කියනවා ලොකු පුතේ කුරුණෑගලදි ලොරියක්‌ කැඩිලා. පොඩ්ඩක්‌ බලන්න කියලා. මම ඒ වෙලේම ඒ වගකීම ඉටු කරනවා. එහෙම තමයි මට වගකීම් දරන හැටි හුරු කළේ. ඒ විතරක්‌ නෙවෙයි අප්පච්චිගෙ ඡන්ද ව්‍යාපාරය පවා මෙහෙයවූවේ මම

විශ්වවිද්‍යාලය ඔබව පිළිගත්තෙ කොහොමද?

ඒ කාලේ කැම්පස්‌ එකේ ඡේ. වී. පී. දරුණුවට තිබුණා. මම කළේ ඉංග්‍රීසි මාධ්‍යය. ඒකත් සමහරුන්ට දිරෙව්වෙ නෑ.

කැම්පස්‌ එකේදි ‘ගර්ල් රෙන්ඩ්ලා” හිටියද?

මට කැම්පස්‌ එකේ කෙල්ලො හිටියෙ නෑ. මගේ ගර්ල් රෙන්ඩ්ලා කැම්පස්‌ එකෙන් පිට හිටපු අය.

සම වයසෙ පිරිමි ළමයි ආදරය කරද්දී ඔබ ආදරය ගැන හිතුවෙ?

කොයිම වෙලාවකවත් මට ඇවිදින්න බෑ කියල මම හිතුවෙ නෑ. මෙතන කෙල්ලෙක්‌ හිටියොත් ඔයා බලන විදියටම තමයි මමත් එයා දිහා බලන්නෙ. මගෙ ළඟ හිටිය යාළුවෙක්‌ ගෑනු ළමයෙකුට ට්‍රයි කළොත් මමත් බැලුවෙ එයාට කලින් කොහොම හරි ඒ ගෑනු ළමයව දා ගන්න.

ඇත්තම කියන්න ගෑනු ළමයි කී දෙනෙක්‌ හිටියද?

හතක්‌ අටක්‌ විතර

ඔබ ආදර්ශයට ගන්න චරිත තියෙනවද?

ගාන්ධිතුමාගෙ චරිතය මම ආදර්ශයට ගත්ත චරිතයක්‌. මම මිනිස්‌සුන්ට ආදරය කරනවා. මම කාට හරු ගරු කරන තරමට පෙරළා ඒ ගෞරවය මට ලැබෙනවා. අදටත් ඒක මම විඳිනවා. ඒ දේවල් ආදර්ශයට ගත්තෙ ගාන්ධි තුමාගෙන්.

ඔබ විවාහ වෙන්නෙ ආදරය කරලද?

ඔව්. දැන් මට ලොකු දියණියක්‌ ඉන්නවා.

ඇය ඔබව තේරුම් ගෙන සිටිනවද?

ඇයගෙන් ලැබෙන ආදරය ගැන ඔබ තෘප්තිමත්ද?

කවදාවත් මගෙ දියණිය මම ආබාධිත කෙනෙක්‌ කියල හිතන්නෙ නෑ. මට තිබුණ ලොකුම ප්‍රශ්නයත් ඇය ලොකු වෙනකොට එයාගෙ යහළුවො ඉස්‌සරහට මම යනකොට එයාට ලැඡ්ජාවක්‌ ඇති වෙයිද කියන එක. ඒත් එයාගෙ යහළුවන්ට මාව අඳුනලා දෙන්නෙ ආඩම්බරයෙන් බව මට දැන් දැනිල තියෙනවා. මගෙ බිරිඳත් ඒ වගේ. ඇය වැඩ කරන්නෙත් ආබාධිත සහිත පුද්ගලයන්ගෙ අයිතිවාසිකම් පිළිබඳව ඇයත් නීතිඥවරියක්‌.

ඔබටත් දේශපාලනය උරුමයෙන් හිමිවන්නක්‌ නේද?

පියාගෙන් තමයි හිමිවන්නේ. නමුත් අප්පච්චි නැතිවුණාට පස්‌සෙ සාමාන්‍යයෙන් අපේ රටේ විදිහට හිමිවන ආසනයවත් මට දේශපාලනයෙ නිරත වෙන්න ලැබෙන්නෙ නෑ. මොකද මම ආබාධිතනෙ. ඒත් අප්පච්චිගෙ සමකාලීන සුමේධා ජයසේන, ජගත් පුෂ්පකුමාර වගේ අය මට පළාත් සභා ඡන්දෙදි නොමිනේෂන් දෙන්න කියලා ජනාධිපතිතුමියගෙන් ඉල්ලීම් කළා. මම ආබාධිත නිසා එතුමිය ඒ අවස්‌ථාව දුන්නෙ බොහොම අවිශ්වාසයෙන්. හැබැයි ඒ ඡන්දයේදී දහසය දෙනෙක්‌ අතරින් මම දෙවැනියා වෙනවා. එදා එකොළොස්‌ දහසකින් පටන් ගත්ත ජනතා කැමැත්ත අද විසිපන්දහස දක්‌වා දිනෙන් දින මම වැඩිකරගෙන තියෙනවා.

පෙර ආත්මයක කර්මයක්‌ නිසා මේ ආත්මයේදී ආබාධිත වෙන්න ඇති කියල හිතිලා තියෙනවද?

ආබාධිත භාවයට හේතුව කර්මය නිසා නෙවෙයි. කියන තැන ඉඳන් තාමත් මම බෞද්ධ දර්ශනයත් එක්‌ක µයිට්‌ කරනවා. මොකද කර්මය කියන්නෙ නියාම ධර්ම පහෙන් එකක්‌ විතරයි. යමක්‌ සිද්ධ වෙන්න නියාම ධර්ම පහම එකතු වෙන්න ඕන.

ජීවිතේ කවරදාකවත් අසුභවාදී හැඟීම් ඇවිල්ලම නැද්ද?

එනවා. ඒවට මුහුණ දෙන්න තමයි මම බෞද්ධ උපදේශනය ඉගෙන ගත්තෙ. තාමත් මම කර්මය සහ ආබාධිතභාවය පිළිබඳ අධ්‍යයනය කරනවා.

මේ දවස්‌වල වැඩිපුරම වෙහෙසෙන්නෙ මොනවටද?

මොනරාගල ආබාධිත අයට සියලු පහසුකම් සහිත ලංකාවෙ පළමු දිස්‌ත්‍රික්‌කය කරන්න. ඒක කරන්න පුළුවන් උනොත් ඒක තමයි දකුණු ආසියාවේ තියෙන ඒ වගේ දෙවැනි නගරය වෙන්නෙ.

ඌව පළාතෙ පළාත් සභා ඇමැතිවරයෙක්‌ වීමට වඩා රෝද පුටුවක සිට ඉගෙන ගෙන ලංකාවෙ පළමු නීතිඥවරයා වීම ගැන ආඩම්බර ද?

ආඩම්බරකමට නෙමෙයි. වෙනසක්‌ නැතිව ආබාධිත අයටත් මේවා කරන්ඩ පුළුවන් කියල පෙන්නපු එක ගැන සතුටුයි. හැබැයි ඒක සැලසුම් කරල ආව ගමනක්‌ නෙමෙයි. දැන් තමයි හිතෙන්නෙ අධිෂ්ඨානය තියෙනවා නම් මොනවද කරන්ඩ බැරි කියලා.

අන්තිමට මම මෙහෙම ඇහුවොත්, හැමදාම උදේට නැගිටින කොට මේ ජීවිතේ ගැන හිතෙන්නෙ?

මගේ ජීවිතේ හිස්‌ නෑ. උදේට නැගිටිනකොට මට දවස පුරා කරන්න දෙයක්‌ තියෙනවා. ඒ තුළ මම තෘප්තිමත්ව ජීවත් වෙනවා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.