අඟහරු ලොවේ කුරුමිට්ටන් සොයා යෑම

article-2021196-0D41D0AD00000578-381_634x427

 

විශ්වය නිරීක්ෂණයෙහි යෙදෙන තතු ලිපි පෙළෙහි මීළඟට අවධානය යොමුවන්නේ  අඟහරු ග්‍රහයා ගැනයි. සූර්යයාගේ සිට බලන විට පෘථිවියට ඔබ්බෙන් ඊළගට පිහිටා ඇති ග්‍රහ ලොව  අඟහරුයි. පෘථිවිය වාසීන්ගේ වැඩිම අවධානයක් යොමු වූ ග්‍රහයා ලෙස එය හැඳින්විය හැකිය. අඟහරු මත වායු‍ගෝලීය පීඩනය පෘථිවි‍යෙහි මෙන් 1%ටත් අඩුය. එහි උෂ්ණත්වයද මිදෙන මට්ටමට (හිමාංකයට) වඩා බෙහෙවින් පහළය. අඟහරු මතු පිට තත්වයන් යටතේ වර්තමානයේ නම් ද්‍රව ජල කඩිතිවත් පවත්වාගෙන යාමට නොහැකිය. කෙසේ වෙතත්, ගංගා සමාන මතුපිට ලක්ෂණ පැවතීම මෙන්ම ඛනිජ විද්‍යාත්මක සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ එහි ඉතිහාසයේ මුල් බිලියන 1 සිට 2 දක්වා කාලය තුළ අඟහරු මත විශාල ප්‍රමාණයේ ජලය ගලා යෑම් සිදු වී තිබෙන බවයි. එසේ නම් අද වන විට ඒ ජලය ගියේ කොහාටද? ජලය තිබුණා නම් කවදා හෝ අඟහරු මත ජීවය පැවතුණේද? මෙවැනි ප්‍රශ්නවලට වඩා හොඳින් පිළිතුරු සපයා ගැනීමේ අරමුණෙන් නාසා ආයතනය අඟහරු වටා කක්ෂ  ගතව ගමන් කිරීමට මෙන්ම ඒ මත ගොඩ බැස්වීමට පසුගිය වසර 40 තුළ අභ්‍යවකාශ යානා ගණනාවක් යවා තිබේ.

පෘථිවිය හා අඟහරු ග්‍රහ පොරොන්දම්

පෘථිවිය හැඩ ගැසීමට බල පෑ භෞතික ක්‍රියාදාමයන් වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට අවස්ථාවක් සැලසීම අනෙකුත් ග්‍රහයන් ගැන විස්තරාත්මකව හැදෑරීමට ඇති එක් හොඳ හේතුවක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. අපි මුලින්ම, පෘථිවියෙහි හා අඟහරු ලොවෙහි සමානකම් සහ අසමානකම් සලකා බලමු. අඟහරු ග්‍රහයාගේ අරය(මධ්‍යයක සිට සෑම දිසාවකටම විහිදෙන දුර) පෘථිවියේ මෙන් භාගයක් පමණය. අඟහරු ග්‍රහයාගේ සම්පූර්ණ මතුපිට වර්ග ප්‍රමාණය පෘථිවියෙහි ගොඩ බිම වර්ග ප්‍රමාණය තරමට ‍වගේ ඇත.  අඟහරු ස්කන්ධය පෘථිවියෙහි මෙන් 10% ක් පමණ වේ. පෘථිවියෙහි රාත්තල් 150ක් (කිලෝග්‍රෑම් 68.0) බර අයෙකු අඟහරු මත දී බර  රාත්තල් 55 ක් (කිලෝග්‍රෑම් 24.9) පමණ වේ.

පිහිටීම ග‍තහොත්, අඟහරු සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර මෙන් 1.5ක් පමණ වේ. එයට සූර්යාලෝකය ලැබෙන්නේ පෘථිවියට ලැබෙන ප්‍රමාණයෙන් 2.3%ක් අඩුවෙන්ය. අඟහරු මත ද පෘථිවියෙහි මෙන් ඍතු ඇතිවන අතර එහි භ්‍රමණ අක්ෂයෙහි  පෘථිවි‍යට සමාන ඇලයක් දක්වයි. අඟහරු මත දිනයක් පැය 24.67ක් වන අතර එහි අවුරුද්දක් පෘථිවියෙහි මෙන් 1.88 කි. ඍතු වඩාත් පැහැදිලිව පවතින්නේ අඟහරු ධ්‍රැව හිමාවරණ ප්‍රදේශයේදීය.

අගහරැ ෙලාව මුහුදක්?

වසන්ත ඍතුවේ මුල සිට ගිම්හානයේ මුල දක්වා අඟහරු උත්තර ධ්‍රැව හිමාවරණ ප්‍රදේශය උණුසුම් වෙත්ම, මිදී තිබූ කාබන් ඩයොක්සයිඩ් (වියළි අයිස්) වාතයට ඌර්ධ්වපාතනය වෙයි (ඝන ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට නොපැමිණ වාෂ්පයක් බවට පත්වීම) ගිම්හානය වන විට එවිට ඉතිරිවන්නේ ජල අයිස්ය. ධ්‍රැව හිමාවරණ ප්‍රදේශ අතර කාබන් ‍ඩයොක්සයිඩ් චක්‍රීකරණය මගින් ඍතු සුළං ජනනය කෙරේ. ඒවායින්, එම ප්‍රදේශ ආශ්‍රිතව මෙන්ම ග්‍රහ ලෝකය පුරාවට ධුලි කුණාටු නිපදවෙයි. එම ධුලි යළි තැන්පත් වන විට මතුපිට පෙනුම වෙනස් විය හැකිය.

අඟහරු වායුගෝලීය පෘෂ්ඨ පීඩනය පෘථිවියේ මෙන් 1% කට වඩා අඩු බව කලින් ද සඳහන් කෙරිණ. වායුගෝලයේ සංයුතිය ගතහොත් 95%ක් කාබන් ඩයොක්සයිඩ් වන අතර නයිට්‍රජන්, ආගන් සහ ඔක්සිජන් ශේෂ මාත්‍ර වශයෙන් ඇත. ග්‍රහ ලොව උණුසුම්වීමට කාබන් ඩයොක්සයිඩ්, ඉංග‍්‍රීසියෙන් greenhouse effect යනුවෙන් දැක්වෙන හරිතාගාර ආචරණය (බලපෑම) එකතු කරන්නේ සෙල්සියස් අංශක 5ක් පමණ ප්‍රමාණයකි. සමකය ආසන්නයේ දිනපතා උෂ්ණත්ව පරාසය සෙල්සියස් ඍණ අංශක 100 සිට සෙල්සියස් අංශක 17 අතරය.

අඟහරු ලොව මතුපිට හෙවත් පෘෂ්ඨය, එහි භූ විද්‍යාත්මක අතීතය පිළිබඳ ඉඟි සපයන වැදගත් ලක්ෂණ ගණනාවකින් යුක්තය. ග්‍රහක ආදී අභ්‍යාවකාශ වස්තූන් පතිත වී ඝට්ටනය වීමෙන් මතුපිට ‍ඇති වී තිබෙන ආවාට එක හා සමාන ලෙස පැතිරී නැති බව අඟහරු ගෝලීය සමීක්ෂක බමන යානයෙන් ලැබෙන තොරතුරුවලින් පෙනී යයි. එවැනි ඝට්ටන වලින් බොහොමයක් අඟහරු ලොව මුල් යුගයට (ඒ කියන්නේ වසර බිලියන හතරකට පමණ පෙර) අයත් ඒවාය.

අඟහරු ලොව තාසිස් උස් බිම් ප්‍රදේශයේ මළ යමහල් ගණනාවක්ම ඇත. මේ මුළු සෞර ග්‍රහ මණ්ඩලයෙහිම විශාලතම යමහල වන ඔලිම්පස් මොන්ස් (Olympus Mons ) ඒ අතර වෙයි. එහි උස කිලෝමීටර් 26ක් (සසඳන්න = එවරස්ට් මුදුනෙහි උස කි.මි.8.85 කි) වන අතර පළලින් ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපදයේ ප්‍රමාණය පමණ වේ. ඔලිම්පස් මොන්ස් යමහල එතරම් විශාල වන්නට හේතු කිම? පෘථිවියෙහි සමාන භූස්තර චලන අඟහරු ලොවෙහි නැත. පෘථිවියෙහි පෘෂ්ඨීය චලනයන් ප්‍රවාරණ දුම් ගොටුවලින් ඇතිවන ඝට්ටනය පතුරන හෙයින් පෘථිවියේ යමහල් දූපත් දාමයක් සේ ඇතත් අඟහරු ලොව ඇත්තේ එක් විශාල යමහලකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.