සෙන්පති කොබ්බැකඩුව ගේ කමිසය ගැලවුන හැටි

denzil-kobbekaduwaමනුස්සකමේ ප්‍රතිමුර්තිය වූ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව දිවියෙන් නික්ම ගොසින් වසර විසිපහක් ගෙවී ගොසිනි. ඒ දිගු කාලය ඊයේ පෙරේදා මෙනි. නිර්මල ජල දහරාවක සිසිල අමතක නොවේ. පියසිරි අජිත් ලියනගේ හමුදා නිලධාරියා ගේ මතකයෙන්

කමිසය:

අපි දිනක්‌ පරයානම්කුලම් ප්‍රදේශයේ ත්‍රස්‌තවාදී කඳවුරකට ප්‍රහාර එල්ල කිරීම සඳහා වව්නියාවේ සිට පිටත්ව ගියෙමු. දෙදින ක්‍රියාන්විතයක්‌ වූ එය නිම වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව හෙළිකොප්ටර් යානාවකින් එහි පැමිණියේ අපහට වියළි සලාක මලු ලබා දී තිබුණද උණුසුම් කෑම පාර්සල්, සිගරට්‌ මෙන්ම චොකලට්‌ ද රැගෙනය. (ඒ ඔහුගේ සිරිතය) අධික වර්ෂාව පැවැති එදින ඔහු ආපසු යන ගමනේදී මැලේරියා රෝගයෙන් පෙළුණු සෙබළෙකුද යානාවට නංවන ලදී. මැලේරියා උණ රෝගයට ඇඟ වෙව්ලන නිසාදොa රෝගියා වෙව්ලන්නට විය. එය දුටු බ්‍රිගේඩියර් වරයා සිය නිල ලාංඡනය සමඟ තම කමිසය ගලවා රෝගියාට පෙරවූයේ “බය වෙන්න එපා පුතා” කියා කරවටා අතක්‌ද දමා ගනිමිනි. ඔහු එසේ කීවද සාමාන්‍ය සෙබළ රෝගියා තව තවත් වෙව්ලන්නට වූයේ බ්‍රිගේඩියර් නිල තල ඔහුට තරම් බර වැඩි නිසා වන්නට පිළිවන. සාමාන්‍ය සෙබළෙකු බ්‍රිගේඩියර් තනතුරට උසස්‌ වීම් ලද අවස්‌ථා කුමන රටේ කුමන හමුදාවක සිදු වී ඇත්ද? ඉතිං අද වැනි දිනකවත් මෙවැනි යුග පුරුෂයන් සමරනු වටීද? නැද්ද?

දිසානායක මාරුවdensil

කෝකිලායි හමුදා කඳවුරට ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ එල්ල වූයේ එය ස්‌ථාපිත කර මසක්‌ ගත වන්නටත් ප්‍රථමය. එය ආරක්‌ෂක සාමාජිකයන් 42 කුගෙන් යුත් එක්‌ කුඩා ගොඩනැඟිල්ලක්‌ පමණක්‌ තිබූ අනුඛණ්‌ඩයක්‌ විය. අලුයම 2 ට පමණ කෝප්‍රල් ආරියරත්න “කොටි ඇවිල්ලා” යෑයි කෑ ගසමින් තම අවිය නොනවත්වා ක්‍රියාත්මක කළේ මුළු කඳවුරම නින්දෙන් අවදි කරවමිනි. ක්ෂණයකින් සියල්ලන් ආරක්‍ෂක ක්‍රියා අනුගමනය කරමින් ඉලක්‌ක පථයට හසුවන සෑම ත්‍රස්‌තවාදියෙකුටම මදි නොකියන්නට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ තම ජීවිත පරදුවට තබමිනි. පසුදාට පහන් වන විට ත්‍රස්‌තවාදී මළ සිරුරු විශාල සංඛ්‍යාවක්‌ කඳවුර වටා තැන තැන විසිරී තිබූ අතර එක්‌ අවාසනාවන්ත සිදුවීමක්‌ද සිදු වී තිබිණ. ඒ එම සටනේදී සාමාන්‍ය සෙබළුන් වන දිසානායක සහ මහනාමද ජීවිතක්‍ෂයට පත්ව තිබීමයි. එහි තවත් අවසානාවන්ත මෙන්ම හාස්‍යදනවන සිද්ධියක්‌ද සිදු වී තිබිණ. ඒ දිසානායක නමින් සාමාන්‍ය සෙබළුන් දෙදෙනකු එහි රාජකාරියේ නිරතව සිටි අතර පණිවිඩ හුවමාරු මගින් මොනයම් ක්‍රමයකින් හෝ මිය ගොස්‌ සිටින්නේ ඩී. එම්. දිසානායක බව දන්වා යවා තිබිණ. එහෙත් ඇත්තටම මිය ගොස්‌ සිටියේ ඩී. එම්. සී. දිසානායකය. ඔහු ත්‍රිකුණාමලයේ දෙහිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විය. ඩී. එම්. දිසානායකගේ නිවස පිහිටා තිබුණේ මහනුවර අංපිටිය ප්‍රදේශයේය. ඩී. එම්. දිසානායක ත්‍රස්‌තවාදී ප්‍රහාරයකින් මිය ගිය බව ඒ වන විටත් ඔහුගේ නිවසට දන්වා යවා තිබූ අතර විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ද එම නිවසට පිටත් කර හැර තිබිණ. උදෑසන 9 පමණ වන විට කර්නල් කොබ්බෑකඩුවත් කර්නල් විමලරත්නත් හෙළිකොප්ටර් යානයකින් කෝකිලායි කඳවුරට පැමිණියේය. පළමුව මිය ගොස්‌ සිටි සෙබළුන් දෙදෙනාට සිය ආචාරය පුද කළ කර්නල්වරු දෙදෙනා කඳවුරු බේරා ගැනීම හා ත්‍රස්‌තවාදීන්ට උපරිම ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව එක එකා ළඟට ගොස්‌ පුද්ගලිකවම සිප වැළඳ ගත්තේ අතිශය ගෞරවයෙනි. අනතුරුව දිසානායකලාගේ අත්වැරදීම ගැන දැනගත් කර්නල් කොබ්බෑකඩුව වහාම ඩී. එම්. දිසානායක නිවාඩු යවන ලෙස නිලධාරීන්ට දැන්වීය. මියගොස්‌ සිටි සෙබළුන් දෙදෙනාගේ සිරුරු අනුරාධපුරයට ගෙන ගොස්‌ භාර දීමෙන් අනතුරුව එම හෙලිකොප්ටර් යානයෙන්ම ඩී. එම්. දිසානායක අස්‌ගිරිය ක්‍රීඩාංගණයට රැගෙන ගොස්‌ ඇරලන ලෙස ගුවන් හමුදා නියමුවන්ට උපදෙස්‌ ලබා දුන්නේ කිසිදු පැකිළීමකින් තොරවය. සාමාන්‍ය සෙබළ දිසානායක හමුදාවේ උසස්‌ නිලධාරියෙකුට හිමි වරප්‍රසාදයක්‌ ලබා ගත්තේ උතුම් මිනිස්‌ ගුණාංග කර්නල් කොබ්බෑකඩුව සතු වූ බව මොනවට සපථ කරමිනි.

යකඩ ඇඳන් 8 ක්‌:

බළලත් නිලධාරී සෝමදාස අවුරුදු 22 ක සේවා කාලයක්‌ අවසන් කර සේවයෙන් විශ්‍රාම ගියද ඔහුට විශ්‍රාම වැටුප් ලබා ගැනීම ප්‍රමාද වෙමින් තිබිණ. ඒ ඔහු වැලිඔය ආරක්‍ෂක සේනා මුලස්‌ථානයෙන් ලබා ගෙන තිබූ යකඩ ඇඳන් 8 ක්‌ ආපසු භාර දී තිබුණද ඊට අදාල ලිපියක්‌ අස්‌ථාන ගත වීම හේතුවෙනි. ඒ වන විටත් ඔහු විශ්‍රාම ගෝස අවුරුද්දකටත් වඩා වැඩි කාලයක්‌ ගත වී ගොස්‌ තිබිණ. දියණියන් හතර දෙනකුගේ සහ පුතණුවන් දෙදෙනකුගේ පියකු වූ ඔහු විශ්‍රාම වැටුප නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටි අතර ඇඳන් අට සඳහා ගෙවිය යුතු වූ මුදල ද අතිවිශාල එකක්‌ විය. ඔහු බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව හමුවීමට ගියේ මෙවන් පසුබිමක්‌ තුළය. ඒ වන විට බ්‍රිගේඩියර් කෝබ්බෑකඩුව ත්‍රිකුණාමලය සහ වැලිඔය අඥාපති වශයෙන් රාජකාරියේ නිරතව සිටියේය.

“ලෙෆ්ටිනන් වික්‍රමසිංහ ඔයාගේ ස්‌ටෝර්ස්‌ එකේ යකඩ ඇඳන්වල අඩුපාඩුවක්‌ තියනවද? බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව විමසා සිටියේ ගබඩා පාලක නිලධාරියාගෙනි.

“නෑ සර් එහෙම අඩුපාඩුවක්‌ නෑ. මේකෙ තියෙන්නෙ මේ ලියුමක්‌ නැති වෙච්ච ප්‍රශ්නයක්‌” “ලෙෆ්ටිනන් වික්‍රමසිංහ ඔය වගේ සුළු දේකට ඇයි මේ පැන්ෂන් ගියපු මිනිස්‌සුන්ට හිරිහැර කරන්නේ.” බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව කීවේ දැඩි පිළිකුලෙනි.

කඩිනමින් ලිපියක්‌ සකස්‌ කර අතින්ම එය රැගෙන ගොස්‌ පනාගොඩ විශ්‍රාම වැටුප් හා ලේඛන කාර්යාලයට භාරදීමට බලලත් නිලධාරී සෝමදාසට ලබා දුන් බ්‍රිගේඩියර්වරයා, ” ඇයි මෙච්චරකල් මේක මට කිව්වේ නැත්තේ” යෑයි නෝක්‌කාඩුවක්‌ ද කළේය. ඔහුගේ විශ්‍රාම වැටුප ලැබුණේ සති 2 කටත් අඩු කාලයකිනි.

කෝම්පිට්‌ටුවක්‌

අපි වරක්‌ මාන්කුලම් ආසන්නයේ පිහිsටි තුනුක්‌කායි ප්‍රදේශයේ ක්‍රියාන්විතයක්‌ සඳහා පිටත්ව ගියෙමු. එහි සැලසුම හා උපදෙස්‌ දෙනු ලැබුවේ කර්නල් කොබ්බෑකඩුව විසිනි. එවකට ඔහු කිලිනොච්චි සම්බන්ධීකරණ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබිණ. අපි සිටි ඉසව්වට සතුරු මෝටාර් බෝම්බයක්‌ පතිත වූයේ නොසිතූ මොහොතකය. ඒ සමඟම අප කර්නල් කොබ්බෑකඩුව බිම පෙරළාගෙන වසාගත්තේ පොල් කටුවකින් කෝම්පිට්‌ටුවක්‌ වසාගන්නා ආකාරටය. ඒ අපේ ජීවිතවලට වඩා එතුමාගේ ජීවිතය අපට වටිනා නිසාය. වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ලවීමත් සමඟ සතුරු ප්‍රහාරය වියෑකී ගිය අතර කර්නල් කොබ්බෑකඩුව අප වැළඳගත්තේ ” මට හරි ආඩම්බරයි කොල්ලනේ ඔයාලා ගැන ඒත් මම ආරක්‍ෂා වුණාට වැඩක්‌ නෑ කියලා කාටහරි තුවාලයක්‌ වුණානං” යෑයි කීවේ ඔහු කෙරේ තිබූ ගෞරවයට තවත් යමක්‌ එක්‌ කර ගනිමිනි.

kobbekaduwa1හෙලිකොප්ටරයක්:

තවත් දිනෙක අප මන්නාරම තල්ලඩි කඳවුරේ නිවාඩුයාම සඳහා හෙලිකොප්ටරයක්‌ පැමිණෙනතුරු බලා සිටියෙමු. ඒ වන විට ගොඩබිම් මාර්ග සියල්ල ත්‍රස්‌තවාදී ක්‍රියා හේතුවෙන් වැසී ගොස්‌ තිබුණි. මේ අතර හදිස්‌සියේම ජෙනරල් කොබ්බෑකඩුව කඳවුරට පැමිණියේ හදිසි අවශ්‍යතාවයක්‌ සඳහා විය යුතුය. නිවාඩු යැමට සිටි අප ගැන තොරතුරු විමසා ඒ සියලු දෙනා ඔහු පැමිණි හෙලිකොප්ටරයෙන් වව්නියාවට ගෝස ඇරලන ලෙස නිලධාරීන්ට උපදෙස්‌ ලබා දුන්නේ දෙවරක්‌ සිතාබලා නොවේ. දින ගණන් නිවාඩු යැමට අවස්‌ථාව ලැබෙන තුරු බලා සිටි සියල්ලන් ගමන්වාර කීපයකින් වව්නියාවට ගෙනගොස්‌ බස්‌සවන ලදී. ” ජෙනරාල් කොබ්බෑකඩුවට නං බුදු බව ලැබෙන්න ඕනෑ. ඇත්තට අනිත් නිලධාරීන් මේ විදියට අපි ගැන බලනවනං හමුදාව කොච්චර හොඳදැයි” එකෙකු නොව කීප දෙනෙකු කියනවා මට ඇසුණි.

ජාතික වස්‌තුවක්‌:
තණ්‌තිරිමලේ පන්සල් භූමියට වරක්‌ නිරීක්‍ෂණය චාරිකාවක පැමිණි ජෙනරාල් කොබ්බෑකඩුව විහාරාධිපති මහකෝන්ගස්‌කඩ විමලඥාණ හිමියන් හා කතා බහක නිරත වූහ. එහිදී විමලඥාණ හිමියන් අප අමතා ” මහත්වරුගේ මේ ඉන්නේ අපේ ජාතික වස්‌තුවක්‌ හොඳට ආරක්‍ෂා කර ගන්න ඕනෑ.” යෑයි පැවසුවේ ඔහුගේ පිටට තට්‌ටුවක්‌ ද දමමිනි. අවාසනාවකට දෝ විමලඥාණ හිමියන් ජෙනරාල් කොබ්බෑකඩුවට ද පෙර අපවත් වූයේ මෙම සිදුවීමෙන් ඉතාමත් කෙටි කාලයක්‌ තුළදීය. කෙසේ වෙතත් ඒ හිමියන්ගේ ඉල්ලීම ඉටු කරන්නට අප අසමත් වූවා යෑයි මාගේ පුද්ගලික හැඟêමයි.

ඔබට නිවන් සුව…….

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!