අර්ජුන් මන්ද සාක්ෂි දෙන්න අදිමදි කරන්නේ?

arjun-aloysiusපර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ (11 දා) දැඩි ලෙස විරෝධය පළ කළ අතර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඒ වන විටත් ඔහුට සිතාසියක්‌ මගින් දැනුම්දී ඇතැයි කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවසීය.

ඒ අනුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා හෙට (13 දා) පෙරවරු 10.00 ට කොමිසම හමුවේ අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බවද සභාපති චිත්‍රසිරි මහතා කීවේය.

අපි ඒ දැනුම් දීමේ නියෝගය නිකුත් කළේ අද උදේ කොමිසමේ ලේකම්වරයා මගින් නොවේ. ජනාධිපති කොමිසමේ සභාපතිගේ රෙගුලාසිවලට අනුව පිස්‌කල් නිලධාරියකු මගින් නොතිසියක්‌ ඔහුට භාර දුන්නා. ඒ නියෝගයට අනුව ඔහු කොමිසම හමුවේ පෙනී සිටිය යුතුයි. නියෝගයට අවනත නොවී කොමිසමට පැමිණීම පැහැර හැරියහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට ඔහුට සිදුවන බවද කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවීම නොකළ යුතු බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා නීති තර්ක මතු කරමින් දීර්ඝ වෙලාවක්‌ කරුණු ඉදිරිපත් කළ අතර කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ඒ සියලු කරුණු සලකා බලා හෙට ඒ පිළිබඳ සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතායි. මින් ඉදිරියට තමා තවත් නීතිඥවරුන් කීපදෙනකු සමඟ ඇලෝෂියස්‌ වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ ප්‍රථමයෙන්ම කොමිසමට දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවනවා දැයි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ප්‍රථමයෙන් කොමිසමෙන් විමසීය.

ඔව් අපි ඔහු සාක්‍ෂියට කැඳවනවා යයි කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවනවාට විරුද්ධත්වය පළකරන බව කියා සිටි ගාමිණී මාරපන මහතා විරුද්ධවීමට ඇති හේතු ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය.

කොමිසමෙන් ඔහුට ඒ සඳහා අවසරය ලැබිණි.

ජනාධිපති නීතිඥවරයා ප්‍රථමයෙන්ම කියා සිටියේ තම සේවා දායකයා වන අර්ජුන් ඇලෝෂියස්‌ කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැමැත්තක්‌ නැති බවයි. නඩුවක සාක්‍ෂියක්‌ දීමට අකමැත්තක්‌ දක්‌වන පුද්ගලයකු බලෙන් සාක්‍ෂියට කැඳවීමට අධිකරණයකට හෝ කොමිසම් සභාවකට නීතියෙන් බලයක්‌ නැති බවත් සාක්‍ෂියක්‌ නොදී නිශ්ශබ්දව සිටීමට චූදිතයකුට පමණක්‌ නොව ඕනෑම පුද්ගලයකුට අයිතියක්‌ ඇති බවත් එය පුද්ගලයකුට හිමි මූලික අයිතියක්‌ බවත් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා කොමිසම හමුවේ දෙන සාක්‍ෂිය ඉදිරියේදී වෙනත් උසාවියක පැවැත්වෙන නඩු විභාගයකදී ඔහුට එරෙහිව පාවිච්චි කිරීමට හැකිවීමෙන් ඔහුට අගතියක්‌ සිදුවිය හැකි බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා කීය.

අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසම හමුවේ කියා සිටියේ සිදුවී ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාවට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පුද්ගලයා හැටියට කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්‍ෂිවලින් ප්‍රකාශ වූ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවීම අනිවාර්යයෙන්ම කළ යුතු බවයි.

බැඳුම්කර වංචාවට අදාළව වැදගත් කරුණු රාශියක්‌ ඔහුගෙන් හෙළිකර ගත හැකිවනු ඇති බවත් එම වංචාව සිදුකිරීමට හවුල් වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සහ තවත් පුද්ගලයන් ඇත්නම් ඒ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් කොමිසමට සහය වීමට හැකි වෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවන්නේ නැත්නම් මේ කොමිසමෙන් කිසිදු ඵලක්‌ නැහැ. කොමිසමට පැවරී ඇති කාර්යභාරය නිසියාකාරව ඉටුවනවාද? අර්ජුන් ඇලෝසියස්‌ කොමිසම හමුවේ කියන්නේ මොනවා දැයි දැනගන්න ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඔහු පමණක්‌ නොවේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාත් සාක්‍ෂියට කැඳවිය යුතුයි. එසේ නොවුණොත් කොමිසමත් හෑල්ලුවට ලක්‌වෙනවා. සාධාරණ යුක්‌තිය කොමිසමෙන් ඉටුනොවන බවට ජනතාව තුළ හැඟීමක්‌ ඇති වෙනවා.

බැඳුම්කර වංචාව ගැන පරීක්‍ෂණ පවත්වන්න කොමිසම පත් කළේ ජනාධිපති. එසේ කළේ ජනතාවගේ ඉල්ලීමක්‌ සපුරාලීමටයි. බැඳුම්කර වංචාව සිදුවී ඇත්තේ කෙසේද ඊට වගකිවයුත්තන් කවුද, සිදුවී ඇති වැරැදි මොනවා ද වැරැදි කර ඇත්තේ කවුද මෙය කිසිවකුට දඬුවම් කිරීමට පත් කළ කොමිසමක්‌ නොවේ. සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පමණයි යෑයි ද අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!