සිගිරි ලලනාවෝ අනතුරේ

sigiriyaදිලීර හේතුවන් සිගිරි සිතුවම් විනාශ වී යා හැකි බව පුවතක් පල පල වීමෙන් අනතුරව මේ පිළිබඳව ලියැවුණු  පර්යේෂණ සටහනක් මතක් විය. මේ එම උපුට ගැනීමයි.

පත් ඉරුවෙන් අද දිගහැරෙන්නේ කුරුටු ගීත ලියවුණු කැටපත් පවුර හා සම්බන්ධ වූ කතාවක්‌. පසුගිය කාලයේ මේ හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක පර්යේෂණවල නියෑළෙන්න මටත් අවස්‌ථාවක්‌ ලැබුණා. 2013 අවුරුද්දේ දී සංරක්‌ෂකයකු විසින් මේ කැටපත් පවුර විනාශ වෙමින් යන බවට දැනුම් දීමක්‌ කරනු ලැබුවා. ඒ අනුව පර්යේෂණ විද්‍යාඥයන් පමණක්‌ නො වෙයි, පැරැණි චිත්‍ර සම්බන්ධ විශේෂඥයන් පවා මේ තත්ත්වය හනි හනික නිරීක්‌ෂණය කළා. පැහැදිලි වූ දේ තමයි, කුරුටු ගී ලියවුණු බදාම ස්‌තරය කුඩාවට කවාකාර ලෙස ගැලවී යන බව. ඉතා සුළුවට පටන්ගන්නා ගැලවීම ක්‍රමයෙන් පැතිරෙන බවත් පෙනී ගියා. සමහර අය මුලින් දිලීර ආසාදනයක්‌ කියලා හිතුවත් එය එසේ නො වන බව පසුව මොනවට පැහැදිලි වුණා. අනෙක්‌ කරුණ තමයි මේ සුදු පැහැගත් පුල්ලි තිබුණේ වර්ෂා කාලයේ දී නිරන්තරයෙන් ම තෙමෙන ස්‌ථානවල. සමහර තැන්වල පක්‌ෂීන් ගේ අපද්‍රව්‍ය තිබුණත් මේ සුදු පුල්ලි ඒවායේ ප්‍රතිඵලයක්‌ නො වන බව ද පැහැදිලි වුණා. මේ ප්‍රතිඵල 2005 වර්ෂයේ දී මා සිදු කරපු ගවේෂණයකින් නිරීක්‌ෂණය කළ දේ ම බව මට වැටහුණා. නමුත් එදා මා තත්ත්වය නිරීක්‌ෂණය කර අදාළ බලධාරීන්ට දැනුම් දුන්නත් කාලයත් සමග එය අකාමකා දැමෙන්නට ඇති බවයි මට හැඟී ගියේ. එනිසා මේ ගැටලුව කරළියට එන්න අවුරුදු අටක්‌ ම ගත වුණා.

සුදු පුල්ලිවලින් ලබාගත් නියෑදි කිහිපයක්‌ රසායනික විශ්ලේෂණවලට බඳුන් කරපුවා ම තමයි තේරුණේ මේ තත්ත්වය පනහේ දශකයේ දී පමණ සිදු කරපු සංරක්‌ෂණවල අතුරු ප්‍රතිඵලයක්‌ බව. ඒ දවස්‌ වල අධිකව සැම කටයුක්‌තකට ම සිමෙන්ති භාවිත කරලා තියෙනවා. එනිසා කැටපත් පවුරේ මුදුනත සංරක්‌ෂණයටත් සිමෙන්ති භාවිත කරලා. සිමෙන්තිවල ජිප්සම් කියන සංයෝගය අඩංගු කරලා තියෙනවා, සිමෙන්ති ගල් වෙන එක පමා කරන්න. ජිප්සම් කියලා කියන්නේ ජලය සහිත කැල්සියම් සල්ෆේට්‌ කියන රසායනය. මේවට ලවණ කියල බොහොම සරලව කියන්න පුළුවන්. විශේෂත්වය තමයි ජලයේ බොහොම අඩුවෙන් දිය වීම. ඒක නිසා බොහොම හෙමිහිට දිය වුණ මේ රසායනය (ලවණ) මුදුනතේ ඉඳලා හෙමිහිට හෙමිහිට පවුරේ බදාම අභ්‍යන්තරය ඔස්‌සේ පහළට පෙරිලා තියෙනවා. කාලයත් එක්‌ක කුරුටු ගී ලියවුණ බදාමයට යටින් තැන් තැන්වල මේවා ක්‍රමයෙන් තැන්පත් වෙලා තියෙනවා. ඒකට හේතු වන්නේ ඒ ප්‍රදේශයේ තියෙන වියළි කාලගුණය. වියළි කාලයේ දී ජිප්සම් සමග වූ ජලය වාෂ්ප වුණා ම ලවණ ඒ තැන්වල ම ගුලි ගැහෙනවා. ලවණ ප්‍රමාණය වැඩි වෙනකොට ඉදිරියට තෙරපිලා බදාම ස්‌තරය පිපිරීමකට ලක්‌ කරනවා. එතකොට කුරුටු ගී සහිත බදාම ස්‌තරය පුපුරලා බිඳිලා යනවා. මේ ක්‍රියාදාමය දිගින් දිගට ම සිදු වෙනවා. ඒක නිසා ඉදිරි අනාගතයේ දී කැටපත් පවුරේ කුරුටු ගී අපට අහිමි වෙන්න විශාල ප්‍රවණතාවක්‌ තියෙනවා.

මේ ලෝක උරුමය ආරක්‌ෂා කරගැනීමට ඉතා ඉක්‌මන් ජාතික වැඩ පිළිවෙළක්‌ අවශ්‍ය වෙනවා. ප්‍රධාන ම දේ තමයි පර්යේෂණ සදහා ප්‍රමුඛතාව ලබා දීම. එමගින් විද්‍යාත්මක පසුබිමක්‌ තුළ සත්‍ය තත්ත්වය අවබෝධ කරගන්නට හැකි වේ වි. එනිසා මේ සඳහා විද්‍යාඥයන් ගේ සහයෝගය ලබාගැනීම ඉතා වැදගත්. පැහැදිලිව ම නිරීක්‌ෂණය කළ දෙයක්‌ තමයි ලංකාවේ සංරක්‌ෂකයන්ට විද්‍යාත්මක පර්යේෂණ කිරීමේ දැනුම සහ හැකියාව නොමැති වීම. එම තත්ත්වය තුළ මෙවැනි ගැටලු සදහා විසදුම් සෙවීමට එවැන්නන් යෙදවීමෙන් තත්ත්වය බරපතළ වීමට තියෙන හැකියාව ඉතා වැඩියි. පිටරටවල මේ පිළිබඳ විෂය ක්‌ෂේත්‍ර සකස්‌ වුවත් ලංකාවේ විශ්ව විද්‍යාලවල අදාළ පර්යේෂණ සහ ඉගැන්වීම් සිදු වන්නේ නැහැ. එම නිසා මේ සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේද සහ පර්යේෂණ සදහා සුදුසු පරිසරයක්‌ සකස්‌ වීම ඉතා වැදගත්. නමුත් මේ ක්‌ෂේත්‍රය තුළ විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධව සමහරුන් ගේ තියන්නේ බොහොම ඇල්මැරුණු උනන්දුවක්‌. අනෙක්‌ ගැටලුව තමයි වැඩ කටයුතු සම්පාදනයේ දී රාජකාරි/පරිපාලන බාධා පැමිණීම. එනිසා ඉක්‌මනින් කළ යුතු දේ කිරීමට මාස ගණනාවක්‌ ගත වෙනවා. සමහර විට අවුරුදු ගණනාවක්‌. මෙවැනි ගැටලුවලට ප්‍රමුඛතාව නො ලැබීමත් එක හේතුවක්‌. තවත් සමහර වෙලාවට පෞද්ගලික ඕනෑ එපාකම් මතු වෙලා වැඩ කරන්නන්ට හරස්‌ වීම. එනිසා එවැනි තත්ත්වයක්‌ තුළ මේ ගැටලුවට මේ වෙන තෙක්‌ නිසි පිළිතුරක්‌ ලැබිල නැහැ. මේ කොහොම වුණත් මේ පිළිබඳව නො සලකා හැරීම නිසා සිදු වන්නට යන්නේ ජාතික ව පමණක්‌ නො වෙයි අන්තර්ජාතිකව වැදගත් ලෝක උරුමයක්‌ විනාශ වෙන එකයි.

පත්මකුමාර ජයසිංහ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.