ඒකාබද්ධය උද්ගෝෂණ වැඩි කරයි

strikeත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පිහිටුවා ඉකුත් රජය යටතේ වූ බව කියන වංචා, දූෂණ හා අපරාධ නඩු විභාග කිරීමට රජය තීරණය කර ඇත. මේ තීරණයට සමාන්තරව ඒකාබද්ධ විපක්ෂය තම උද්ගෝෂණ වැඩි කිරීමට කටයුතු යොදා ඇත.

රජය නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව නීතිපති ජයන්ත ජයසූරිය අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. අගවිනිසුරුවරයා මෙම සතියේදී එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කරනු ඇතැයිද දැන ගන්නට තිබේ.බොහෝ දුරට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත්කරනු ඇතැයිද වාර්තා වේ.

ඉකුත් රජය සමයේ වූ බව කියන වංචා, දූෂණ හා අපරාධ සාමාන්‍ය නඩු ක්‍රමයට යාම තුළ ප්‍රමාදයක් ඇතිවන නිසා මෙය විශේෂ කටයුත්තක් සේ සලකා මෙලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කොට එක දිගට නඩු විභාග කර තීන්දු ලබාදීමට නියමිතය.

විජේදාස ගේ නික්මයාම තීන්දුයි

ආචාර්ය විජයදාස රාජපක්ෂව අධිකරණ ඇමැති ධුරයෙන් පමණක් ඉවත් කිරීමේ තීරණයක් පක්ෂය විසින් ගනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය නොරැකීම හා අධිකරණ විෂය පථයේ පවතින දුර්වලතා හේතු කොටගෙන මෙලෙස ඔහුගේ අධිකරණ ඇමැති ධුරය ඉවත් කෙරෙනු ඇත. විජයදාස රාජපක්ෂට බුද්ධ ශාසන ඇමැති ධුරය පමණක් ඒ අනුව හිමි වනු ඇති බව පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කීවේය.

විජයදාස රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත්ව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කොට වාර්තා කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත් කෙරුණි. ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම (එජාප සභාපති), මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර හා කම්කරු රාජ්‍ය ඇමැති රවින්ද්‍ර සමරවීර යන අයගේ වාර්තාව සඳුදා පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත බාරදීමට නියමිතය. ඒ අනුව ඇමැතිවරයාට එරෙහිව චෝදනා පත්‍ර භාරදීමට නියමිත බවත් ඉන් පසුව ඔහුගේ අධිකරණ ඇමැති ධුරය ඉවත් වනු ඇති බවත් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. චෝදනා පත්‍ර බාරදීමෙන් පසු විජයදාස රාජපක්ෂ සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට නියමිත බවද අධිකරණ ඇමති තනතුර සඳහා ජයම්පති වික්‍රමරත්න සහ අජිත් පෙරේරා ගේ නම යෝජනා වී ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ සායම

නීතිපති දෙපාර්තමේන්තුව මගින් දිගින් දිගටම විශේෂ නඩු ප්‍රමාද කරන බවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයෙන් එල්ල වන චෝදනා නිසා දෙපාර්තමේන්තුව ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් වන තත්ත්වයක් මතු වී ඇති බවත්, ඒ සඳහා කඩිනමින් මැදිහත් නොවුණහොත් අනාගතයේ දී රජයේ නීතීඥවරුන්ට අධිකරණයේ දී බරපතළ අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වනු ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ජනාධිපතිවරයා, එසේ නීතිපති දෙපාර්තමේන්තුව අවමානයට ලක්කිරීම වහාම නතර කිරීමට අදාළ පියවර ගන්නා බව පවසා ඇත. ඒ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමු කරන බවත්, නීතිපති දෙපාර්තමේන්තුවට එවැනි කැළලක් ඇති වීම බරපතල තත්ත්වයක් බවත් ජනාධිපතිවරයා මේ ඉහළ නිලධාරීන්ට පෙන්වා දී තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.