මල්ලි අගමැතිව සිටියදී ට්‍රාන්ස්මීටර් අහිමි කරගත් ෂාන්

tnlටී එන් එල් නාලිකාවේ සභාපති ෂාන් වික්‍රමසිංහ ගේ සොහොයුරා අගමැතිය. එහෙත් ඔහු ගේ ට්‍රාන්ස්මීටර් දැන් ජනාධිපති වරයා යටතේ පවතින විදුලි සංදේශ නියාමන සභාවේ අත් අඩංගුවේය. එහෙත් ඔහු අකම්පිතය. මේ දිවි සැරි සැරියේ මතක සටහන් කීපයකි.

මාසෙටම එක රුපියලක් පොකට් මනි දුන්නා. හැබැයි ආච්චි රුපියල් දහයක් දුන්නා. අම්මගෙන් තව කීයක් හරි ගන්න නම් වැඩ කරලා දෙන්න ඕනෙ. රේඩියෝ බඩු ගන්න ඕනෙ වුණාම මං වත්ත සුද්ද කළා, පේන්ට් කළා, අතුපතු ගෑවා… මහන්සියෙන් උපයාගන්න කියලා තමයි අම්මා කිව්වෙ. තව මදි වුණොත් රනිල් මල්ලිගෙ පොකට්මනි වලින් ණයටත් ගත්තා.

එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනි වික්‍රමසිංහ කියන රටේ පිළිගත් යුවළගේ වලව්කාර පවුලක දරුවෝ. රෝයල් සංස්කෘතියෙන් එහා ලෝකයක් දැකලා තිබුණද…

මොකද නැත්තේ. ඒ කාලෙ පළවෙනි හරස් වීදියේ මං හොඳ පුරුදු කාරයෙක්. මං රේඩියෝ බඩු කෑලි හොය හොයා ඇවිදිනවා. දවසක් පියානෝ ටීචර් පරක්කු වුණා. පන්තිය පැත්තක දාලා මායි රනිලුයි ඩ්‍රයිවර්ට කියලා බංගසාල වීදියෙන් බස්සවා ගත්තා. එදා ‘මොරිස් රෝච්’ කොම්පැනියෙන් ‘Philips Data Book’ කියන ඉලෙක්ට්‍රොනික් විද්‍යාව සම්බන්ධව වටිනා පොත නොමිලේ දුන්නා. අපි දෙන්නා ගියේ ම ඒක ගන්න. ඒ වෙනකොට මං පිටකොටුවෙ මුදලාලිලත් අඳුනනවා.

 

ඔබ වගේ ම මල්ලි ආසා කළෙත් ඉලෙක්ට්‍රොනික විද්‍යාවටද…

නැහැ. අවුරුදු දහය වෙනකොට එයාට ඇමරිකන් ඉතිහාසය ගැන පුදුම දැනුමක් තිබුණා. ක්ලේ වලින් එයා ඒ ඉතිහාසය අඹනවා. ඒබ්‍රහම් ලින්ක් වගේ චරිත හදලා ලේබල් ගහලා අපිටත් පෙන්වනවා. අපිත් ඇමරිකන් ඉතිහාසය ඉගෙන ගත්තෙ එයාගෙන්.

 

එතකොට ඔබ උසස් අධ්‍යාපනය ලැබුවේ….

එංගලන්තයේ ෆැරඩේ සහ North London Polytechnic උසස් අධ්‍යාපන ආයතනයේ. විෂය Television සහ Audio Engineering. ඒ කාලෙ මම තමයි එහෙ රූපවාහිනි මාධ්‍ය ඉගෙන ගත් එකම ශ්‍රී ලාංකික සිසුවා.

 

රටේවත් නොතිබුණු ටෙලිවිෂන් ගැන මේ විදියට ඉගෙන ගන්න හිතුවෙ ඇයි…

අපේ රටට මේ මාධ්‍ය ගේන්න ඕනෙ නිසා. ටෙලිවිෂන් ගැන පොත් වලින් කියවලා දැනගෙන තිබුණා. ඇමරිකන් එම්බසියෙන් කරපු ප්‍රදර්ශනවලදි රූපවාහිනියක් දැකලා තිබුණා. එංගලන්තෙ ඉන්නකොට ජීවත් වෙන්න සල්ලි මදි වුණාම මං කළේ කැඩුණු TV හදපු එක. මොකද ලංකාවෙන් සල්ලි යවන්න පුළුවන් උපරිම පවුම් තුනයි. ඒ කියන්නෙ රුපියල් තිහයි. TV හදලා සාප්පුවල වැඩකරලා තව ගාණක් හොයා ගත්තා. මං ලංකාවට ආවෙ ඒ තාක්ෂණය පිළිබඳ දැනුම සහ ආසාව හිතේ තද කරගෙන.

 

ඉතින් ඔබ මොකද කළේ…

1967 මං ගියා ඩඩ්ලි සේනානායක මහත්තයා මුණගැහෙන්න. ‘මං කිව්වා අපි මේක පටන් ගමු…’ කියලා. ‘අපි කල්පනා කරලා බලමුකෝ…’ කිව්වා. එතුමා මිය ගියා. යෝජනාව එතුමගෙ ලාච්චුවේ ම තිබුණා. ඊළඟට සිරිමා මැතිනියගේ සමුළුවකදි පොඩි ට්‍රාන්ස්මීටර් එකක් හදලා එහෙන් ගෙනාපු මගේ TV සෙට් එක දාලා කොළඹ වටේ විතරක් ලයිව් පෙන්නුවා. ඒකෙනුත් මුකුත් වුණේ නැහැ. ඊට පස්සෙ ටික කාලයක් ලේක් හවුස් එකේ Technician කෙනෙක් හැටියට වැඩ කළා. ඒ එක්කම තැටි නිෂ්පාදනය ආරම්භ කළා.

 

එතකොට ඇයි ඒ යෝජනාව අත්හැර දැම්මේ…

අත්හැරියම නෙවෙයි, ඒ කාලය තුළ මං ඔබ්සවර් හරහා මේ පිළිබඳ රටේ මතයක් ඇති කළා. මේ මාධ්‍ය පිළිබඳ සමාජය තුළ උනන්දුවක් ඇති කළා. හැබැයි ගුවන් විදුලියේ හිටපු බුවල් මහත්තයා එක හෙලා මේක ප්‍රතික්ෂේප කළා. අපි ගුවන් විදුලිය දියුණු කරමු කියලා එයා උතුරු නැ‍ඟෙනහිරට අනවශ්‍ය ලෙස ටවර් හැදුවා.

 

ඒත් ඔබ උත්සාහය අත්හැරියෙ නැහැනේ…

ඔබ්සවර් පත්තරේ හිටපු අර්නස්ට් කොරයා මහත්තයා හොයාගත්තා ගුවන් විදුලි පණතේ තියෙන වගන්තියක් අනුව පුද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනි චැනල් දෙන්න පුළුවන් කියලා. ඒ අනුව JR ට ඉල්ලීම ලිඛිතව දුන්නා. ටික කාලෙකට පස්සෙ එයා ඒක ගැසට් කළා. හතළිස් දෙනෙක් ඉල්ලුම් කළා. තේරුණේ මොරිස් රෝච් සමාගමයි අපියි. අවසාන අවස්ථාව වෙන‍කොට ඒ අයත් බැහැ කිව්වා.

 

ඉතින් ඔබ ඉලක්කයට ආවා…

නැහැ, ඊළඟට ඇප්ලිකේෂන් එක අරන් ගුවන් විදුලියේ බුවල් ළඟට ආයේ ගියා. ‘ඕගොල්ලන්ගෙ කරදරේ හින්දා ටෙලිවිෂන් පටන් ගන්න යනවා…’ කියලා බුවල් මගේ ඇප්ලිකේෂන් එක ඉරුවා. තව සැරයක් Audio Engineering part II කරන්න ඇමරිකාවට යැවිය යුතු සල්ලි බඳින්න, අපේ විනිමය හුවමාරුවට ගියාම එතැන හිටපු ‘පාලක’ ත්, ‘මේවා ලංකාවට ඕනෙ නැහැ’ කියලා මගේ ඇප්ලිකේෂන් එක ඉරුවා.

 

වද විඳගෙන ලංකාවට රූපවාහිනි ගෙන්වන එකෙන් මොනවද ඔබ බලාපොරොත්තු වුණේ…

ඇ‍ඟේ උණ තමයි. කොහොම හරි අන්තිමේ 30 දා කිව්වා පළමුවැනිදාට කලින් රුපියල් ලක්ෂ්‍යක් ලයිසන් ගාස්තුව ගෙවන්න කියලා. අම්මා මට පණස් දාහක් දුන්නා. මගේ මාමගේ පුතා අනිල් විජේවර්ධන ඉතිරිය දුන්නා. ITN නම දැම්මේ අනිල්. අනිල්ගෙ පන්නිපිටියෙ ගෙදර ගරාජ් එකෙන් තමයි ITN විකාශය අපි පටන් ගත්තෙ.

 

එතකොට කොහොමද ඔබට ITN අහිමි වුණේ….

සති අටක් කරගෙන ගියා. දවසක් JRගේ ගෙදර පාටියක් තිබුණා, පිටරට ඇමතිලා වගයක් ඇවිත් හිටපු. ඒක විකාශය කරන්න කිව්වා. එදා මහරගම ලයිට් නැහැ. ලයිට් එනකොට වෑල්ව් එක පිච්චුණා. කොහොමද විකාශය කරන්නේ පහුවෙනිදා එළිවෙන්නත් කලින් JR ගේ ආණ්ඩුව මගේ ITN එක බලෙන් ම වගේ පවරා ගත්තා. චෝදනාව තමයි හිතා මතා වෑල්ව් කඩලා, මේක විකාශය නොකළාය කියන එක.

 

ඉතින්, දීලා පැත්තකට වෙන්න නම් ඇයි ඔය තරම් මැරීගෙන රූපවාහිනි කලාවක් හැදුවේ…

ඒ යුගයේ ව්‍යාපාර පවරා ගැනීමේ පනත හදලා තිබුණෙ නඩුවක්වත් යන්න බැරි විදියට. ශිල්පයක් ඉගෙන ගෙන තමන්ගෙ රටට ඒක හඳුන්වලා දීලා අමාරුවෙන් ආණ්ඩුවට ලොකු ගාණකුත් ගෙවලා, රට අනාගතයට ගෙනියන්න වෑයම් කරපු මනුෂ්‍යයකුට අවසානයේ ලැබුණෙ අහිමි වීම පමණයි. හොඳම දේ මං පුහුණු කරපු ශිල්පියො හා මගේ ම දැනුම අරන් තමයි ඔවුන් මුල් කාලෙ ITN එක ඇදගෙන ගියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.