අහස පොළව නුහුලන දිවුලපිටිය පොලිස් මිනීමැරුම

Divulapitiya Policeදිවුලපිටියේ පොලිසියේ අපරාධ අංශයේ පොලිස් ඝාතකයන් පිරිසක් විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුට තිරිසන් ලෙස පහර දීම නිසා මිය යෑම සරල සිදුවීමක් ලෙස සලකා යට ගසා දැමීමට සූදානම් වේ.

ධනවත් නිවසක මුරකරුවෙකු ලෙස රැකියාව කළ අයෙකු වූ කැලෑපිටිමුල්ල හුණුමුල්ල පදිංචි කයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නමැති වයස අවුරුදු 50 ක් වූ අය දිවුලපිටිය පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නේ පසුගිය 2 වැනි දා ය. ඔහු සේවය කළ නිවසේ වටිනා භාණ්ඩ අතුරුදන්වීමේ සිද්ධියක් මත අදාළ ගෙහිමි කාන්තාව පොලිසියට පැමිණිලි කරමින් සොරකම සම්බන්ධයෙන් මුරකරු සැක යැයි පවසා ඇත.

මේ සැකය මත මිස වෙනත් කිසිදු සාක්ෂියක් නොමැතිව දිවුලපිටිය පොලිසිය ගාමිණී එඩ්වඩ්ගේ නිවසට පැමිණ ඔහු අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගොස් වරද පිළිගන්නා ලෙස බල කරමින් පහර දී තිබේ. තමන් නොකළ වරදක් පිළිගැනීම ඔහු විසින් ප්‍රතික්ෂේප කළ පසුවත් වරින් වර පහර දී සොරකම පිළිගැනීමට බළ කර ඇත.

 

විනිසුරුවරයා

2 වෙනිදා අත් අඩංගුවට ගත් ගාමිණී එඩ්වඩ් පසුදා 3 වැනි දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ද ඔහුට පොලිසියේ දී පහරදී ඇතැයි විනිසුරුට දන්වන ලද නමුත් විනිසුරුවරයා එම අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නැත. විනිසුරුවරයාට එම අවස්ථාවේ දීම සැකකරුවා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමට තිබිණ.

ගාමිණී එඩ්වඩ් මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරයට යැවීමෙන් පසුව නිවසේ ඥාතීන් ඔහු බැලීමට ගියද බලන්නට දී නැත. වාර්තා වන්නේ ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහු රිමාන්ඩ් භාරයේ සිටිය දී ද වරින්වර පහරදී වරද පිළිගන්නා ලෙස බල කර ඇති බවයි. විනිසුරුවරයා මුල් අවස්ථාවේ දීම අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකෙළේ නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ දී දෙවන වටයේ පහර දීම සිදුනොවන්නේය.

කෙසේ වෙතත් බන්ධනාගාරයේ දී ඔහු අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති අතර 04 දින උදෑසන බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කර ඇති නමුත් තත්ත්වය යහපත් නොවූ බැවින් ඔහු වහා මීගමුව රෝහලට ඇතුළත් කරන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා නිර්දේශ කර ඇත. ඒ අනුව මීගමුව රෝහලට ඇතුළත් කරන්නට උත්සාහ කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව මීගමුව රෝහල් ආරංචි මාර්ග කියයි. එනම් රෝහලට රැගෙන ගොස් ඇත්තේ මළ සිරුරය.

 

නොකළ වරදක්

පොලිසිය සහ බන්ධනාගාරය විසින් අමු අමුවේ ඝාතනය කරන ලද ගාමිණී එඩ්වඩ්ගේ දියණිය සාක්ෂි ලෙස කියන්නේ, නොකළ වරදක් පිළිගන්නා ලෙස බල කරමින් පොලිසිය පහර දුන් බව මිය යාමට පෙර පියා තමාට ප්‍රකාශ කළ බවයි.

දැන් මේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියේ පසු හැසිරීම දැඩි ප්‍රශ්නකාරී ය. ප්‍රථමයෙන්ම මෙහි මරණ පරීක්ෂණය ඊට පසුදා එනම් 5 වෙනිදා සිදුකළද එහි වාර්තාව ලබා දීම 10 වෙනිදා දක්වා කල් දමා තිබේ. කෙසේ වෙතත් ශරීර අභ්‍යන්තරයේ සිදුව තිබූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇතැයි විශේෂඥ වාර්තාවේ ඇතැයි නිල නොවන ආරංචි පැවසුවද මෙකී මරණ පරීක්ෂණය සිදුකෙළේ මීගමුවේ ඒඑස්පීවරයා යටතේ වීම සාධාරණ නැත.

සිද්ධියෙන් පසු දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ප්‍රියංකර නමැත්තා අත් අඩංගුවට ගෙන ඇතත් එදින ගාමිණී එඩ්වඩ්ට පහර දුන් අනෙකුත් පොලිස් නිලධාරීන් පෑලියගොඩ පොලිසියට මාරු කිරීම පමණක් සිදුකර තිබේ. සමන් ප්‍රියංකර සේම ඔවුන්වද වහාම අත් අඩංගුවට ගත යුතු නමුත් එය සිදුකර නැත. රිමාන්ඩ් බන්ධනාගාරයේ දී පොලිස් නිලධාරීන්ට පහර දීමට ඉඩ ප්‍රස්ථා හදා දුන් බන්ධනාගාරයේ කිසිවෙකු අත් අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් හෝ මෙතෙක් සිදුව නැත. සිද්ධිය ඇදෙන්නට ඉඩ හැර පොලිස් සහ බන්ධනාගාර සටහන් වෙනස් කරමින්, සාක්කි මකා දමමින් පොලිසිය සිදුකරන ලද තවත් අමු මිනිස් ඝාතනයක් යටපත් කර දැමීමට සූදානම් වන බව වෙත තොරතුරු වාර්තා වේ.

පොලිස්පතිවරයා විසින් සිදුකරන ලද අපරාධයක් පිළිබඳ වීඩියෝ සාක්කි පවා ඉදිරිපත් කර තිබියදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් යහපාලන ආණ්ඩුව මෙවැනි පහල පොලිස් අපරාධ වලට දුන්නේ තල්ලුවකි. ගුරා එළිපිට කරද්දී ගෝලයෝ දුව දුවා කරති. සමාජය මේ භුක්ති විඳින්නේ එහි ප්‍රතිඵලයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.