කතරගම ගිණිකෙලියේ සුලමුල අළුයට

katharagama-1රුහුණු මහා කතරගම දේවාලයේ බස්‌නායක නිලමේවරයා සහ කපුමහත්වරුන් අතර ඇති වු ආරවුලක්‌ දුර දිග යැම නිසා ඉතිහාසයේ පළමු වතාවට මහ දේවාලයේ ඊයේ (22) අලුයම පූජාව නොපැවැත්විණි.  මේ ගැටුමේ මුල් ඉතා ඈතට ඇදී යයි .ගැටළුව වන්නේ දේවාලයේ බලය ඇත්තේ කා අතද යන්න නොවේ. ගැටළුව වන්නේ එකිනෙකා සතු බලය පිළිබඳව වැටහීමක් නොතිබීමයි.

කතරගම කිරිවෙහෙර පුදබිමේ පිහිටි මහසෙන් සහ දැඩිමුණ්ඩ දේවාලවල කටයුතු කළ කපු මහත්වරුන් 18 දෙනෙකු කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ උපදෙස් පරිදි මීට පෙර ඉවත් කෙරින. දේවාලය ඉබි යතුරු දමා වසා තිබීම නිසා ඊයේ උදෑසන පූජාව පැවැත්වීමට නොහැකි වූ අතර එහි රැස්‌ව සිටි බැතිමත්හු දැඩි අපහසුතාවකට පත්ව සිටියහ.

කතරගම දේවාලයේ බස්‌නායක නිලමේවරයා සහ කපු මහත්වරුන් අතර ඇතිවී තිබූ අර්බුදයක්‌ දුරදිග යැම නිසා මහා දේවාලයේ ඊයේ උදෑසන දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබිණි. බස්‌නායක නිලමේවරයාගේ පාර්ශ්වය සහ කපු මහත්වරුන්ගේ පාර්ශ්වය අතර ඇතිවීමට ගිය ගැටුමක්‌ යන්තමින් වැළකී ගිය අතර උදෑසන මහ දේවාලයේ පූජාවට පැමිණි බැතිමත්හු තම පූජාවන් පැවැත්වීමට නොහැකි වීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව සිටියහ.

අර්බුදය දුර දිග යැම නිසා දේවාලයේ කපුවන් සහ ගම්වාසීන් විසින් සිදු කළ බව කියන පහරදීමකින් බස්‌නායක නිලමේවරයාගේ කාර්යාලයේ සේවකයෝ දෙදෙනෙක්‌ තුවාල ලැබූහ. ඔවුහු දෙදෙනා දෙබරවැව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිති. ප්‍රහාරයට ලක්‌ වූ සේවකයන් පොලිසියට පවසා ඇත්තේ දේවාලවල කපුමහත්වරුන් සහ තවත් පුද්ගලයන් දස දෙනකු පමණ එක්‌ව තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවයි. මේ සම්බන්ධයෙන් කතරගම පොලිසියේ පැමිණිල්ලක්‌ ද කර ඇති අතර පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. දේවාලයේ බස්‌නායක නිලමේවරයා සහ කපුමහත්වරුන් අතර ඇති වූ ආරවුල හේතුවෙන් ඊයේ උදෑසන 4.30 පූජාව නොපැවැත්වුවද උදෑසන 6.30 පූජාව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

kataragamaමේ අතර කතරගම දේවාලය සහ අවට ප්‍රදේශයට විශේෂ ආරක්‍ෂාවක්‌ ලබාදීමටද කතරගම පොලිසිය කටයුතු යොදා තිබිණි. මෙම අර්බුදය සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්‌නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා මෙසේ පැවසීය.

” මා ඊයේ උදෑසන දේවාලය විවෘත කිරීමට ගිය අවස්‌ථාවේ දේවාලයේ යතුර තිබුණේ නැහැ. පසුව මම යතුරක්‌ ගෙන දේවාලය විවෘත කරන්න ගියා. ඒ අවස්‌ථාවේදී ලාල් කියන කපු මහතා පැමිණ “ඔයාට තියෙන අයිතිය මොකක්‌ද දේවාලය අරින්න” කියලා බැන්නා. පසුව කපු මහතුන් දේවාලයේ ප්‍රධාන දොරටු වසා තැබුවා. පසුව මම මගේ නිල නිවසට ආවා.

මේ සම්බන්ධ අදහස් දැක්වූ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පැවසුවේ, කතරගම දේවාල ඉතිහාසයේ කිසිදු දිනයක නොවූ සිදුවීමක් වුණේ. මගේ තේවා මාසය අදින් අවසන්. අද අද දහවල් 12ට තමයි මම මාසය භාර දෙන්න හිටියේ. නමුත් බස්නායක නිලමේ කුමාරගේ මහතා පිස්තෝල අරන් ඇවිත් බලහත්කාරයෙන් දේවාලයේ යතුර පැහැර ගත්තා. කතරගම දේවාලයේ මාසයක් කපු මහතකුට දෙනකොට සම්ප්‍රදාය තමයි දේවාලයේ යතුර දේවාලයේදී භාර දෙන එක. මේ යතුර දුටුගැමුණු රජුගේ දවසේ සිට පැවත එන වස්තුවක්. ඒක තැන් තැන්වලට අරගෙන යන්න හොඳ නැහැ. නමුත් බස්නායක නිලමේට දෙවියන්ගේ හාල් කැවිලා පිස්සු හැදිලා අපේ අයිතීන් උල්ලංඝනය කරලා දෙවියන්ගේ ශාපයට ලක් වෙලා. මම ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලනවා මේ වැනි නිලමේවරුන් ගැන තීරණයක් ගන්න කියලා. ගමේ පන්සල් එක්ක රණ්ඩු වෙනවා. ගමේ ජනයා එක්ක රණ්ඩුවෙනවා. කපු මහතුන් එක්ක රණ්ඩු වෙනවා. මේවා මඟින් දේව ශාපයට රටම ලක් වෙනවා.

ගැටුම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ කපු මහතකු වන ලාල් රාපක්‍ෂ මහතා මෙසේ පැවසීය.

අද උදෑසන 4.30 පූජාව සඳහා මම දේවාලය අරින්න සොමිපාල ටී. රත්නායක කපු මහතා සමඟ ආවා ඒ එනකොට බස්‌නායක නිලමේ කුමාරගේ මහතා මැර පිරිසක්‌ හා ඔහුගේ පුතා සමඟ පැමිණ බලහත්කාරයෙන් යතුර පැහැරගෙන ගියා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කතරගම දේවාලයේ පූජාව පැවැත් වූණේ නැත්තේ. මේක රටට හොඳ නැහැ. පූජාව තැබීමට බැතිමතුන් ගොඩක්‌ ඇවිත් සිටියා. මේ වගේ බස්‌නායක නිලමේවරයෙක්‌ අපි ජීවිතේට දැකලා නැහැ.

එම අවස්‌ථාවේ කතරගම පුදබිමට පැමිණ සිටි බැතිමත්හුද පූජාව තැබීමට නොහැකිවීම පිළිබඳව දෙස්‌ දොවොල් තැබූහ. එහි සිටි ඇතැමුන් පැවසූවේ බස්‌නායක නිලමේ සහ කපුවන් අතර අර්බුදයට බැතිමතුන් පළිහක්‌ කර ගැනීම හොඳ නැති බවත් ජනාධිපතිවරයා කතරගම අර්බුදය පිළිබඳව සොයා බලා තීරණයක්‌ ගත යුතු බවත්ය.

දේවාලයේ පූජාව නොපැවැත්වීම නිසා උරණ ව ගම්වැසියන් උදෑසනම කතරගම දේවාල භූමියට පැමිණ කපු මහත්වරුන්ගේ පවුල්වල ඥාතීන් සමඟ බස්‌නායක නිලමේ මැඳුරට ගොස්‌ නිලමේවරයාට පහර දීමට තැත් කර යතුර ලබා ගෙන මහා දේවාලයේ පූජාව පැවැත්වීමට ක්‍රියා කර ඇත.

කතරගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.