අස්ගිරි මහනාහිමි ප්‍රකාශය ප්‍රශ්න කරන සුනිල් විජේසිරිවර්ධන

sunilමහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ජූනි 20 දා රජය වෙත නිකුත් කර ඇති නිවේදනය දැක මහත් සංවේගයට පත් වූයෙමි.
කරුණු විද්‍යානුකූලව හෙවත් බෞද්ධ දර්ශනයට එකඟව පරීක්ෂා කර බලා නිකුත් කරන ලද ප්‍රකාශයක් ද ? නො එසේනම් ජනප්‍රිය දැනුම් / මතවාද රාමුවේ ම සිරවී කරන ලද ප්‍රකාශයක් ද ? එම නිවේදනයේ අඩංගු ප්‍රකාශන ක්‍රමය මෙන්ම සමස්ත ප්‍රකාශිතයම බෙහෙවින් ප්‍රශ්නකාරී බව පටු අනන්‍යතා රාමු හෙවත් මතවාදී රාමුවලින් නිදහස් ‘යථාවාදී තථාකාරී’ මනසකට දැනෙනු ඇත.
මෙහි ලා ඔබගේ අවධානය එහි එන එක් කරුණක් වෙත පමණක් යොමු කරමි
‘ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂූවගේ ආවේගකාරි හැසිරීම් රටාව සහ අදහස් ප්‍රකාශන ශෛලිය අප කිසිසේත් අනුමත නොකරන මුත් උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන්නෙමු .’’ යනුවෙන් උක්ත නිවේදනය කියා සිටියි . බටහිර /නූතන විද්‍යාත්මක ක්‍රමයට අනුව නම් යමක ස්වභාවය ‘අකෘතිය සහ අන්තර්ගතය ‘/ ප්‍රකාශනය සහ ප්‍රකාශිතය වශයෙන් දෙකට කැඩිය හැකිය. මේ අනුව ප්‍රකාශන ක්‍රමය සහ සංදේශය දෙකක් වශයෙන් පවතී . නමුත් මා දන්නා බෞද්ධ විමසුම් ක්‍රමයට අනුව නම් එසේ සංසිද්ධියක් දෙකට කැඩීම සහ කඩන ලද කොටස් සත්‍ය ලෙස භාර ගැනීම අවිද්‍යාවට බර , අඩු තරමින් ළපටි නොමේරූ ලෙස ගත යුතු ක්‍රමයකි . බුදුන් වහන්සේගේ හැසිරීම උන්වහන්සේගේ සංදේශයේම කොටසක් නොහොත් ‘ප්‍රකාශනයක් ” විය. උන්වහන්සේ එවකට ලෝකයේ පැවති මිනිසුන් විවිධාකාර ලෙස බෙදා වෙන්කරන ඉතා බලවත් සම්ප්‍රදායයන් සමග එකඟ නොවුනාහ. එබැවින් එම භේදකාරී මතවාදයන් ගේ ප්‍රකාශන ක්‍රමයන් ද සමතික්‍රමණය කළහ. මිනිසෙකුට අනෙක් මිනිසෙක්ව තමා සේම මිනිසෙක් ලෙස නොපෙනීම ‘ දිට්ඨි රෝගයක් ‘ බවත් ඊට හේතුව අර කී භේදකාරී මතවාද බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. එබැවින් එම මතවාද විසින් ජනනය කරන ප්‍රචණ්ඩ මාර්ගයට සපුරා දුරස්ව යන මගක උන්වහන්සේ පියවර තැබූහ. (ඇත්ත වශයෙන් උන්වහන්සේ බෝසත් සිදුහත් යුගයේ දී වත් ලොව සමග කලහකාරී ලෙස ගැටුනු බවට කිසිම ලකුණක් වාර්තා නොවේ.) ඉදින් උන්වහන්සේගේ ධර්මයේ ලා යෝජනා කෙරෙන්නේ ප්‍රඥාවන්තයා ලොව සමග දක්වන සියලු සම්බන්ධතා මෛත්‍රිය, මුදිතාව , කරුණාව , උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විවරණ විසින් සකස් වන බවයි . ඥානසාර භික්ෂූවගේ ආවේගකාරි හැසිරීම් රටාව සහ අදහස් ප්‍රකාශන ශෛලිය ධර්මානුකූල නොවේ නම් ප්‍රකාශිත මතවාදය ධර්මානුකූල වන්නට නුපුළුවන

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.