ආණ්‌ඩුව හකුළා ගෙන දැන් ඉතින් ගෙදර යනු

mahinda rajapaksaඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා හා මහ මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්‌ෂය ඇතුළු සියලු දේශපාලන බලවේග සමග පොහොට්‌ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ට පැවසීය.

එම මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්‌ෂය තව ශක්‌තිමත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව පොදුජන පෙරමුණට අයත් දේශපාලන පක්‌ෂ නායකයන් සමග මේ දිනවල සාකච්ඡා කරමින් තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

“ආණ්‌ඩුව හකුළා ගෙන දැන් ඉතින් ගෙදර යනු” යන තේමාව යටතේ රට පුරා ජනතා රැලි මාලාවක්‌ පැවැත්වීමටත් එහි පළමුවැන්න ලබන 7 වැනිදා නුගේගොඩින් ආරම්භ කරන බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

මේ ආණ්‌ඩුවේ අර්බුදකාරී තත්ත්වය තවත් වර්ධනය වෙනවා මිස ඒවා සමථයට පත් වීමක්‌ පෙනෙන්නට නැති බවත් පැවැසූ හිටපු ජනාධිපතිවරයා ආණ්‌ඩුවේ මෙම දේශපාලන අස්‌ථාවර භාවය හේතුවෙන් රටේ ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බවත් ඒ මහතා පැවැසීය.

දේශපාලන, ආර්ථික වශයෙන් කඩා වැටී ඇති මේ ආණ්‌ඩුවට රට ගොඩනැගීමට ස්‌ථිර වැඩපිළිවෙළක්‌ නැති බැවින් රට තවත් අගාධයට යමින් තිබෙන බවත් ඒ මහතා කීය.

රුපියලේ අගය ශීඝ්‍ර ලෙස බාල්දු වීම හේතුවෙන් බඩු මිල අධික ලෙස ඉහළ ගොස්‌ ජනතාව ජීවන බරින් මිරිකී සිටින අතර රටේ තරුණ පිරිස විරැකියාවෙන් සිටින බවත් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්‌ඩුව ගෙන යන ජාතික සම්පත් විකිණීමේ වැඩපිළිවෙළට එරෙහිව ජනතාව ඡන්දය ප්‍රකාශ කළත් ආණ්‌ඩුව එම වැඩපිළිවෙළ අත් නොහැර ජනතා මතයට කන් නො දී ඉදිරියටත් කර ගෙන යන බවත් එම වැඩ පිළිවෙළ පරාජය කිරීම අපේ එකම අරමුණ බවත් ඒ මහතා සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.