අගවිනිසුරුවන් හොරෙන් සහ එළිපිට කඩේ ගිය හැටි

dowshooping

පසුගිය කාලයේ අධිකරණ ක්‍ෂේත‍්‍රය තුළ කථාබහට ලක් වූ ප‍්‍රමුඛතම කරුණ වූයේ අධිකරණයේ උත්තරීතරම තනතුර දැරූ අග විනිසුරුවරුන් දේශපාලනඥයින්ට කඩේ ගිය අයුරුය. එහෙත් දැන් සිදුවන්නේ දේශපාලනඥයින් හිටපු අග විනිසුරුන්ට කඩේයෑමය.

මේ අතරින් වඩාත්ම කථාබහට ලක්වන්නේ ඊයේ පෙරේදා අලුත් කඬේ බිත්ති අතර සැඟවී ගිය හිටපු අග විනිසුරු මොහාන් පීරිස්ගේ කතා වස්තුවයි.

ඔහු රැයක් දවාලක් නැතිව කඩේ ගිය අයෙක් ලෙස ප‍්‍රකටය. පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී අලුයම අරලියගහ මන්දිරයේ සිටියේ ඇයි දැයි බරපතළ ප‍්‍රශ්නයකි. අග විනිසුරු වැනි ස්වාධීන පුද්ගලයෙකු නොකළ යුතු දෙයක් ඔහු විසින් සිදුකළ බවට දැන් ඔහුට ඇඟිල්ල දිගු වී ඇත. මේ කඩේ යෑමේ කලාව ආරම්භ වන්නේ හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා මහතාගේ යුගයේ සිටය.

images (83)ffff

සරත් එන් සිල්වා

හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා මහතාත් දේශපාලනඥයින්ට කඩේ නොගියාම නොවේ. ඔහු තම ශූර බුද්ධියෙන් බොහෝවිට කාටවත් නොපෙනෙන ලෙස හොරෙන් කඩේ ගිය බව නම් නොරහසකි.

1994 චන්‍ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලයට එන්නේ පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්දයකිනි. ජනාධිපතිවරණයේදී ඇය 62% ප‍්‍රතිශනයකින් රටේ ජනාධිපතිනිය වෙයි.

ඒ වන විට අග විනිසුරුව සිටින්නේ ජී.පී.එස්. ද සිල්වාය. ජ්‍යෙෂ්ඨත්වය අනුව ඔහු ළඟට ඊළඟ අග විනිසුරු ලෙස පත්වීමට සුදුසුකම් තිබුණේ මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුහටය.

මාර්ක් ප‍්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධකම් ඇතිව සිටි පුද්ගලයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියත් ඔහු කිසි දිනක විනිසුරු අසුනේ සිට දේශපාලනඥයින්ට අවශ්‍ය තීන්දු ලබා නොදුන්නේය.

නිදසුනක් ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලමින් කොළඹ සිට කතරගමට ගමන් කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පාද යාත‍්‍රාවට අතරමගදී පොලිසිය කළ පහරදීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙසට තීන්දු කර වන්දි ගෙවන ලෙස තින්දු කළ විනිසුරුවරයෙකි.

නමුත් මාර්ක් ප‍්‍රනාන්දු මහතාට අග විනිසුරු ධුරය ලැබුණොත් ජනාධිපතිනියට රට පාලනය කිරීමට බාධාවක් ඔහුගෙන් ඇති වෙතැයි සිතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුව සිටි සරත් එන් සිල්වා නීතිපති පදවියට පත්කොට පසුව සිල්වා අග විනිසුරු විශ‍්‍රාම යෑමෙන් පසු අග විනිසුරු ලෙස පත් කළේය.

මේ පත්වීම කළේම ඇයව ඔහුට කඩේ යවාගැනීමට තිබූ නිසාය.

අග විනිසුරු ලෙස ඔහු කටයුතු කරමින් සිටියදී රජයට අවශ්‍ය පරිදි නඩු තීන්දු ලබාදෙන බව පෙනී ගිය නිසා 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සමග එක් වී අග විනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව දෝෂාභියෝයක් අත්සන් කොට පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාර දුන්නේය.

මේ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ න්‍යායපත‍්‍රයටත් ඇතුළු වී තිබු අතර එය පහසුවෙන් සම්මත කර ගැනීමට අවශ්‍ය ඡුන්ද ප‍්‍රමාණයද විපක්ෂය සතු වී තිබුණි.

නමුත් 2001 වසර අවසානයේදී ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම එම දෝෂාභියෝග යෝජනාව ඉබේම අහෝසි විය.

පසුව පැවැත් වූ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය බලයට පත් වී රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති විය. ඔහුගේ ආණ්ඩුවට පාර්ලිමේත්තුවේ ආසන 126 ක් බහුතර බලයක් හිමිව තිබුණත් කුමන හෝ හේතුවක් නිසා සරත් එන් සිල්වා මහතාට එරෙහිව පැවැති දෝෂිභායෝගයක් ඉදිරිපත් නොවීය. එජාප ආණ්ඩුවේ ආරක්ෂක ඇමැතිවරයාව සිටි ජනාධිපති නීතිඥ සහ හිටපු නීතිපති වරයෙකු වූ තිලක් මාරපන සහ සරත් එන් සිල්වා මහතා අතර ඇතිවූ සම්මුතියක් නිසා එම දෙවන වතාවට අග විනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ගෙන ඒම අතහැර දැමු බවට එකල කටකතාවක්ද පැතිර ගියේය. කෙසේ හෝ අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා දෝෂාභියෝජනාවෙන් ගැලවුණේ අනූනවයෙනි.

එජාප රජයේ ආරක්ෂක ඇමැති ධුරය යළි චද්‍රිකාට ලබාදීමට අග විනිසුරු සරත් එන් සිල්වා මහතා කටයුතු කළේ 2004 වසරේදීය. ඒ ආරක්ෂක අමාත්‍ය ධුරය තබාගත යුත්තේ කවරෙකු ළඟදැයි ජනාධිපතිනිය ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීමක් කළ අවස්ථාවේදීය.

2004 දී චන්‍ද්‍රිකාට උදව්කළ අග විනිසුරු සරත් එන් සිල්වා 2005 ජනාධිපතිවරණය තැබිය යුතු බවට තීන්දු කොට චන්‍ද්‍රිකාගේ දෙවන ධුර කාලය වසරකින් අඩුකර දැම්මේය.

ඉන්පසු චන්‍ද්‍රිකාගේ පාලන කාලය අවසන්බව දැන ගැනීමෙන් පසුව 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරඟ කිරීමට තිබූ බාධාවන් අයින් කර දැමුවේය. ඒ හෙල්පින් හම්බන්තොට සිද්ධියේදීය. සුනාමි ව්‍යවසනයෙන් පසු රජයට ලැබුණු විදේශ ආධාර මුදල් හෙල්පින් හම්බන්තොට නමින් තමන්ගේ ගිණුමකට දාගත් බවට රහස් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව රහස් පොලිසිය විසින් පරීක්‍ෂණ සිදු කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට සඳහන් කරමින් රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

පෙත්සම විභාග කිරීමෙන් පසු රාජපක්ෂ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නිගමනය කළ අග විනිසුරු සරත් එන් සිල්වා මහතා මහින්ද රාජපක්ෂ මහතාට වන්දි ගෙවන ලෙස පොලිස්පතිවරයාට නියම කළ අතර රහස් පොලිස් පරීක්‍ෂණ අත්හිටුවන ලෙසද නියෝග කළේය.

නමුත් ඊට වසර 10 කට පසුව එදා ඒ දුන් තීන්දුව සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලන බව සරත් එන් සිල්වා මහතා මෑතකදී පැවැසීය.

images (83)gfhg

වැඩ වර්ජන මර්දනය කිරීම

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුළදී වෘත්තිය සමිති මගින් පැවැත් වූ වැඩ වර්ජන මර්දනය කිරීම සඳහා ඔහු සිය අධිකරණ බලය උපරිම ලෙස යොදාගෙන රජයට අවශ්‍ය සහාය ලබා දුන්නේය.

අ.පො.ස. උසස් පෙළ උත්තර පත‍්‍ර නිරීක්ෂණය කිරීම වර්ජනය කිරීමට ගුරුවරුන් ගත් තීරණයකට එරෙහිව සිසුවෙකු ගොනුකළ පෙත්සමකදී අදාළ ගුරු සංගම් නියෝජිතයින්ට තදින් අවවාද කොට ඔවුන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප මත මුදා හැර වර්ජනය කඩාකප්පල් කර දැමුවේය.

2008 වසරේ අවසන් කාර්තුවේදී 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ශංශෝධනයට අනුව ජනාධිපති විසින් ව්‍යවස්ථාදායක සම්පාදන මණ්ඩලය ඇතුළු පොලිස්, අධිකරණ, රාජ්‍ය සේවා සහ මැතිවරණ කොමිසන් සභාවලට සාමාජිකයින් පත් නොකිරීම නිසා එම ආයතන අක‍්‍රිය වීම හේතුවෙන් මූලික අයිතීන් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලමින් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සම විභාගවූයේ අග විනිසුරු සරත් එන් සිල්වා මහතා ඉදිරියේය.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති මුක්තිය කියා ජනාධිපති මෙම පෙත්සමේ වගඋත්තර කරුවෙකු කළ නොහැකි නිසා නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටියේ එවකට සොලිසිටර් ජනරාල්ව සිටි පාලිත ප‍්‍රනාන්දු මහතාය.

පෙත්සම විභාග වෙද්දි කොමිසන් සභාවලට සාමාජිකයින් පත්කරන ලෙස අග විනිසුරුවරයා නඩු වාර කීපයකදීම නිතිපතිවරයාට දැනුම් දුන්නත් එය ඉටු නොවීය.

එහෙත් එය පිළිබද තීන්දුවක්ද නොවීය. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාය.

පෙත්සම විභාග කර තීන්දුවක් දුන්නානම් ජනාධිපතිවරයා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ප‍්‍රකාශ වේ. ඒ සමගම ජනාධිපතිගේ පත්වීමත් අහෝසි වේ. මක්නිසාද යත් ජනාධිපති ලෙස දිවුරුම් දීමේදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කොට එය ආරක්ෂා කරන බවට දෙන ප‍්‍රතිඥාව නිසාය.

ඒ වනවිට යුද්ධය තීරණාත්මක මොහොතක පැවැති අතර එවැනි තීන්දුවක් දුන්නා නම් අග විනිසුරුවරයා අංක එකේ දේශදෝහියෙකු ලෙසට දේශපේ‍්‍රමීන් විසින් හංවඩු ගසන බව ඔහු දැන සිටි නිසා ඔහු පන්දුවට පහරනොදී එය නිදැල්ලේ යන්නට ඉඩ හැරියේය.

මෙය එසේ වුවද ඔහු ජනතාවාදී ලෙස කටයුතු කළ අවස්ථාද තිබේ. ඒවා සඳහන් නොකළොත් එය ඔහුට කරන අසාධාරණයකි.

ඛණිජ තෙල් සඳහා ඇති කරගෙන තිබු හෙජින් ගිවිසුම අත්හිටුවීම ඉන් එකකි. මේ ගිවිසුම නිසා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ අසන්තද මෙල් මහතාගේ පත්වීම අහෝසි කොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පි.බී. ජයසුන්දරට මින්මතු රාජ්‍ය සේවයේ නොයෙදෙන ලෙසට දන්වමින් තහනම් නියෝගයක්ද කළේය.

වැලි ගොඩ දමමින් පාරිසරික හානිය සිදු කරන පුද්ගලයින් බන්ධනාගාර ගත කළ අතර ඒවාට වැඩි පිරිසක් හසුවූයේ රජයට අයත් පක්‍ෂවල ප‍්‍රාදේශීය මන්ත‍්‍රී වරුන්ය.

යුද්ධයක් පවතිද්දීත් මහජනයාට හිරිහැර වන පරිදි යොදා තිබු මාර්ග බාධක ඉවත් කරන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශයට ඔහු දුන් නියෝගය දැඩි විවේචනයට ලක්විය.

මේ කරුණු නිසා හොරෙන් හොරෙන් රජයට කඩේ ගියත් ඔහු එය සමබර කිරීමට උස්සාහ කළ අයුරුද දක්නට ලැබුණි.

 imagmohaanes (83)

ජනාධිපති නීති උපදේශක

ඔහුගේ විශ‍්‍රාම යෑමෙන් පසු ඊළඟ අගවිනිසුරු වන්නේ අශෝක සිල්වා මහතාය. ඔහුගේ ධුර කාලය සීමිත විය. ඔහු කෙතරම් රාජපාක්ෂික වූවාදැයි කිවහොත් විශ‍්‍රාම ගැනීමෙන් පසු කෙලින්ම ගියේ අරලියගහ මැදුරේ රැකියාවකටය. ඒ ජනාධිපති නීති උපදේශක ලෙසිනි.

ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වන්නේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. ඇය අගවිනිසුරු ලෙස පත්වනවිට ඇගේ සැමියා ජනාධිපති විසින් රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස පත්කරනු ලබයි. මේ පත්කිරීමම ඇගේ අපක්ෂපාතී බව පිළිබඳ සැකය ඇති කළේය. එතනින් නොනැවතී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ධුරයටද ඔහුව පත් කිරීමෙන් ජනාධිපති අග විනිසුරු පවුල අතර තිබූ සබඳතාවය පෙනී ගියේය.

නමුත් පසු කාලයේදී ඇයට වැරැුදි නිවැරදි කරගැනීමට අවශ්‍ය විය. එහි මුල්ම ප‍්‍රතිඵලය වූයේ ඇගේ සැමියාට මූල්‍ය චෝදනාවක් රජයේ පාර්ශවයෙන්ම එල්ලවීමයි. අවසානයේදී ඔහු එම තනතුරට සමුදෙයි.

පෙර වැරදි නිවැරදි කරගන්නට අගවිනිසුරු ගත් ක‍්‍රියා මාර්ගයේදී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගය නැමැති ගිලටිනයට හසුවූවාය. ඇයට නැවැත සාධාරණය ඉටුවන්නේ දින 745කට පසුවය. ඒ මෛත‍්‍රීපාල රනිල් සුසංයෝගයෙන් බිහිවූ නව ආණ්ඩුවෙන්ය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ අනුප‍්‍රාප්තිකයා වන්නේ මොහාන් පීරිස් මහතාය. ඔහු අගවිනිසුරු පදවියට පැමිණෙන්නේ අරලියගහ මන්දිරයේ සිටය.

මුලින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ව සිට ඉන් ඉවත්වී පෞද්ගලික නීති වෘත්තියේ යෙදී සිටියදී ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක වෙයි. පසුව සෙලින්කෝ මූල්‍ය අර්බුදයේදී රජය විසින් සෙලාන් බැංකුවේ සභාපති වෙයි. රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂවරයාත් වෙයි. පසුව නීතිපති පදවියට පත්වී ඉන් විශ‍්‍රාම ගොස් කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක, ජනාධිපතිගේ නීති උපදේශක වී අගවිනිසුරු වෙයි.

මේ පැටිකිරිය ඔහු පිළිබඳ අධ්‍යයනය කිරීමට ප‍්‍රමාණවත්ය.

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී අළුයම ඔහු අරලියගහ මන්දිරයේ ජනාධිපතිවරයා සමග සිටි බව දැන් හෙළිවී තිබේ. එහිදී සිදුවූවායැයි කියන කුමන්ත‍්‍රණයක් පිළිබඳව ඔහුගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කර තිබේ.

අගවිනිසුරු අර්බුදය දැන් අවසානය. නව අගවිනිසුරු වරයෙක් පත්ව සිටියි. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුද වෙයි.

මෙපමණ කාලයක් දේශපාලනඥයින්ට කඩේ ගිය අගවිනිසුරුවරුන් වෙනුවට මේ නව අගවිනිසුරුවරයා අධිකරණයේ ඇතිවූ කළු පැල්ලම මකා දමනු ඇති බවට බොහෝදෙනෙකු විශ්වාසය පළකරති. සිදුවූ වරද නිවැරැදි කර ගැනීමට මේ හොඳම අවස්ථාවය. එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද?

මෙතෙක් කල් දේශපාලඥයින්ට කඬේ ගිය අගවිනිසුරුවරුන් වෙනුවෙන් දැන් දේශපාලඥයින් කඩේ යෑමට පටන්ගෙන තිබේ.

දේශපාලඥයින් කඩේ

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කළේ පාර්ලිමේන්තුවේ නිසි පරිදි යෝජනාවක් සම්මත කිරීමෙන් නොවන හෙයින් ඇය ඉවත් කළ දින සිටම සේවය කළේ යයි සලකා ඇයට යළිත් සේවයට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කරයි.

එම නියෝගයට අනුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඊට පසුදින විශ‍්‍රාම යයි. එහිදී ඒ වනවිට අගවිනිසුරු ධුරයේ සිටි මොහාන් පීරිස් මහතා නන්නත්තාර වෙයි. ඔහු කරකවා අතහැරියාක් මෙනි.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අගවිනිසුරු ධුරයට හිමි පාරිතෝෂික දීමනා විශ‍්‍රාම වැටුප් ලැබෙනු ඇත.

මොහොන් පීරිස්

මොහොන් පීරිස් මහතාට විශ‍්‍රාම වැටුප් ලබාගන්නට තව කලක් බලා සිටීමට සිදුවනු ඇත.

ඒ කාලය වෙනුවෙන් දේශපාලඥයින් දැනටම දුක් ගායනා ප‍්‍රකාශ කිරීම ආරම්භ කර තිබේ.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි සේවයේ පිහිටුවීම පිළිබඳව පාර්ලිමේන්තුව අමතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කළ විශේෂ ප‍්‍රකාශය පිළිබඳව විපක්ෂය විශේෂ විවාදයක් ඉල්ලා සිටියේ මේ නිසාය.

එම විවාදය පසුව ලැබුණු අතර විවාදය අරඹමින් විපක්ෂ නායකවරයා කීවේ තමන් විවාදය ඉල්ලා සිටියේ මොහාන් පීරිස් මහතාට කඬේ යෑමට නොවන බවය. එහෙත් එම විවාදය සම්පූර්ණයෙන්ම වෙන්වූයේ මොහාන් පීරිස් මහතාට කඬේ යෑමටය. ඔහු ඉල්ලා අස්වී නැති බවත් විධායක බලය යොදවා අස්කර ඇති බවත් කියයි.

එදිනම සවස හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් කියා සිටියේ මොහාන් පීරිස් මහතා තවමත් මේ රටේ අගවිනිසුරුවරයා බවය.

මේ සියලූ කරුණු වලින් හෙළිවන්නේ කවදාහෝ දිනයක මොහොන් පීරිස් මහතා යළිත් වරක් අගවිනිසුරු කිරීමේ වෑයම ගැනය.

මේ ප‍්‍රාර්ථනා වලින් සිදුවන්නේ කුමක්ද? අධිකරණයට සිදුවූ කළු පැල්ලම තව තවත් වැඩිකිරීමය. එනිසා මේ රටේ යුක්තිගරුක පුරවැසියන්ට අවශ්‍ය වන්නේ දේශපාලන බලයෙන් පුම්බන අගවිනිසුරුවරුන් නොව ස්වාධීනව අපක්ෂපාතීව නීතිය යුක්තිය කිරාමැන තීන්දු දිය හැකි කොන්ද කෙලින් තබා ගත් අගවිනිසුරුවරුන්ය.

ඒ සඳහා නව අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතාට ඒ ටික කළ හැකි බව රටේ ජනතාව විශ්වාස කරති. ඒ නිසා මේ නාඩගමට මෙතනින් විරාමය තබන ලෙස සියලූ දේශපාලඥයින් ගෙන් ඉල්ලමු. එසේ නැතහොත් මේ රටේ ජනතාව මේ ජරාජීර්ණ දේශපාලනඥයින්ව ඉතිහාසයේ කුණු බක්කියට යවන දිනය වැඩි ඈතක නොවේ. අප එසේ කියන්නේ ශ්‍රී පවන් මහතා දේශපාලන අනුග‍්‍රහයකින් අගවිනිසුරුවරයෙකු නොවූ නිසාය. නීතිඥයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳි ස්වෝත්සාහයෙන් අත්දැකීම් හා පළපුරුද්ද ඇතිව පියවරෙන් පියවර ඔසවමින් අභියාචනාධිකරණයේ විනිසුරු එහි සභාපති විනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස පත්වූ විනිසුරෙකි. ඒ නිසා ඔහුට කිසිවෙකුටත් කඬේ යෑමට අවශ්‍ය නොවේ. ඔහු කඩේ යායුත්තේ නීතියේ දෙවඟනගේ සුජාත භාවය වෙනුවෙන්ය. ඒ වෙනුවෙන් ඔහු කැපවෙන බව ඔහුගේ විනිසුරු ඉතිහාසය මැනවින් පසක් කර දෙයි.

රත්නපාල ගමගේ-ලංකාදීප

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.