ඇමති ජෝන් විශ්වාශ නැහැ-සන්ධාන මන්ත‍්‍රීවරුන් 114 දෙනෙකු කියති

 

 

 

downlojohn

මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමති ජොන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව විපක්ෂය විසින් අද පස්වරුවේ දී පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දී තිබේ.

 ඊට සන්ධාන මන්ත‍්‍රීවරුන් 114 දෙනෙකු අත්සන් තබා ඇත.

විපක්ෂයේ ආධාරකරුවන්ට දිගින් දිගටම එල්ලවන  ප්‍රහාර වැළැක්වීමට නොහැකිවීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම විශ්වාස භංගය ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව පහත පළවේ.

ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

ගරු කථානායකතුමනි,

මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ජෝන් ‍අමරතුංග මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව

මෙහි පහත අත්සන් කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපි වත්මන් රජයේ මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන පහත සඳහන් විශ්වාස භංග යෝජනාව  පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

යෝජනාව,

නීතිය හා සාමය සුරැකීමේ වගකීමත් හා නීතිය සෑම පුරවැසියාටම සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීමත්, නීතිය  ක්‍රියාත්මක කිරීමේදී පක්ෂග්‍රාහීත්වයෙන් තොරව පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන නිසි ලෙස මෙහෙය වීමෙන් දේශපාලන පක්ෂ භේදයන්ගෙන් හෝ පුද්ගලයින්ගේ තරාතිරම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කරවීමේ වගකීමත් එසේ නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම්, මෙවැනි නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමේ වගකීමත් පැවරෙන මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු  අමාත්‍යාංශයේ වර්තමාන අමාත්‍යවරයා වන ජෝන් අමරතුංග මහතා

(අ)    සිය ධූරය භාරගත් දිනයේ සිට මේ දක්වා තමා වෙත පැවරුණු එකී වගකීම් සාධාරණව හා අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බව පැහැදිලිව පෙනී යන හෙයින්ද,

(ආ)    ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාශ රාශියක ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින් ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා අහිංසක වෘත්තීය  සමිති නායකයින්ට හා ක්‍රියාකාරීන්ට එරෙහිව විරුද්ධ දේශපාලන පක්ෂ විසින් පක්ෂ ආධාරකරුවන් හා ප්‍රාදේශීය නායකයින් විසින් දියත් කරන ලද ප්‍රචණ්ඩත්වය තුළින්  සිදුවූ ජීවිත හානි, සිදුවූ ශාරීරික හානි හා දේපළ හානි පිළිබඳව නිසි ලෙස පරික්ෂා කොට චූදිතයින් අධිකරණය හමුවට ගෙන ඒමට පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙහෙයවීම පැහැර හරිමින්,  පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බව පැහැදිලිව පෙනෙන හෙයින්ද,

(ඇ)    ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වත්තල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවැත්වූ 2015 ජනවාරි 30 දින එම ස්ථානයට  පැමිණ පිළිගැනීමේ  රැස්වීමක් පැවැත්වීමේ ස්වරූපයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්  එම ස්ථානයට කැඳවා ඔවුන් කුපිත කරවන කතාවන් පැවැත්වීමට සලස්වා ඉන් අනතුරුව මැරවරයින් පරිසක් ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම පැවති සභා ගර්භයට නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් ඇතුලු වී  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති වරයා ඇතුලු මනත්‍රීවරුන්ට පහරදී ඔවුන් රෝහල් ගත කරනලද මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම උසස් පොලිස් නිලධාරීන් නිහඩව බලා සිටියදී සිදුවූ බව  පැහැදිලිවම තහවුරු වී ඇති නිසා මෙවැනි බරපතල  සිද්ධියක් ගරු ජෝන් අමරතුංග අමාත්‍යතුමා දේශපාලන නායකත්වය ලබා දෙන වත්තල මැතිවරණ කොට්ඨාශය තුළ සිදුවූයේ එතුමාගේ වක්‍ර සහයෝගය හා අනුබලය නිසා  බව පැහැදිලිවම පෙනෙන හෙයින්ද, එයට අදාළව නීති විරෝධි ක්‍රියාවල නිරත වූ මැරවරයින් අත්අඩංගුවට ගෙන යථා පරිදි කටයුතු කිරිමට පොලිසිය අපොහොසත් වූ හෙයින්ද, විශේෂයෙන් අධිකරණයට ඉදිරිපත් කරනලද සමහර  සැකකරුවන් එදිනම ඇප මත මුදා හැර ඇති බව වාර්තා වන හෙයින්ද, මෙවැනි බරපතල අපරාධවල නිරත වූ සැකකරුවන් එසේ වහාම ඇප මත මුදාහරින ලද්දේ දේශපාලන බලපෑම්  මත බව පැහැදිලිව පෙනෙන හෙයින්ද,

(ඈ)    තලවකැලේ පොලිස් වසමේ, ග්‍රේඩ් වෙස්ටන් ගල්කන්ද වත්තේ විසූ මනෝජ් නැමැති පුද්ගලයා තලවකැලේ පොලීසිය විසින්  අනවශ්‍ය ලෙස ලුහුබැඳීම නිසා බියට පත්වී ජලාශයට පැන මිය ගිය අවස්ථාවේදී පොලීසිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවූ බව පැවසූ විට, අහිංසක වතු කම්කරු  ජනතාවගෙන් පලිගැනීමේ චේතනාවෙන් පොලීසිය ක්‍රියාත්මක වන අවස්ථාවේ අමාත්‍යාංශයේ ප්‍රධානියා වශයෙන් ජෝන් අමරතුංග මැතිතුමා , ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු  සම්පාදනය නොකර, එය පසෙක තබා මේ සිද්ධිය සම්බන්ධයෙන්  උද්ඝෝෂණ කළ අහිංසක වතු කම්කරු ජනතාව මේ වන විට අත්අඩංගුවට ගනිමින් සිටින බැවින්,   ඔවුන් තවදුරටත් පීඩාවට ලක්ව ඇති හෙයින් ද,

(ඉ)    මීට අමතරව උසාවිවල විනිසුරුවන් පවා සිය විනිශ්චය ආසනවලින්   බලහත්කාරයෙන් ඉවත් කිරීමට පෙළඹවූ  පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමට පොලීසිය අපොහොසත් වූ නිසා මෙවැනි සිද්ධීන් ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, මෙම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ ඇති පොලීසිය ඉතා ඇල්මැරුණ තත්ත්වය මෙම සාහසික ක්‍රියාව පිළිබඳව දන්වා ඇති බව පැහැදිලිවම පෙනී යන හෙයින්ද, සමස්ථයක් ලෙස රටේ බොහෝ ප්‍රදේශ නීතියේ  ආදිපත්‍ය බිඳවැටී  කැලෑ නීතිය රජ කරන යුගයකට අවතීරණ වන බවක් පෙනී යන හෙයින්ද,  සමහර පොලීසි මගින් පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ පැමිණිලි භාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින්ද,

මෙකී සමස්ථ කාරණා සැළකිල්ලට ගැනීමේදී මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පක්ෂග්‍රාහී ලෙස කටයුතු  කර ඇති  බවටත් නීතිය හා සාමය රැකීම සඳහා අවශ්‍ය උපදෙස් හා ක්‍රියාමාර්ග ගැනීමට නායකත්වය ලබා දීමට  අපොහොසත් වී ඇති බවත් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව කරන ලද අඩත්තේට්ටම් වලදී  නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට  අපොහොසත් වී ඇති බවත් පැහැදිලිවම පෙනී යන හෙයින්

මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට තවදුරටත්   මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ, අමාත්‍යවරයා  වශයෙන් කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

මෙයට ,

පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ නම                    අත්සන

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.