රවී කරුණානායක ජනතාවගේ බුද්ධියට කෙල ගසයි – වියන්ගොඩ

Ravi Karunanayakeමාස අටක කාලයක් තිස්සේ තමන්ගේ ගෙවල් කුලිය අර්ජුන ඇලෝසියස් විසින් ගෙවූ බවක් තමන් දැන නොසිටියේ යැයි රවී කරුණානායක කියන විට ඔහු කරන්නේ රටේ ජනතාවගේ බුද්ධියට කෙල ගැසීමකි. අපේ ජනතාව පහසුවෙන් රැවටෙන ජන සමූහයක් බව ඇත්ත ය. එහෙත්, ඔවුන් තණකොල කන, පුන්නක්කු බොන සත්ව වර්ගයක් වශයෙන් ගැනීම සමාව දිය නොහැකි වරදකි. ඊටත් වඩා, තමාගේ බිරිඳ සහ දියණියන්, තමාගේ දේශපාලනයට ඈඳුණු (මහ බැංකු බැඳුම්කර වංචාවට ඈඳුණු) පුද්ගලයන් සමග ඇති කරගත් දීර්ඝ කාලීන ගනුදෙනුවක් ගැන තමන් නොදන්නේ යැයි කීම තුළ රවි කරුණානායක ස්වාමි පුරුෂයෙකු සහ පියෙකු වීමටත් නුසුදුස්සෙකු බව කියාපායි

ටයි-කෝට් සම්ප්‍රදාය

රවි කරුණානායක ප්‍රිය කරන ටයි-කෝට් සම්ප්‍රදාය තුළ ආරක්ෂා කරගත යුතු අවම සදාචාරයක් තිබේ. ෆ්‍රෑන්ක් 20,000 ක මුදලක් පොළී රහිතව ණයට දුන් මිතුරෙකුට, ඉන් වසර විස්සකට පසු, රජයේ කොන්ත්‍රාත්තුවක් පැවරුවේය යන අභූත චෝදනාවක් කැලෑ පත්තරයකින් එල්ල වුණු විට ප්‍රංශයේ හිටපු අගමැතිවරයෙකු කෙළේ ඊට පසුව දාම හිසට වෙඩි තබාගෙන ජීවිතය නැති කර ගැනීමයි. මරණයෙන් පසුව ඒ ගැන පත්කරන ලද පරීක්ෂණ කොමිසමේ වාර්තාවට අනුව, මේ කියන අගමැතිවරයා මොන විදිහකින්වත් අර කියන මිතුරාට කොන්ත්‍රාත්තුව පැවරීම අරභයා කිසි ලෙසකින් මැදිහත්ව තිබුණේ නැත. එහෙත්, තමාගේ ආත්ම ගෞරවයට එල්ල වූ ඒ මාරක ප්‍රහාරය විඳ ගැනීමට බැරි තරමට මේ කියන අගමැතිවරයා සංවේදී විය. රවි කරුණානායක ඇතුළු අපේ දේශපාලඥයන්ගෙන් පිහාටු අපේක්ෂා කිරීමට තරම් අපි අඥානයෝ නොවෙමු.

පාකිස්තානය අපිට වඩා පෙරට

එහෙත්, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට, 2015 ජනවාරියේ මේ රටේ ජනතාව අපේක්ෂා කළ යහපාලනය රැක ගැනීමේ වගකීමක් ඇති බව නොසළකා සිටීමට පුලුවන් කමක් අපට නැත. පහත සඳහන් කතාව කියන්නේ ඔවුන්ගේ දැන ගැනීම සඳහා ය.

අපට වඩා හත් ගව්වක් ඉදිරියෙන් සිටින ප්‍රංශය පැත්තකින් තියන්න. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් අපට වඩා හත් ගව්වක් පස්සෙන් සිටින අපේ කලාපයේ පකිස්තානය ගන්න. එරට අගමැති නවාස් ෂෙරීෆ්ට පසුගිය සතියේ තනතුර අතහැර ගෙදර යන්ට සිදු විය. පාකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ තරම් පුෂ්ටිමත් නැත. එරට නිදහසෙන් පසු වැඩිම කාලයක් ගත කොට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් යටතේ නොව, ඒකාධිපති හමුදා පාලකයන් යටතේ ය. ලංකාව කිසි දවසක ඒකාධිපති හමුදා පාලන ක්‍රමයක් යටතේ පාලනය වී නැතුවා පමණක් නොව, නිදහස ලැබීමටත් පෙර සිටම ප්‍රජාතන්ත්‍රවාදයේ දැඩි පෙර පුහුණුවක් ලබා සිටි රටකි. ඉතිං එවැනි රටක නීතිය සහ අධිකරණය වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගල් පකිස්ථානයට වඩා ශක්තිමත් විය යුතුව තිබේ.

පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ්, ඩුබායි රටේ යම් සමාගමකින් ලද ආදායමක් පසුගිය මැතිවරණයට ඉදිරිපත් වීමේදී තම වත්කම් ගිණුම් තුළ ඇතුළත් නොකිරීමේ වරදට අධිකරණය මගින් ඔහුව පසුගිය දා වරදකරු කරනු ලැබිණි. ඔහු ‘වංචනික‘ බව කියා සිටි අධිකරණය රටේ අගමැති ධුරය හෙබවීමට ඔහු නුසුදුසු බව කියා සිටියේය. ඒ අනුව ඊට පසුව දාම ඔහු තම තනතුරින් ඉල්ලා අස් විය. මේ සමස්ත සිද්ධිය පාකිස්තානයේ නීතිය ඉදිරියට පමුණුවා විභාග කොට අවසාන විනිශ්චයක් දීමට ගතවුණේ අවුරුද්දක් තරම් කෙටි කාලයකි. එහෙත් ලංකාවේ ඇති වී යැයි කියන මහ පරිමාණ දූෂණ සිදුවීම් කිසිවක් අද වන තෙක් කිසිවෙකු වරදකරු කරමින් නිමාවකට පත්ව නැත. බැසිල් රාජපක්ෂ වැනි අය කරන ලද සොරකම් සම්බන්ධයෙන් ඇසෙමින් පවතින නඩු කල් යන්නේ මාස 6-9 වැනි දීර්ඝ කාලවලිනි. තමන්ගේ වත්කම් හෙළි නොකිරීම මත පකිස්ථානයේ දේශපාලඥයෙකුට අගමැති ධුරය අහිමි වෙද්දී, ලංකාවේ වත්කම් හෙළි නොකිරීමේ වරදට අපේ දේශපාලඥයෙකුට දෙන ලද දඬුවම වුණේ රුපියල් දෙදහසක දඩයකට යටත් කිරීම පමණි. එය ද, අවුරුදු දෙකක වත්කම්-බැරකම් ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙනි. එනම්, එක වසරකට රුපියල් දහසක දඩයකි.

දූෂණය යන ප්‍රපංචය රාජපක්ෂ උරුමයක් මිස, සිරිසේන හෝ වික්‍රමසිංහ උරුමයක් නොවන බව ඔප්පු කළ යුත්තේ වෙන කවුරුවත් නොව, එම දෙන්නාම ය. ඔවුන් එම වගකීම ඉටු නොකරන තාක් කල්, මෙය රාජපක්ෂලාට පමණක් සීමා වන ප්‍රශ්නයක් නොවන බවත්, යහපාලනය ඇතුලූ රටේ සමස්ත දේශපාලන දේහයම දූෂණයේ තිඹිරි ගෙයක් බවත් ජනතාව තේරුම් ගනු ඇත.

එය ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ අනාගතයට සේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ශිෂ්ටත්වයේ අනාගතයටත් හානිකර වන්නේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.