අලි හොරු ගැන මහ නා හිමිවරු කණස්සල්ලෙන්

බලවතුන් හොර අලි තබා ගැනීමෙන් ගැටලු රැසක් - මහ නාහිමිවරුන්   

රාජ්‍ය අනුග්‍රහය පවා ඇති ඇතැම් බලවත් පිරිස් පසුගිය කාලයේ වනගත අලි, ඇත් පැටවුන් අල්ලා ව්‍යාජ බලපත්‍ර සකස් කොට එම සතුන් තමා සන්තකයේ තබා ගැනීම හේතුවෙන් වර්තමානයේ ගැටලු රැසක් පැන නැඟී ඇති බව මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් සඳහන් කළහ.

මේ හේතුකොටගෙන නීත්‍යනුකූල බලපත්‍ර සහිතව අලි ඇතුන්ගේ හිමිකාරිත්වය දරන පිරිසටද විවිධ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවද උන්වහන්සේ පැවැසූහ.

ශ්‍රී ලංකා හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ හා හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් ඊයේ (10) දින නාහිමිවරුන් වහන්සේ දෙනම බැහැදුටු අවස්ථාවේදී මහනායක හිමිවරුන් දෙපල මේ බව පවසා තිබේ.

පසුගිය කාලයේ ඇතැම් බලවත් පුද්ගලයන් බලපත්‍ර කිසිවක් නොමැතිව විරෝධී අයුරින් අලි ඇතුන් ළඟ තබාගෙන සිටි බවත් එබඳු පුද්ගලයන් සහ ඔවුන් සන්තකයේ ඇති සතුන් අත්අඩංගුවට ගැනීම වරදක් නොවන බවත් මහ නාහිමිවරු දෙනම සඳහන් කළහ.

පසුගිය සමයේ අලි හොරකම් රැසක් වාර්තා වූ බවත් වෙන එකක් තබා වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොත අතුරුදන් වූ බවත් බලවත් පිරිස් නීති විරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගත් බව රහසක් නොවන බවත් මේ ගැටලු සියල්ල උද්ගත වූයේ මෑත වකවානුවේ බවත් මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සඳහන් කළහ.

මෙහිදී අදහස් පළකළ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ, ධනය හා බලය ඇති පිරිස් සිදුකරන සොරකම් වංචනික ක්‍රියා හේතුවෙන් ගෞරවනීය ආකාරයෙන් අලි ඇතුන් ආරක්ෂා කරන සත්ත්ව හිමිකරුවන්ද අපහසුතාවට පත්ව ඇති අතර පෙරහර සංස්කෘතිය ආරක්ෂා කිරීමට විශේෂයෙන් අලි ඇතුන් අවශ්‍ය බවට ඇතැමුන් සඳහන් කළත් ඒ අය පෙරහර මංගල්‍ය සඳහා අලි ඇතුන් ලබා දෙනුයේ විශාල මුදල් අයකර බවද සඳහන් කළහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.