සෝමපාලයන් නික්ම ගොසිනි

somapalaයළිත් ඒ සුදු පුළුන් රැවුල අප නෙතට කුතුහලය නොගෙනු ඇත. ඇඟිලි තුඩු මියැසි රටා මවන්නේ නැත. ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ සොහොයුරා වන සෝමපාල රත්නායක මහතා නික්ම ගොසිනි. හදිසියේ රෝගීවීම හේතුවෙන් ඊයේ(17) කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි ඔහු අද(18) අලුයම දිවි සටන ඇත හැරියේය. හන්තානේ කතාව ඔස්සේ  චිත්‍රපට සංගීතයට යොමුවන ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ටයිටස් තොටවත්තයන්ගේ ‘හඳයා‘ සිනමා පටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේය. ගිවන්ත අර්ථසාද් ගේ ‘දුටුගැමුණු‘ කාටුන් චිත්‍රපටය, උතුමාණනී, සාගරයක් මැද, කොටි වළිගය, නොමියෙන මිනිස්සු, අන්තිම රැය ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් වර්ණවත් කළේය.

චිත්‍රපට 80කට පමණ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ සෝමපාල රත්නායකයන් මිය යනවිට 69 වැනි වියේ පසුවිය. ඔහුගේ දේහය වත්තල, උස්වැටකෙයියාව පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

මේ අතීතයෙන් ගඟ ගල බැස්ස මොහතකි.

සංගීතය ඔබේ ජීවිතය වූයේ කෙසේද?

වික්ටර් අයියා මට වඩා අවුරුදු පහක් වැඩිමල්. මට මතකයි මං බහතෝරන අවදියේදිම වික්ටර් අයියා හාමොනියම් එක වාදනය කරමින් ගීත ගායනා කරනවා. ලොකු අයියා තබ්ලාව වාදනය කරනවා. අපේ තාත්තා වැඩට ගිහින් ඇවිල්ලා හවසට හැමදාම සිංදු සාජ්ජය පටන් ගන්නවා. මං පුංචි කාලේ හිතුවේ මේ වගේ සිංදු කියන එක හැම ගෙදරකම තියෙන එකක් කියලා. පස්සේ තමයි මං දැනගත්තේ සිංදු කියන එක අපේ ගෙදර පමණක් සුවිශේෂී දෙයක් කියලා.අයියා පොඩි කාලේ ඉදලම එම්.ජී.පී. කලා යතනයට ගියා සංගීතය පුරුදුපුහුණු වීමට. ඒ කලායතනය ආනන්ද පෙරේරාගේ තාත්තගේ. මං පාසැලෙන් සංගීතය ඉගෙන ගත්තා. මගේ පාසැලේ සංගීත ගුරුවරයා කේ.එම්. සුගතපාල ගුරුතුමා. ජීවිතයේ මං පළමුවෙන්ම දැක්ක දේ, ඒ වගේම මට පළමුවෙන්ම ළංවුණ දේ මං ජීවිතය කරගත්තා.

ඔබේ පැසැල් කාලය ගෙවුනේ කොහොමද?

මං මුල සිටම ගියේ කඩුගන්නාවේ මහා විද්‍යාලයටයි. ඒක මධ්‍යම පළාතෙන්ම සංගීත විෂයට නමක් රැන්දූ විදුහලක්. අපේ කාලයේ මගේ අයියා වික්ටර් රත්නායක, ටියුරින් ජයරත්න, වගේ අය ඒ පාසැලේ ඉගෙනගත්තා. අපි කාගේත් ගුරුතුමා රටම හඳුනන කේ.එම්. සුගතපාල මහත්මයා. එතුමා ඒ දවස්වල දක්ෂ ළමයිි එකතු කරගෙන වාද්‍ය වෘන්දයක් නිර්මාණය කළා. පාසැල් වේලාව තුළත් පාසැල අවසන් වීමෙන් පසුවත් එතුමාගේ ගෙදරට ගොස් සංගීතය පුරුදු පුහුණුවීම එවකට අපගේ සිරිතක් වී තිබුණා. සංගීත විෂයට මගේ වැඩිම නැඹුරුවක් තිබුණු නිසා අනිත් විෂයන් කෙරෙහි දක්වන සැලකිල්ල ක‍්‍රමයෙන් අඩුවුණා. පාසැලේ ඉන්නකොට තබ්ලා, සර්පිනා, වයලීන් කර තියාගෙන කඩුගන්නාවේ කන්ද නැගලා තියෙන වාර අනන්තයි. අපේ විදුහලේ සංගීත කණ්ඩායම තමයි ඒ කාලේ ඒ අවට හැම විදුහලකම උත්සවවල සංගීතය සපයන්නේ .

ගමේ හා පවුලේ වගතුග කොහොමද?

මගේ උපන්ගම මහනුවර කඩුගන්නාවේ. මගේ තාත්තා ඞී. ජේමිස් රත්නායක. අම්මා අබේකෝන් මායාදුන්නේ සුමනාවතී. අපේ තාත්තා කඩුගන්නාවේ රජයේ රෝහලේ ඩිස්පැන්සරියේ සේවය කළ කෙනෙක්. ඒ වුණාට තාත්තා සහ අම්මා සංගීතයට ගොඩක් ළැදි අය. අම්මා සහ තාත්තාගේ ගම ගම්පහ. තාත්තාගේ රජයේ සේවය නිසා තමයි අප ඉපදෙනකොට කඩු ගන්නාවේ සිටියේ. අපේ තාත්තා මෙතරම් සංගීතයට ළැදි කෙනෙක් වෙලා තියෙන්නේ ටවර්හෝල් නාට්‍ය නැරඹීමෙන්. තාත්තා ගෙදර ඉන්නකොට අපේ අම්මාට නිතර කියන ටවර්හෝල් කාලේ නාට්‍ය ගීතයක් තියෙනවා. ‘ඉඳාමේ මුද්ද සුන්දරීයේ දමාගන් දකුණු සුළැඟිල්ලේ’. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ 11 දෙනෙක්.මං පවුලේ 4 වෙනියා. වික්ටර් අයියා පවුලේ පවුලේ 3 වෙනියා. අපේ ලොකු අයියා විල්ප‍්‍රඞ් රත්නායක මේ ළඟකදි ජීවිතයෙන් සමුගත්තා. අපේ තාත්තාගෙන් හදිසියට බෙහෙත් ගන්න ගමේ අය පැමිණෙනවා. තාත්තාට ගමේ අය කිව්වේ වෙදමහත්මයා කියලා. ගමේ මිනිස්සුන්ගෙන් විශාල ගෞරවයක් තිබුණා.11 දෙනෙකුගේ යාළුවෝ ගෙදර එනකොට ලොකු පිරිසක්. ඒ හැමදෙනාටම අපේ අම්මා පුළුවන් ආකාරයට සංග‍්‍රහ කරනවා. අද නම් යාළුවෝ 20කට විතර සංග‍්‍රහ කරනවා කියන්නේ ඛේදවාචක යක්නේ. ඒ කාලේ අපේ ගෙවල්වල ආර්ථික පසුබිම අදට වඩා හොඳයි කියලයි මං හිතන්නේ.

ඔබේ පළමු රැකියාව මොකක්ද?

1960 ගණන්වල මං ගොවි හමුදාවට බැදුනා. ඒ ඩඞ්ලි සේනානායක මහතා අගමැති ලෙස වැඩකරන කාලේ. ගොවි හමුදාවේ මං හිටියේ මාසයක් වගේ කෙටි කාලයක්. ඊට පස්සේ මං ගියා වයිල්ඞ්ලයිෆ් දෙපාර්ත මේන්තුවට. මහා කැලේ මැද්දේ ඉන්න එක මට හරි ගියේ නැහැ. දෙවෙනි රැුකියාවෙනුත් මාසයක වගේ කාලයකින් මං ඉවත් වුණා. මගේ දෛවය ලියලා තිබුණේ සංගීතය වෙත නැඹුරු වෙන්නයි.

රජයේ ලලිතකලා ආයතනයට සම්බන්ධ වුණේ කොහොමද?

ඒ 1968 දී. වික්ටර් අයියා සංගීත විද්‍යාලයට ගියේ 1964 විතර. කොහොමහරි මං සංගීත විද්‍යාලයට එනකොට වික්ටර් අයියා බණ්ඩාරවෙල විදුහලේ සංගීත ගුරුවරයා ලෙස සේවයට ගිහින්. ලලිත කලාඑකේ ඉන්න කාලෙ ආර්.ඒ. චන්ද්‍රසේන මහතාව මට වික්ටර් අයියා හදුන්වා දුන්නා. ඒ හදුනාගැනීමත් සමඟ චන්ද්‍රසේන සූරීන්ගෙන් සංගීතය පිළිබඳ බොහෝ දේ ඉගෙනීමට මට අවකාශය සැලසුනා. බටහිර සංගීතයේ නොටේෂන් ලියන හැටි පවා ඉගෙනගත්තේ එතුමාගෙන්. චන්ද්‍රසේන මහතා ඒ කාලේ අපේ රටේ හැඳින්වූවේ සිලොන් නවුෂාඞ් කියලා. රජයේ ලලිතකලා ආයතනයේ ඉගෙනගත්ත කාලේ මං නැවතිලා සිටියේ ජයන්ත වීරසේකර මාවතේ ජයන්ත වීරසේකර මහතාගේ ගෙදර. කේමදාස මාස්ටර්ගේ සංගීත මංජරියටත් යාමට ඒමට පුරුදු වුණා. කේමදාස මාස්ටර්ට ඒ දවස්වල හරියට වැඩ. සමහරදාට මාස්ටර් පංතිය මට භාරදීල යනවා. ලලිතකලා ආයතනයේ ඉන්න කාලේ මං ගායනා කරන්න හැදුවා. හැබැයි මට ගායනා කරන්න බැරිබව මං තේරුම් ගත්තා. වසර තුනකින් පසු රජයේ ලලිතකලා අවසාන විභාගයට සහභාගී වීමේදී මගේ පැමිණීමේ දුර්වලතාවයක් නිසා විභාගය කරන්න ඉඩ දුන්නේ නැහැ. මං ලලිතකලා ආයතනයට පැමිණීම අඩපන වුණේ විවිධ සංගීත වැඩසටහන්වලට යන්න පුරුදුවූ නිසයි. ඒ කාලේ ලලිතකලා ආයතනයේ විදුහල්පතිවරයා වුණේ ලයනල් එදිරිසිංහ මහතායි. එතුමා මගෙන් ඇහැව්වා ‘බජව්’ ගහන්න ගියා නේද කියලා. එතුමා කැමති නැහැ ශාස්ත‍්‍රීය සංගීතයෙන් පිට වැඩ අප කරනවාට. ලබන අවුරුද්දේවත් විභාගය කරන්න හරියට පැමිණීම තියාගන්න කියලා මට අවවාද කළා. අවාසනාවට ලබන අවුරුද්දෙත් පැමිණීමේ අඩුපාඩුව නිසා ලලිතකලා අවසාන විභාගය කරන්න හැකියාවක් ඇතිවුණේ නැහැ.

ඒ ජීවන චක‍්‍රය වෙනස් වෙච්ච වෙලාවක් තියෙනවද?

මගේ ජීවිතයේ වෙනසක්් වුණේ හේවුඞ් එකේදි. 1979 දී තමයි ඇය මට පළමුවරට හමුවුණේ. ඇයත් මාත් සමඟ එකට සංගීතය කළා. ඇය මේරි මාග‍්‍රට් මායාදුන්නේ. ඇය පසුකාලයේ මගේ ප‍්‍රිය බිරිඳ වුණා. ඇය සංගීත ගුරුවරියක්. අවසන් වරට ඇය සේවය කළේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ. අපට දරුවෝ හතරදෙනෙක් සිටියා. එක්කෙනෙක් පොඩි කාලෙදිම නැතිවුණා. පුතා සහ දුවලා දෙන්නම දැන් කසාද බැඳලා. දැන් ඒ අයටත් දරුවෝ ඉන්නවා. මුණුපුරන්, මිණිපිරියන් සංගීතයට ගොඩක් ළැදියි.

ඔබ වයලීන් වාදනයෙන් චෙලෝ වාදනයට යොමුවුණේ කෙසේද?

ඒ කාලේ රූපවාහිනියක් දකින්නවත් නැහැ. ඒ නිසා චෙලෝ වාද්‍ය භාණ්ඩය දකින්නවත් ලැබෙන්නේ නැහැ. කොළඹ ඇවිල්ලා ලලිතකලා ආයතනයේ ඉන්න ගමන් පිට සංගීත වැඩසටහන් වලට යනවිට තමයි මං චෙලෝ වාද්‍ය භාණ්ඩය දැක්කේ. ඒ කාලේ අපේ චිත‍්‍රපටිවල චෙලෝ වාද්‍ය භාණ්ඩය වාදනය කළේ හංගේරියානු ජාතික බේලාකකස් මහතායි. මේ සංගීත භාණ්ඩය දැක්ක දවසේ ඉඳලා මගේ හිත ගියා. දවසක් වික්ටර් අයියාට කිව්වා චෙලෝ වාද්‍ය භාණ්ඩයට මගේ තියෙන කැමැත්ත ගැන. අයියා කිව්වා හොයලා බලන්න තියෙනවා නම් අපි එකක් ගමු කියලා. බේලාකකස් ගාවම චෙලෝ එකක් විකුණන්න තියෙන ආරංචියට වික්ටර් අයියා, එම්.කේ. රෝක්සාමි, සාර්දීන් සමඟ මා මෝරිස් මයිනර් ටැක්සි එකක් කුලියට අරගෙන ගල්කිස්සට ගියා. බේලාකකස් ගාව තිබුණු චෙලෝ එක රු. 400/= මුදලකට අරගැනීමට හැකිවුණා. චෙලෝ එක ගන්න සල්ලි ටිකක් මා ළඟ තිබුණා. ඉතිරිය වික්ටර් අයියා දුන්නා. චෙලෝ එක මුලින්ම ටියුන් කරලා ස්කේල් එක අල්ලන විදිහ මට කියලාදුන්නේ රොක්සාමි මාස්ටර්. ඒ කාලේ අපේ වාද්‍ය වෘන්දයේ සිටි අය අතර බටහිර සංගීත ශිල්පීන් වන ඩග්ලස් ෆර්ඩිනන්ස්, මිසිස් ප‍්‍රීන්ස්, හාඩි ඩියුට්රම් වැඩකළා. ඩග්ලස් ෆර්ඩිනන්ස් එවකට ලන්ඩන් රෝයල් ඇල්බට් හෝල් එකේ සෝලෝ ගහපු එක්කෙනෙක්. බටහිර සංගීතය පිළිබඳවත් ඉහළ ශාස්ත‍්‍රීය ඥානයක් තිබූ කෙනෙක්. 1970 දී විතර සිලොන් සිම්පනි එකේ චෙලෝ වාදනය කළේ මිස් ජොයිස්. මිස් ජොයිස්ගෙන් තමයි වැඩිදුරටත් චෙලෝ වාදනය මං ඉගෙන ගත්තේ. ඇය එංගලන්තයට යනවිට එතුමිය සතු සංගීතය පිළිබඳ පොත්පත් මට දීලා ගියා වැඩිදුරටත් සංගීතය හැදෑරීමට. 70-90 ලංකාවේ සිටි සෑම සංගීත අධ්‍යක්ෂකවරයකුගේම චෙලෝ වාදකයා වුණේ මමයි. අද වෙනකොට පාසැල් 100 ක් ගත්තොත් 90 කම දරුවන් චෙලෝ වාද්‍ය භාණ්ඩය පුරුදුපුහුණු වෙනවා. එය ලංකාවේ මෙතරම් ජනප‍්‍රිය කරවීමට දායක වුණා කියලා මට අහිංසක සතුටක් හිතේ තියෙනවා.

චිත‍්‍රපටයක සංගීතයට යොමු වුණේ කොහොමද?

මං මුලින්ම චිත‍්‍රපටයක සංගීතය වාදනය කළේ හන්තානේ කතාව චිත‍්‍රපටයේ පසුබිම් සංගීතයටයි. එහිදී සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ කේමදාස මාස්ටර්. මං වයලීන් වාදනයෙන් දායක වුණා. ඒ කාලේ අංග සම්පූර්ණ චිත‍්‍රාගාර නැතිනිසා සංගීත පටිගත කිරීම් පටන් ගන්නේ රාත‍්‍රී 10.00 ට විතර. රාත‍්‍රී 10.00 ට පටන් අරන් පාන්දර 4.00 ට පමණ කපුටෝ කෑගහන්න කලින් නතර කරනවා. හන්තානේ කතාවට සංගීතය සපයන්න වැඩමුර 4ක් පැවතුණා. එක දවසකට ඒ කාලේ සංගීතය සපයන ශිල්පියකුට දෙන්නේ රු.75/= යි. මං වැඩ මුර 4ට සහභාගී වුණ නිසාම මට රු.300/= ක් ලැබුණා. ඒ 1969 විතර. වෘත්තීය වැඩකට සහභාගිවෙලා මුලින්ම ලබාගත් මුදලින් රත‍්‍රං මුද්දක් හදාගත්තා. එයට ගියේ රු.150/= යි. අම්මාගේ වියදම්වලට රු.50/= ක් යැව්වා. නැවතිලා හිටිය බෝඩිමට රු.50 ක් දුන්නා. තවත් රු.50/= ක ඉතුරුත් වුණා.

මුල්ම සංගීත අධ්‍යක්ෂණය මතකද?

මං මුලින්ම වාර්තා චිත‍්‍රපට කීපයක සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. ඒ ලංකාවේ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ටයිටස් තොටවත්ත මහතා සමඟයි.ටයි මහත්තයාගේ ‘හඳයා’ චිත‍්‍රපටයෙන් තමයි එතුමාගේ චිත‍්‍රපටවලට සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වුණේ. ඒ අතර ගිවන්ත අර්ථසාද්ගේ කාටුන් චිත‍්‍රපටයක් වූ ‘දුටුගැමුණු’ චිත‍්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවුණා. හැබැයි දුටුගැමුණු චිත‍්‍රපටය එක දවසයි ප‍්‍රදර්ශනය වුණේ. චිත‍්‍රපටය තහනමට ලක්වුණා. ඔය අතරේ ගාමිණි ෆොන්සේකා මහත්තයා එයාගේ දෙවන චිත‍්‍රපටය වන උතුමාණෙනි චිත‍්‍රපටයට ලක ලැහැස්ති වෙනවා. ටයිටස් තොටවත්ත ගාව මං වැඩකරන නිසා ගාමිණි ෆොන්සේකා කිව්වා ‘ටයිටස්ට හොඳනම් මටත් හොඳයි. මිනිහා මගේ චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ගන්නවා’ කියලා. ඒ අනුව උතුමාණනි චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්න හැකිවුණා. ගාමිණී මහත්තයා සමඟ උතුමා ණෙනි, සාගරයක් මැද, කොටිවලිගය, නොමියෙන මිනිස්සු, අන්තිම රැුය වගේ චිත‍්‍රපට පහක පමණ සංගීත අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. එතුමා සමඟ වැඩකිරීමට ලැබීම මගේ ජීවිතයේ ලද භාග්‍යයක් ලෙසයි මං දකින්නේ.

හදයා චිත‍්‍රපටයේ ‘යාළුයි අපි යාළුයි’ ගීතය ඒ අවුරුද්දේ හොඳම චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂක ලෙස මා තේරීපත්වෙයි කියලා ක්ෂේත‍්‍රයේ හැමදෙනාම කිව්වා. ඒවගේම ඒ සිංදුවට හොඳ ප‍්‍රතිචාරයක් තිබුණා. ඒත් අවාසනාවකට මා තේරුණේ නැහැ. ඒ කම්පනය මගේ හිතේ සෑහෙන කාලයක් තිබුණා. අද පරපුරේත් පුංචි දරුවන්, තරුණයන්, වැඩිහිටියන් අතර, යාළුයි අපි යාඵයි ගීතය ජනප‍්‍රියයි. ඒ ගැන මට හරි සතුටුයි. ගාමිණි මහත්තයාගේ චිත‍්‍රපට වලින්පසුව මං හොඳ හෝ නරක ඕනෑම චිත‍්‍රපටයක සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස වැඩකටයුතු කළා. කොහොමහරි මං චිත‍්‍රපට 80 ක විතර සංගීත අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කළා.

සෝමපාල මහත්තයා දිග රැවුලක් වවාගත්තේ ඇයි?

ඒ කාලේ ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර් මට කතා කරන්නේ ‘හෝචිං මිං’ කියලා. රැවුල මගේ ජීවිතයට ලොකු ආභරණයක් වුණා. 1975 සැප්තැම්බර් මාසයේ මම විවාහ වෙන දවසේ විතරයි මං රැවුල කැපුවේ. මුල් කාලයේ යාන්තම් රැවුල මූණේ තිබ්බේ. පසුකාලීනව රැවුල ගැන විශේෂ අවධානයෙන් හිටියේ. මගේ බිරිඳ හැමදාම කියනවා රැවුල කපන්න කියලා. ඒත් රැවුල මගේ ජීවිතය, කලාව, සංගීතය මේ සියලූ දේ එක්ක දැන් බද්ද වෙලා තියෙන්නේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.