කරුණා සමනලයෙකි-ශාන්තිනී

කරුණා කියන්නෙ සමනළයෙක් – කියයි

“කරුණා අම්මාන්ගේ මිනිස්සු 600ක් යුද්දෙට ගියා. 300ක් මළා.” හිටපු අමාත්‍ය කරුණා අම්මාන්ගේ පුද්ගලික ලේකම් ශාන්තිනී දිල්රුක්ෂි පෙරේරා සත්හඬ සමග කළ සාකච්ඡාවේදී පැවසීය. ඇය හා සත්හඬ කළ සම්පූර්ණ සාකච්ඡාව කියවන්න.

 

නම?
ශාන්තිනී දිල්රුක්ෂි පෙරේරා

පදිංචිය?
වත්තල

අම්ම තාත්තා?
තාත්තා නැති වෙලා. අම්මා ඉන්නවා.

අධ්‍යාපනය?
ශාන්ත ආනා විදුහල – වත්තල

කොච්චර ඉගෙන ගත්තද?
උසස් පෙළ වෙනකල් ඉගෙන ගත්තා. පස්සෙ මං ඩාන්ස(ර්) කෙනෙක් වුණා.

එතකොට කොයි කාලෙද හෝටල්වල ‘ගිනි නැටුම්’ කළේ?
මම ඩාන්සින් කරන්න පටන් ගත්ත කාලෙමයි. දැනට අවුරුදු 20කට කලින්.

තනියම?
නෑ… රොනී එක්ක.

කවුද රොනී කියන්නෙ?
මගේ ස්වාමිපුරුෂයා (එයා නැති වුණා)

ඔබ ඩාන්සින්වලින් අයින් වෙනවා?
ඔව්.

Katha 3ඉතින් කොහොමද ජීවත් වුණේ?

පස්සෙ මං එවකට කර්මාන්ත ඇමැති කුමාර වෙල්ගම මහත්තයගේ මාධ්‍ය ලේකම් විදියට වැඩ කළා.

දරුවො?
දෙන්නෙක් ඉන්නවා. දෙන්නම පුතාලා.

ඒගොල්ලො මොනවද කරන්නෙ?
ලොකු පුතා ව්‍යාපාර කටයුතු කරනවා. පොඩි පුතා රෝයල් කොලේජ් එකේ ඉගෙන ගන්නවා.

කොහොමද ඔබ කුමාර වෙල්ගමව දන්නෙ?
නැටුම් කරන කාලේ අපිට පහසු නිසා අලූත්ගම පදිංචි වුණා. එතකොට තමයි කුමාර වෙල්ගම මහත්තයව දැනගත්තෙ.

දැන හැඳුනුම්කම් ගොඩක් පරණයි ඒ කියන්නෙ?
ඔව්. දැන් අවුරුදු 28ක් විතර වෙනවා.

හෝටල්වල නට නටා හිටපු ඔබට ඇයි කුමාර වෙල්ගම ‘මාධ්‍ය ලේකම්’ තනතුරක් දෙන්නෙ?
(හිනා..) විශ්වාසෙට.

මොකක්ද ඔය තරම් තියෙන විශ්වාසෙ?
(හිනා…) ඇත්තටම කුමාර වෙල්ගම මහත්තයා හරිම හොඳයි. අපේ පවුලේ කෙනෙක් වගේ. එයා මගේ බොස්. මගේ හැමදේම කළේ එයා.

ඉතින් ඔබට මාධ්‍ය ලේකම් වෙන්න තරම් සුදුසුකම් තිබුණද?
ඔව් තිබුණා.

මොනවද ඒ?
මම නැටුම් කළාට පත්තර කියෙව්වා. මාධ්‍ය ගැන ඉස්සර ඉඳන්ම මම උනන්දුයි. මට හොඳට කතා කරන්නත් පුළුවන්නෙ ඉතින්.

කුමාර වෙල්ගම ළඟ හිටපු ඔබ කොහොමද කරුණා අම්මාන් එක්ක සම්බන්ධ වෙන්නෙ?
වෙල්ගම ඇමැතිතුමා නිසාම තමයි.

එකපාරටම එහෙම වෙන්නෙ කොහොමද?
වෙල්ගම ඇමැතිතුමා ළඟ වැඩ කරනකොට දවසක් (මට මතක විදියට බජට් එක දවසෙ) මං එතුමාගේ පෞද්ගලික ලේකම්තුමිය එක්ක පාර්ලිමන්ට් ගියා. එතකොට කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට ආපු අලූත. ඒ දවස්වල පාර්ලිමන්ට් එකේ හීරෝ එයා තමයි. පස්සෙ බජට් එක ඉවර වෙලා එනකොට එතැන හිටපු හිල්ටන් එකේ චෙයා(ර්)මන් කිව්වා ‘ශාන්තිනී එන්න…. කරුණා අම්මාන් මන්ත‍්‍රීතුමාව හඳුන්වලා දෙන්න’ කියලා.

ඉතින් ගියා?
ඔව්. මම හිතන් හිටියෙ කරුණා අම්මාන් කිව්වාම යකෙක් වගේ මනුස්සයෙක් කියලා. ඒත් මට එයාව දැක්කම පුදුම හිතුණා. ඇත්තටම එයා හරිම සුන්දර මනුස්සයෙක්.

මොනවද ඒ වෙලාවෙ හිතුණෙ?
මට හිතුණා මෙහෙම සුන්දර කෙනෙක් කොහොමද යුද්ධ කළේ කියලා. පස්සෙ මම එයත් එක්ක කතා කළා. කතා කරල යනකොට කරුණා අම්මාන් මන්ත‍්‍රීතුමා අපේ පිටිපස්සෙන්ම ආවා.

ඇවිත් මොනවද ඇහුවෙ?
‘කාඩ්’ එකක් තියෙනවද ඇහුවා. වෙලාවට මගෙ ළඟ කාඞ් එකක් තිබුුණා. මං ඒක එයාට දුන්නා. දීලා අවා.

ඊට පස්සෙ මොකද වුණේ?
ඊට පහුවදා උදේ 9.30ට විතර මට කෝල් එකක් ආවා. එතැනින් පස්සෙ අපි දිගටම කතා කළා.

මොනවද ඔය තරම් කතා කළේ?
මම එයා ගැන ගොඩක් දේවල් දැනගත්තා.

මොනවද ඒ?
එයා ඇත්තටම කවුද? ඇයි එල්ටීටීඊ එකට බැඳුණෙ?
යුද්ද කරන්නෙ ඇයි? ප‍්‍රභාකරන් මොන වගේද? ඔය වගේ ඒවා තමයි.

එතකොට කරුණා අම්මාන් හිටපු තැන ඔබ දැනගෙන හිටියා?
නෑ… එයා ඒක කිව්වෙ නෑ. රහසිගත තැනක හිටියේ.

ඇයි ඒ?
ප‍්‍රභාකරන් ජීවතුන් අතර හිටපු නිසා එයාව මරයි කියලා බයේ හිටියේ.

එතකොට කොහොමද ඔබ එතුමාගේ පෞද්ගලික ලේකම් වුණේ?
මන්ත‍්‍රීතුමාමයි ඇහුවේ පෞද්ගලික ලේකම් වෙන්න කැමැතිද කියලා.

ඉතින්?
අම්මෝ… මම බය වුණා.

එහෙනම් ඇයි කැමැති වුණේ?
මම ඉස්සර ඉඳන්ම ත‍්‍රාස්‍ය ජනක දේවල්වලට කැමැතියි. ඒකයි මම කැමැත්ත දුන්නෙ.

ඒ වෙලාවේ කුමාර වෙල්ගම ඇමැතිතුමා මොකද කිව්වේ?
මොකුත් කිව්වෙ නෑ. ඔයා කැමැති දෙයක් කරන්න කිව්වා.

ඉතින් මොකද කළේ?
මං කරුණා අම්මාන් ළඟට ගියා. මට හිතුණා මේක රට වෙනුවෙන් යමක් කරන්න හොඳ අවස්ථාවක් කියලා. ඒ වෙලාවේ මං හිතුවා මෙයාව සම්පූර්ණයෙන් කොටින්ගෙන්
ඈත් කරලා අපේ පැත්තටම නම්ම ගන්නවා කියලා.

කරුණා අම්මාන් එල්ටීටීඊ එකට සම්බන්ධ වුණේ ඇයි කියලා ඇහුවේ නැද්ද?
ඇහුවා.

katha 1මොකද කිව්වේ?
එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. යුනිවර්සිටි එකට යන්න සිලෙක්ට් වෙලා හිටපු කෙනෙක්. එයාගේ පවුලත් හොඳ උගත් පවුලක්. එයා කිව්වා දවසක් එයා ඉස්කෝලෙ ගිහින් එනකොට, තාත්තලා එළුවො කපලා උයනවලූ. කල්දේරම්වල කෑම හදනවලූ. ඉතින් මෙයා ඇහුවලූ මොකද මේ කියලා. එතකොට ඒගොල්ලෝ කිව්වලූ, කොළඹ කලබල, ඔයාගේ නෑදෑයෝ ඔක්කොම මරාදාලා කියලා. ඔය සිද්ධිවලින් පස්සෙ තමයි එයා එල්ටීටීඊ එකට සම්බන්ධ වෙලා තියෙන්නෙ. පස්සෙ ඉන්දියාවෙ ටේ‍්‍රනින් වෙලා ලංකාවට එනකොට එයා තමයිලූ බැට්ල් එකෙයි, ඉන්ටෙලිජනුයි නම්බර් වන්. ඉතින් ප‍්‍රභාකරන් ඒ වෙලාවෙ තමයි එයාව බොඩිගාඩ් කරගෙන තියෙන්නෙ.

ඔහු යටතේ සිදුවුණ මෙහෙයුම් ගැන කිව්වෙ නැද්ද?
ගොඩක් ඒවා කිව්වා… ඒත් දැන් මට මතක නෑ.

දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ කවුද?
දන්නෙ නෑ.

අරන්තලාවෙ භික්ෂු ඝාතනය?
නෑ… ඒකට නම් එයා පොඩ්ඩක්වත් සම්බන්ධ නෑ. එයා කවදාවත් සමූල ඝාතන කරපු කෙනෙක් නෙමෙයි. ඒවට එයා විරුද්ධයි. ඒත් එයා මගෙත් එක්ක කියලා තියෙනවා අරන්තලාවෙ භික්ෂු ඝාතනය කරපු අය මැරුණෙ මහ ජරා විදියට විඳවලා කියලා.

ඒත් චෝදනා තියෙනවනේ?
ඒව පස්සෙ කාලේ සමහරු ගොතපු ඒවා.

කරුණා අම්මාන් එල්ටීටීඊ එකෙන් ඉවත් වුණේ ඇයි කියලා ඇහුවෙ නැද්ද?
ඇහුවා… ඒක වෙලා තියෙන්නෙ මෙහෙමයි. මං කලින් කිව්වනේ මෙයා සමූල ඝාතනවලට විරුද්ධ කෙනෙක් කියලා. එකපාරක් ප‍්‍රභාකරන්ගෙන් මෙයා ඒ ගැන අහලා. ‘ඇයි මේ විදියට අහිංසක සාමාන්‍ය ජනතාව ඝාතනය කරන්නෙ’කියලා. ප‍්‍රභාකරන් ඒ වෙලාවෙ කියලා තියෙන්නෙ ‘මං ඒව දන්නෙ නෑ, මම ඒවා දන්නෙ පස්සෙ’ කියලා. ඒත් මෙයාට තේරිලා තියෙනවා මේ ඝාතන වෙන්නෙ ප‍්‍රභාකරන් දැනුවත්වයි කියලා. ඉතින් පස්සෙ පස්සෙ ප‍්‍රභාකරන් ගැන මෙයාට කලකිරිලා. ඒ වෙනකොට ප‍්‍රභාකරනුත් කරුණාඅම්මාන්ට ඊර්ෂ්‍යාවෙන් ඉඳලා තියෙන්නෙ.

ඇයි ඒ?
සාම සාකච්ඡාවලදී ප‍්‍රභාකරන් කරුණා අම්මාන්ට යන්න කිව්වනෙ. ඉතින් පිටරට ගියාම ඩයස්පෝරාව කරුණාව ‘වීරයා’ කියලා කර උඩ තියන්ලූ අරන් යන්නෙ. ඒ යනකොට ගෑනු රත්තරන් මාල ගලවලා විසිකරනවාලූ. මේ වැඬේට ප‍්‍රභාකරන් අප්සෙට්. ඒකෙන් වුණේ ප‍්‍රභාකරන් ගැන කරුණා තව තවත් කලකිරුණ එක විතරයි. අනෙත් එක තමයි එයාට පුළුවන් වෙලා තියෙනවා සාම සාකච්ඡාවලට අපු මිලින්ද මොරගොඩ, ජී.එල්. පීරිස් වගේ අයත් එක්ක කතා කරන්න. ඉතින් එතැනදී එයාට සිංහල මිනිස්සු ගැන පැහැදීමක් ඇති වෙලා. ඒ නිසා තමයි එයා ෆෙඩරල් විසඳුමකට කැමැති වෙලා තියෙන්නෙ. ඒත් ඒකට ප‍්‍රභාකරන් විරුද්ධ වෙලා. ඒක තමයි කරුණා – ප‍්‍රභා අතර අර්බුදයක් ඇතිවෙන්න මුල. පස්සෙ එයා තීරණයක් අරගෙන තිබුණා ආයෙත් ප‍්‍රභාකරන් එක්ක වැඩ කරන්නෙ නෑ කියලා.

ඔය සිද්ධියෙන් පස්සෙද කරුණා අම්මාන් චන්ද්‍රිකා මැතිනියට කතා කරන්නෙ?
ඔව්… ඒත් වැඩක් වෙලා නෑ.

ඊට පස්සෙ?
ඊට පස්සෙ රනිල් වික‍්‍රමසිංහ මහත්තයට කතා කරලා. එයා උදව් කරලා තියෙනවා කරුණාට කොළඹ එන්න.

ඉතින් කරුණා කොළඹ ආවා?
නෑ… එයා එයාගේ පවුලෙ අයත් එක්ක ඉන්දියාවට ගිහින් තියෙනවා.

එතකොට ප‍්‍රභාකරන්වයි කරුණාවයි ඇතැම් දේශපාලනඥයෝ තරහ කෙරෙව්වා කියන කතාව බොරු?
ඔව්. පට්ටපල් බොරුවක්.

කරුණා තොප්පිගල ඉඳන් කොළඹ ආවේ කොහොමද?
අසාද් මවුලානා එක්ක.

ඇවිත් කාවද හම්බවුණේ?
රනිල් වික‍්‍රමසිංහ මහත්තයව. ඒගොල්ලො යම් යම් සාකච්ඡාත් පවත්වලා තියෙනවා.

මොනවද ඒ සාකච්ඡා?
මං ඒ ගැන ලොකු තොරතුරක් දන්නෙ නෑ.

ඉන්දියාවට ගියේ ඊට පස්සෙද?
ඔව්.

ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ මහත්තයා කරුණාට කතා කරනවා?
ඔව්. ඒක වුණේ මෙහෙමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා, ලක්ෂ්මන් හුළුගල්ලවයි, ගෝඨාභය රාජපක්ෂවයි ඉන්දියාවට යැව්වා කරුණා එක්ක කතා කරන්න.

මොනවා ගැන කතා කරන්නද?
යුද්දෙට සහයෝගය ගන්න. ඉතින් පස්සෙ එයා ඒකට කැමැති වෙලා.

ඔය දවස්වලද කරුණා අම්මාන් සපත්තු ගලවලා හමුදාපති සරත් ෆොන්සේකා ළඟට එනවා කියන්නෙ?
මොන බොරුවක්ද? ඇත්තටම ෆොන්සේකා මහත්තයා එහෙම කතාවක් මාධ්‍යට කියලා තිබුණා. ඒ ගැන කරුණා ගොඩක් දුක් වුණා. එයා කාගෙවත් ළඟට සෙරෙප්පු, සපත්තු ගලවලා ගිය කෙනෙක් නෙමෙයි.

මොනවද කරුණා අම්මාන් යුද්දෙ වෙනුවෙන් කරපු උදව්?
එයාගේ කාඩර්ස්ලා හයසීයක් යුද්දෙට යැව්වා. ඒකෙන් 300ක් මලා. දැන් එ් පවුල් බලාගන්නේ එයා. එල්ටීටීඊ එකේ යුද උපක‍්‍රම ගැන ආරක්ෂක අංශ දැනුවත් කළා. සමහර දේවල් නම් කියන්න බෑ. ඇත්තටම එයා ඒවා කළේ තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා.

ඔය කියන විදියට කරුණා අම්මාන් කියන්නෙ යුද්ධෙ දිනාගන්න විශාල මෙහෙවරක් කරපු කෙනෙක්?
ඔව්… කවුරු නොකිව්වත් යථාර්ථය ඒක.

ඔහු ඔය දේවල් කළේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන්ද? රට වෙනුවෙන්ද?
රට වෙනුවෙන්… මහින්ද රාජපක්ෂටත් එයා ගොඩක් සමීපයි.

ඔය කාලේ කරුණා අම්මාන් එක්ක ඔබ මොනවද කළේ?
මම තමයි එතුමාව සෝෂල් කළේ. සිංහල ගෙවල්වලට එක්කගෙන ගිහින් සිංහල කෑම බීම හදලා දීලා සිංහලයන් ගැන පැහැදීමක් ඇති කෙරෙව්වෙ මං.

ප‍්‍රභාකරන් මැරුණට පස්සෙ ප‍්‍රභාකරන්ගෙ මළ සිරුර බලන්න කරුණාව යැව්වේ කවුද?
ජනාධිපතිතුමා.

katha 2ඒ වෙලාවෙ ඔහුට දුක හිතෙන්න ඇති?
නෑ… පොඞ්ඩක්වත් නෑ. එයා කිව්වෙ ප‍්‍රභාකරන්ට වෙච්ච දේ සාධාරණයි කියලා.

කරුණාට ඇමැතිකම හම්බ වුණාම ඔහු මොකද කිව්වෙ?
එයා සතුටු වුණා. ඒත් එයාට හම්බවුණේ වැඩක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක් නෙමෙයි. ඒත් එයා මුළු කැබිනට් මණ්ඩලය එක්කම සහයෝගයෙන් වැඩ කළා. එයා දේශපාලනයෙන් සත පහක්වත් හම්බ කරගත්තෙ නම් නෑ.

එතකොට දැන් මොකක්ද මේ ඇතිවෙලා තියෙන අර්බුදය?
කරුණාව ජාතික ලැයිස්තුවෙන් කපලා දාලා.

ඇයි… ඒ දවස්වල හීරෝ දැන් සීරෝ වෙලාද?
නෑ… දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුණනෙ. ඉතින් ආයෙත් තිබුණ ඡන්ද පදනම හදන්න ටික කාලයක් යයි.

ඔය කියන ඡන්ද පදනම ගියවර හදලා තිබුණද?
ඔව්…. පනස් තුන්දාහකට වැඩිය ඡන්ද තිබුණා.

කරුණා එන්න කලින් නැගෙනහිර පළාතෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කොච්චර ඡන්ද තිබුණද?
හත්දාහයි තිබුණේ. එයා තමයි මඩකලපුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් විවෘත කරලා ඡුන්ද පදනම වැඩි කළේ.

කවුද එතුමාව ලිස්ට් එකෙන් කැපුවේ? මහින්ද රාජපක්ෂද?
අපෝ නෑ. එතුමාට බලය තිබුණා නම් කරුණාට මෙහෙම වෙන්නෙ නෑ.

එහෙනම් කවුද කැපුවෙ?
බලූ වැඩ කරන අය තමයි.

කවුද ඒ?
ඉස්සර නම් බැසිල්.

දැන්?
සුසිල් පේ‍්‍රම්ජයන්ත්.

සමහර විට ජාතික ලැයිස්තුවට එන්න තරම් කරුණාගේ සුදුසුකම් මදි ඇති?
එතකොට ඔය දාල ඉන්න අය සුදුසුකම් තියෙන අයද?

කවුද ඒ සුදුසුකම් නැති මෙදා සැරේ ජාතික ලැයිස්තුවේ ඉන්න අය?
නම් කියන්න බෑ. ගොඩක් ඉන්නවා.

ඔබ එතුමාගේ පෞද්ගලික ලේකම්, මොනවද ඔහුගෙ චරිතෙ ඔබ දැකපු විශේෂතා?
කරුණා හරි පිළිවෙළට වැඩකරන කෙනෙක්. ඒවගේම නිතරම විනෝදෙන් ඉන්න කැමැති කෙනෙක්. ගෙදර දොරේවැඩ විතරක් නෙමෙයි එයාට රසට උයන්නත් පුළුවන්. හැම වැඩකටම එයා දක්ෂයි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. එක වචනයකින් කියනවා නම් කරුණා කියන්නෙ සමනළයෙක්.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරියේදී දේශපාලනයෙන් සමුගනීද?
නෑ… කොහෙත්ම නෑ.

ඔබ ඔහු වෙනුවෙන් ඉදිරියේදී මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
මම එයාගේ චරිතාපදානය ලියනවා. ඒක චිත‍්‍රපටයකට නගන්නත් ඉන්දියාවේ ප‍්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් කටයුතු කරගෙන යනවා.

කතා කළේ – ශාන්ත බණ්ඩාර
ලිව්වේ – සකු විතානගේ
ඡායාරූප – ගිතේන්ද්‍ර ලියනගේ

Katha 4

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.