මල්වතු හිමියන්ට ප්‍රණාම

thibbatuwawe-sumangala-theroබලය බෙදීම යනු රට බෙදීමක් යැයි සමහරුන් වැරදියට වටහාගෙන සිටින බවටත් රටට අවශ්‍ය රට නොබෙදා බලය බෙදන ව්‍යවස්ථාවක් බවටත් මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විසින් කරන ලද ප්‍රකාශය මෑත යුගයේ ලාංකේය ආගමික නායකයකු විසින් කරන ලද විශිෂ්ටතම ප්‍රකාශය බව අප විසින් සඳහන් කළ යුතුය. මල්වතු මහ නා හිමියන් මෙම ප්‍රකාශය සිදු කළේ පසුගිය 03 වනදා උන්වහන්සේ හමුවට පැමිණි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් අමතමිනි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් සිදුවිය හැකි හානි පෙන්වා දීමට එහිමියන් හමුවීමට පැමිණි දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ද එහිමියන් විසින් ප්‍රකාශ කර තිබුණේ එවන් හානියක් නොමැති බවට රජයෙන් දී ඇති පොරොන්දු පිළිගත හැකි බවත් 9 වන වගන්තිය සංශෝධනයට එරෙහි නොවී ඊට ගැලපෙන විකල්ප ඇත්නම් ඉදිරිපත් කරන ලෙසය. එසේම මෙම ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන කමිටුවල දිනේශ් ගුණවර්ධනලා ද සිටි බවත් මහ නායක හිමියන් විසින් සිහිපත් කරන ලදී.

මහ නායක හිමිත් බෞද්ධ විරෝධීද ?

රාජපක්ෂ පාලනය ජනතාව විසින් බිඳහෙළීමෙන් අනතුරුව දිනේශ් ගුණවර්ධන ඇතුළු නඩය දැන් දිවිපුදා හෝ ජාතියේ සහ ආගමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනා බවට වන නාඩගම අරඹා, නැති යකුන් මවා පෙන්වමින් දේශපාලන එදා වේල ගැටගසා ගැනීමට දඟලන මොහොතක මහ නායක හිමියන්ගෙන් ලැබුණු මේ පිළිතුර රටට ඉතාම වැදගත්ය. දිනේශ්ලා, වීරවංශලා, ගම්මන්පිලලා එදා පටන් ම කළේ තමන්ගේ පටු දේශපාලන අරමුණු වලට එරෙහිවන සියල්ලන්ට දේශද්‍රෝහී, බෞද්ධ විරෝධී, කොටි හිතවාදී, අධිරාජ්‍යගැති ලේබල් ඇලවීමය. දැන් දිනේශ්ලාට මල්වතු මහ නා හිමියන්ටත් බෞද්ධ විරෝධී ලේබලය ඇළවීමට ගොස් කෙළවා ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

බෙදී වෙන්වීමේ රැල්ල

ලෝකය පුරා රටවල් බෙදී වෙන්වන දිශාවට වන රැල්ලක් මේ මොහොතේ ජාත්‍යන්තර දේශපාලනය තුළ දැකිය හැක. ඉරාක කුර්දිස්ථානය වෙනම රටක් ලෙස වෙන්වීම සඳහා පසුගිය සැප්තැම්බර් 25 වනදා පැවති ජනමත විචාරණයේදී සියයට 92ක් ඡන්ද වෙන්වීම වෙනුවෙන් ප්‍රකාශ වී තිබිණි. එසේම ඔක්තෝබර් 02 වනදා ස්පාඤ්ඤයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට කැටලෝනියාවේ පැවති ජනමත විචාරණය ජයග්‍රහණය කළේ සියයට 90ක ප්‍රතිශතයකිනි. එසේම මෑත යුගයේ බෙදී වෙන්ව යෑමට පක්ෂ වූ ජාත්‍යන්තර උදාහරණ ලෙස නැගෙනහිර ටිමෝරය, දකුණු සුඩානය සහ කොසෝවෝ ද අපට දැක්විය හැක. මේ සියල්ල අබියස ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ද දිය යට ගිල් වූ රබර් බෝලයක් මෙන් පවතී. ගැටළුව නම් කොතෙක් කලක් මෙය මෙසේ යටපත් කරගෙන සිටිය හැකි ද යන්නය.

යම් ජන කොටසක් බෙදී වෙන්වීමේ අයිතිය දිගින් දිගට ම ඉල්ලා සිටින්නේ තවත් ජන කොටසක් විසින් ඔවුන්ව පීඩාවට පත් කරමින් යටපත් කරගෙන සිටින මොහොතකය. විශේෂයෙන් රටක සුළු ජාතීන් මහ ජාතියේ පීඩනයට ලක්වන විට මෙසේ බෙදී වෙන්වීමේ ප්‍රවණතාවය එළි දැක්වේ. කෙසේ නමුත් බෙදී වෙන්වීම තුළින් ඔවුන් ප්‍රාර්ථනා කරන සුඛිත මුදිත වූ රාජ්‍යය ඔවුන්ට හිමිවන බවක් ද මෑත කාලීන උදාහරණ මඟින් පෙන්නුම් කෙරෙන්නේ නැත. බොහෝ විට බෙදී වෙන්වීමේ අවසන ද නැවතත් ඉතිරි වන්නේ ගැටුම් සහ තව තවත් ගැටුම් පමණි.

එමෙන් ම දියුණු වන මිනිස් සමාජය ද ගෝලීයකරණ සංකල්පය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ රටවල් වඩ වඩාත් එකමුතු විය යුතු බවය. මන්දයත් දැනටමත් ලෝකය මුහුණ පා ඇති දේශගුණික විපර්යාස, ගෝලීය උෂ්නත්වය ඉහළයාම, බලශක්ති අර්බුදය වැනි ගැටළුවලට හුදෙකලා වී විසඳුම් සෙවිය නොහැකි බැවිනි.

සැබෑ බෙදුම්වාදියෝ කවුද ?

එක් ජාතිවාදයක් හැම විටම රඳාපවතින්නේ ඊට ප්‍රතිවිරුද්ධ ජාතිවාදය මතය. ශ්‍රී ලංකාවේදී දෙමළ ජනතාවගේ අයිතීන් පිළිබඳව අමු අමුවේ නොසලකා හරිමින් දෙමළ ජනතාව යම් හෝ අයිතිවාසිකමක් ලැබෙනා අවස්ථාවක් වෙතොත් එය දේශද්‍රෝහී වීමක් ලෙස හුවා දක්වමින් සිංහල මහ ජාතිවාදයම වපුරන නඩය සේවය කරන්නේ දෙමළ ජාතිවාදයට ය. දෙමළ ජාතිවාදීන්ට පළු පැළෙන්නට බනිමින් වේදිකා ගාණේ ඩෙඟා නැටුවද දෙමළ ජාතිවාදයට අවශ්‍ය සටන් පාඨ සපයා දෙන්නේ ඔවුන්මය. තමන්ගේ අයිතිවාසිකම් සිංහල සමාජයෙන් නම් කිසිදිනෙක දිනාගත නොහැකි බවට දෙමළ සමාජයට ඒත්තු ගැන්වීමට දෙමළ ජාතිවාදීන්ට අවස්ථාව සපයා දෙන්නේ ඔවුන්ය. එහෙයින් දෙමළාට බෙදුම්වාදී චෝදනා නැඟුව ද නියම බෙදුම්වාදීන් වන්නේ ඔවුන්ය. දිනේශ් ගුණවර්ධනලා, උදය ගම්මන්පිලලා, විමල් වීරවංශලා බෙදුම්වාදීන් වන්නේ ඒ ආකාරයෙනි. ඔවුන් මේ මොහොතේ කරමින් සිටින්නේ ‘ඒකීය’ වචනය කරපින්නාගෙන බෙදුම්වාදී නැටුම නැටීමය.

අසූ වියැති පරිණත දේශපාලනඥයකු වන විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ද පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ ජාතික ගැටළුව විසදීමට නම් අප විසින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් ඇති කර ගත යුතු බවය. දශක පහකට අධික ඔහුගේ දේශපාලන අත්දැකීම් ඔස්සේ ඔහු කරන එම ප්‍රකාශය රටෙහි සමස්ත දේශපාලන චලනයක් කෙරෙණ අක්ෂය බවට පත් කරගත යුතුව තිබේ.

එහෙයින් එකම රටක් ලෙස ඉදිරියටත් පැවතීමට නම් මේ මොහොතේ දිනේශ්ලා වැනි අවස්ථාවාදී දේශපාලන නරුමයින්ට පිළිතුරු දීම අනිවාර්යය කරුණක් වේ. මල්වතු මහ නා හිමියන්ගේ පිළිතුර විශිෂ්ට එකක් වන්නේ එබැවිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.