කතන්දර අහන්න වේලාව නැහැ – රනිල් නිලධාරින්ට කියයි

ranil wickramasingheගංවතුර සහ නායයාමේ විපත්වලින් හානියට පත් ජනතාවට රජය ලබා දුන් මුදල් ගෙවීමට නොහැකි යයි කීවා නම් “හෙලිකොප්ටර තුනක් අරගෙන මුදල් පටවා ගෙන ගොස් ඕනෑම කෙනෙකුට අරන් වියදම් කරන්නැයි කියා බිමට දමන්නට තිබුණා.” යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල, මාතර, රත්නපුර සහ කලූතර දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට දෙහි කපමින් පසුගියදා පැවසීය.

රජය මුදල් ලබා දී තිබියදී ඔක්තෝම්බර් 10 වෙනිදා වෙන තුරුත් හානි වූ ගොඩනැගිලි ඉල්ලූම්පත් 1361 න් එකක් සඳහාවත් සත පහක් ගෙවා නොමැති වීම ගිනස් වාර්තාවක් යැයිද අගමැතිවරයා පැවසීය. “ඔබට බැරිනම් කියන්න මං වෙන කණ්ඩායමක් යොදවා ලබන මාසය වන විට අහවර කරන්නම්“ අගමැති කීය.

ගාල්ල, මාතර, රත්නපුර සහ කලූතර දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට සහභාගීත්වයෙන් පසුගියදා සීමාසහිත මොරවක්කෝරළයේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිති ශාලාවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ දෙහි කැපුවේය.

“මේ ප්‍රදේශයට බලපෑ ගංවතුර සහ නාය යාමේ විපත්වලින් පසුව මා මෙහි පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි. 2003 වසරේ මේ ප්‍රදේශයට ගංවතුර උවදුරක් ඇති වුණා. ඒ යුගයේ එම සහන කටයුතු අප කරු ජයසූරිය මහතාට බාර දුන්නා. මාස දෙකක් ඇතුළත ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා. 2003 වසර අවසන් වීමට පෙර අනෙක් වැඩ කටයුතු කළා පමණක් නොව, මා දෙනියාය, හිනිදුම යන ප්‍රදේශවලට පැමිණ නිවාස ව්‍යාපෘති කිහිපයක් ද විවෘත කළා.

එම වේගයෙන්ම අපට මේ වතාවේත් වැඩ කළ හැකි දැයි මා විමසිලිමත් වුණා. නමුත් අපට එම වේගයට වැඩ කටයුතු කිරීමට මෙවර නොහැකි වී තිබෙනවා. පළමුවෙන්ම මේ ගංවතුර උවදුර ඇති වූ අවස්ථාවේ දී කොළඹදී අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමට මට අවස්ථාව ලැබුණා. මෙම ගංවතුර තත්ත්වය ඇති වූයේ සති අන්තකයකදීයි. ජනාධිපතිතුමා ඉරිදා දින කලූතර, රත්නපුර ආදී ප්‍රදේශ කිහිපයකට පැමිණියා. මේ සියලූ මූලික කටයුතු මැයි මාසයේ දී අවසන් වුණා. ඒ මූලික වැඩ කටයුතු අවසන් වුවත් විසඳීම සදහා තවමත් ප්‍රශ්න රාශියක් ඉතිරි වී තිබෙනවා.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම ඇතුලූ අනෙකුත් සියලූම ප්‍රශ්න නොවැම්බර් මාසය අවසන් වීමට පෙර විසදිය යුතුයි. එය කළ හැකි නිශ්චිත දිනයක් මට ලබා දෙන්න. තවත් ඉදිරියට එම වැඩ කටයුතු පමා කරන්න එපා. මේ කටයුතු ඔබට කරන්නට බැරි නම් දැනුම් දෙන්න. මා ජනාධිපතිතුමන් සමග ද සාකච්ඡා කොට වෙනත් පිරිසක් යොදවා ඊළග මාසයේ දී ඒ වැඩ කටයුතු අවසන් කරන්නම්.

දැනට ලබා ඇති ප්‍රගතිය දෙස බලා ඉදිරි කටයුතු කෙසේ සිදු විය යුතු දැයි තීරණය කළ යුතුයි. වන්දි ගෙවීම්, ව්‍යාපාරිකයන්ට මුදල් ලබාදීම් මෙන්ම තේ වගාවන් සදහා මුදල් ලබාදීම පිළිබදව මා මීට පෙර සාකච්ඡා කළා. මේ වැඩ කටයුතු තුන නිසි පරිදි ඉටු කළා නම් පහසුවෙන්ම මේ ප්‍රදේශයේ ආර්ථිකය එක් වරම යථා තත්ත්වයට පත් වෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ නිවාස සහ ව්‍යාපාර සඳහා වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳව මුලින්ම අවධානය යොමු කරමු. මාතර දිස්ත්‍රික්කයේ හානි වූ ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 356 ක දැනට ගෙවිය යුතුව තිබෙනවා. ඒ සඳහා ඉල්ලූම්පත් 1361 ක් ලැබී තිබෙනවා. ඔක්තෝබර් 10 වැනි දා වන විට මේ අය ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. හානි වූ ගොඩනැගිලි ඉල්ලූම්පත් 1361 න් එකක් සඳහාවත් ගෙවීම් කර නැහැ. එම නිසා රුපියල් මිලියන 356 ක මුදලින් සතයක්වත් ගෙවා නැහැ.

ගෙවීම් සඳහා මෙතරම් ප්‍රමාදයක් සිදු වී ඇත්තේ ඇයි? ඒ සඳහා ජාතික රක්‍ෂණ භාර අරමුදල කරුණු දැක්විය යුතුව තිබෙනවා.

විපතට පත්වූ ජනතාව වෙනුවෙන් අප කඩිනම් සහන සැලසිය යුතුයි. ඔබේ නොයෙක් කතන්දර අසමින් කාලය ගත කරන්නට මට වෙලාවක් නැහැ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.