කල් ඉකුත් වූ කුප්‍රකට චරිත සමග අලුත් ගමනක්‌ බෑ- මෛත්‍රී

 

dasa5

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් මුහුණ දි සිටින දේශපාලන අභියෝගය සුළුපටු නැත. ඒ 20 වැනි සංශෝධනය ලෙස ඉදිරිපත් කෙරෙන අභිනව මැතිවරණ ක්‍රමය සම්මත කර ගැනීමය. ජේ. ආර්. ජයවර්ධන විසින් මැනවැයි සම්මත කරවා ගත් විධායක ජනාධිපති ක්‍රමයත් ඒ සමග ඈඳුණු මනාප ඡන්ද ක්‍රමයත් පිළිබඳව මේ රටේ දේශපාලන වේදිකාවල මෙන්ම ඉන් බාහිරවද ප්‍රකාශ වූ අදහස්‌ එක්‌තැන් කළහොත් එය ලෝකයේ දීර්ඝතම ලියෑවිල්ලක්‌ වනු නිසැකය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු කටින් බතල හිටවන ප්‍රජාතන්ත්‍රවාදයට අයත් එකක්‌ වීම නිසා ජනතාවට විධායක ක්‍රමය සමග මනාප ක්‍රමයද පවත්වාගෙන යැමට සිදු විය.

 

කෙසේ හෝ රාජපක්‍ෂ පාලනය අවසන් කර නිර්පාක්‍ෂිකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කර ගැනීම සැබැවින්ම විප්ලවීය පියවරකි. රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ද සිය පක්‍ෂය විසින් ජනතාව මත පටවන ලද ප්‍රජාතන්ත්‍රවාදී ගෝතකර්මය අවසන් කිරීමට දැක්‌වූ සහයෝගය අගය කළ යුතුය. එය එජාපය කරගත් පව් සමා කිරීමක්‌ වැන්න. විධායක ක්‍රමය පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයකට සංශෝධනය වූයේ ඒ අනුවය. එහෙත් එහි අනෙක්‌ විකෘතිය වන මනාප ක්‍රමයට කුමක්‌ සිදු වේද?

maithripala-sirisena-latest

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳව මෙසේ කියයි.

 

ඇත්තටම අද වැඩි පිරිසකට ඕනෑ මේ පවතින ක්‍රමයට ඡන්දයකට යන්න. මනාපයට බණින, දොස්‌ කියන හුඟ දෙනෙක්‌ කල්පනා කරන්නෙ මෙවරත් ඒ පැරැණි ක්‍රමයටම ඡන්දයට යායුතු බව. ඒ ගැන දෙපැත්තටම තර්ක කළ හැකියි. පාර්ලිමේන්තුවෙ බහුතරය නැතුව මේක වෙනස්‌ කරගන්නත් බෑ. ඒ නිසා මා ඉල්ලීමක්‌ කළා, අගමැතිවරයාට තියෙන විශ්වාසභංගය ඉස්‌සරහට දාගෙන ඒ අයගෙ සහාය ගන්න බෑ. මං ජනතාවට පොරොන්දු වුණ දේ ඉටුකරන්න මට උදව් කරන්න කියල. ඒ නිසා මම හිතනවා, අපට 20 වැනි සංශෝධනය සම්මත කරල ඒ අයට අවශ්‍ය පැරැණි ක්‍රමයට මහ මැතිවරණයට යන්න පුළුවන් වෙයි කියල.

 

ජනාධිපතිවරයාට මෙන්ම දේශපාලනය ගැන උනන්දුවක්‌ දක්‌වන කවරකුට වුවද අද හැඟෙන්නේ “යා දෙක නොරත රත – සමග පෑහීමක්‌ නැත” යන ප්‍රකට කියමනය. එනම් එජාප ආණ්‌ඩුව සමග ශ්‍රී ලනිප යට හෝ සන්ධානයට ගමනක්‌ නැති බවය. ශ්‍රී ලනිපයේ මධ්‍යම කාරක සභාවේ එකඟතාව අනුව ආණ්‌ඩුවට ගොස්‌ රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැති පදවි ගත් සමහරු දැන් ඒවා හැර ගොස්‌ සිටිති. එජාපයෙන් තමන්ට ලැබුණු කුඩම්මාගේ සැලකිලි හා දේශපාලන ටොකු ගැන ද නොයෙක්‌ දේ කියති.

 

මේ දේශපාලන කැළඹීම මෛත්‍රීපාල ජනාධිපතිවරයා හොඳින් පසක්‌ කරගෙන සිටියි. ලෝකයේ කිසිම රටක නොමැති දේශපාලන ජංජාලයකට ඔහු මැදි වී සිටියි. තමන් වෙනුවෙන් කැප වූ එජාපය එක්‌ පසෙකය. අනෙක්‌ පස සිය දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලනිපය හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයයි. මේ දෙකේම සභාපති හා නායකයාද ජනාධිපතිවරයායි. එබඳු වාතාවරණයක්‌ යටතේ මහ මැතිවරණයේදී ඔහු විසින් අනුගමනය කරනු ලබන පියවර කුමක්‌ද?

 

මේ අප කළ විමසුමකදී දුන් පිළිතුරයි.

 

අද කවුද ශ්‍රී ලනිපය කඩන්නෙ. ජනමතය ගැන කිසිදු තැකීමක්‌ නොකර අවස්‌ථාවාදී රංචු ගැසීම් කරල පක්‍ෂය දුර්වල කරන්න කාටද ඕනෑ. අපි දෙකඩ වෙලා ගහගන්න කොට කාටද වාසි. කාටත් මතක නෑ අතීතය. එදා ජේ. ආර්. ට වුවමනා වුණෙත් විපක්‍ෂය බේද වෙලා තියෙන අවස්‌ථාවක ඡන්දය තියන්න. ඒ වාසිය තමන්ගෙ පක්‍ෂයට ගන්න. 1982 මැතිනියගෙ ප්‍රජා අයිතිය අහෝසි කරල, අපේ මැතිවරණ සටනට බාධා කරල ගත්තෙ ඡන්ද ලක්‍ෂ තිස්‌දාස්‌ ගාණයි. කොබ්බෑකඩුව මහත්තයා ගත්ත ලක්‍ෂ විසි පන්දාස්‌ ගාණක්‌. විජේවීරත් ගත්ත ලක්‍ෂ දෙකට වැඩිය. කොල්වින් වගේම වාසුදේවත් ගත්ත තව ලක්‍ෂයකට අඩු ගාණක්‌. මම මේ පෙන්නල දෙන්නෙ එහෙම වෙලා එදා ගත්තෙ අපට වඩා සියයට දෙකක්‌ වගේ සුළු ප්‍රතිශතයක්‌ බවයි. අනිත් වැදගත්ම කාරණය තමයි, එදා කවුද ඡන්ද සටනෙ හිටියෙ? විජය කුමාරතුංග ඇතුළු කීප දෙනයි. අද වීරයො වගෙ කෑ ගහන අය එදා පක්‍ෂය වෙනුවෙන් මොකද කළේ කියල අහන්න ඕනෑ ඔවුන්ගේම හෘද සාක්‍ෂියෙන්.

 

ඔබට මතක ඇති මැතිනියගෙ ප්‍රජා අයිතිය අහෝසි කළා. එදා අපි පොළොන්නරුවෙදි ඒකට විරෝධය දැක්‌වූවා. මාත් රත්න දේශප්‍රියත් අල්ලල හිරේ දැම්ම. අපි තුන් මාසයක්‌ හිරේ හිටිය අනුරාධපුරේ හිර ගෙදර. මම තවත් එකක්‌ කියන්නම් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරද්දී අපි ඉඳගත්ත සත්‍යග්‍රහයකට පිටකොටුවෙ බෝධිය ළඟ. මැතිනියත් එක්‌ක. ජේ. වී. පී. එක බස්‌ ගිනි තියල මහා විනාශයක්‌ කළා. එදත් අපිව හිරේ දැම්මා.

 

අනුර බණ්‌ඩාරනායක එජාපයට ගියා. චන්ද්‍රිකා මැතිනියට රටින් යන්න වුණා. මේ අවිචාර සමය තුළ රාජපක්‍ෂවරුන් කොහෙද හිටියෙ. මට මතකයි බැසිල් මහවැලියෙ ගාමිණිල එක්‌ක සම්බන්ධ වෙලා හිටිය. අපේ පක්‍ෂය දිහා බැලුවෙ රත්නසිරි වික්‍රමනායක, කේ. බී. රත්නායක, ආනන්ද දසනායක වගේ කීප දෙනෙක්‌ විතරයි.

cartton12mkji

කොහොම හරි දුෂ්කර අවස්‌ථාවලදී මං මේ පක්‍ෂයට පපුව දීපු කෙනෙක්‌. එනිසා කාටවත් කියන්න බෑ මං පක්‍ෂය විනාශ කළා කියලා. ඒකට ෙද්‍රdaහී වුණා කියලා. ජනාධිපතිවරණයෙන් මං දිනුවට පස්‌සේ පාක්‍ෂිකයො මට පක්‍ෂය භාර දුන්නෙ ඇයි? ඒක ජයග්‍රහණය කරවන්න. ජනමතය දුන්න තීන්දුව නිවැරැදිව කියවපු අයට තේරෙනව කවුද හරි කියලා.

 

ජනාධිපතිතුමනි ඔබතුමා කොහොමද එකවර පක්‍ෂ දෙකක්‌ වෙනුවෙන් පෙනී සිටින්නෙ. එජාපයෙ සමහරු කල්පනා කරනව ඔබ ඒ අයගෙ වේදිකාවට නගියි කියල.

 

මං කොහොමද එහෙම කරන්නෙ. එජාපය හා ශ්‍රී ලනිප ය වෙන වෙනම තරග කළ යුතුය යන ස්‌ථාවරයේ අපි හිටියෙ. දින සියය තුළ දුන් පොරොන්දු ඉටු කරල මැතිවරණයකට යැම අපේ අරමුණ වුණේ. අනිත් එක මට කොහොමවත් කියන්න බෑ රාජපක්‍ෂ පාලනය යහපත් කියල. රටේ ජනතාව ඒ පාලනය අවසන් කළේ අලුත් වෙනසකට. මට වුවමනා ඒ වෙනස මිසක්‌ රාජපක්‍ෂවරුන් හරි වෙන වැරදි කරපු අය හරි රකින්න නොවෙයි.

 

මහ මැතිවරණය ගැන මං සන්ධානෙ නායකයන් එක්‌ක කතා කළා. මං පෙන්වා දුන්නා මේ රටේ ජනතාව ඇයි රාජපක්‍ෂ මහතාව පරාජය කළේ කියලා. ඒ ජනමතය ඔහුත් ඔහු ඉස්‌සරහට දාගෙන ඉන්න අයත් තේරුම් ගන්න ඕනෑ. මම කොහොමද ජනතාවට කියන්නෙ ඔහුව ආයිත් බලයට පත් කරන්න කියල. මට තියෙන පුද්ගලික ප්‍රශ්නයක්‌ නොවෙයි ඒක. ඉතා පැහැදිලිවම දේශපාලන ප්‍රශ්නයක්‌. අපි කල්පනා කරන්න ඕනෑ ඔහුත් සමග වැටෙනවද? ඔහුව පැත්තකින් තියල මේ අලුත් අභියෝගය ජය ගන්නවද කියල.

 

මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නය ඉතා පැහැදිපිවම ආණ්‌ඩුවට එරෙහිව එන බරපතල චෝදනාවක්‌ නේද? මේ පිළිබඳව ඔබතුමා සංවේදී නැද්ද?

 

මං ඉතා ගැඹුරින් හා සැලකිල්ලෙන් ඒක ගැන විමසුවා. අගමැතිවරයා සමගත් කතා කළා. ඒ පැල්ලම මකා ගැනීමට කළ හැකි හැම දෙයක්‌ම ආණ්‌ඩුව කළ යුතු බව මා හිතනවා. යහපාලනයක්‌ කරන්න ආපු අය අතින් ඒවගේ අගතියක්‌ සිදුවෙන්න බෑ. මොනව වුණත් අපේ දේශපාලන ගමන පවිත්‍රව, සත්‍යවාදීව යායුතුයි.

 

ඔබතුමා විධායක බලතල නිසි පරිදි පාවිච්චි නොකරන බවටත් චෝදනාවක්‌ තිබෙනවා.

 

මම ගිය ආණ්‌ඩුව වගේ නම් ඒවා පාවිච්චි කළේ නෑ. පළාත් පාලන ඡන්දය කල්දාන්න මට තිබුණ. මං ඒක කළේ නෑ. අනිත් එක මං රාජපක්‍ෂ මහත්තය වගේ අමාත්‍යාංශ පනහක්‌ හැටක්‌ තියාගෙනත් නෑ. රාජ්‍ය ආරක්‍ෂාව පරිසරය වගෙ අමාත්‍යාංශ පමණයි මා තියාගෙන ඉන්නෙ. එදා වගේ ඇමැතිවරුන් රූකඩ කරන්න මට ඕන නෑ. ලේකම්වරුන්ට නියෝග දෙන්න මට ඕනැත් නෑ. විල්පත්තු අර්බුදයට මම සෘජුවම මැදිහත් වුණා. යාපනේ දැරියගේ ප්‍රශ්නයත් ඒ වගේ. සමහරු කියනවා යාපනේ ගැන තියෙන කැක්‌කුම දකුණට නෑ කියලා. ඇයි අපට වුවමනා ජාතිවාදී ගින්දර අවුලන්නද? දෙමළ ජනතාවගේ අයිතිය පාගා දාන්න ගිහිල්ල පසුගිය ආණ්‌ඩුව හිර වුණා. ජනප්‍රියත්වයට ගැලරියෙ ඔල්වරසන් හඬට කළ දේවල් නිසා ජාත්‍යන්තරය අපට විරුද්ධ වුණා. මං සිංහල බෞද්ධ නායකයෙක්‌ කියන්න මං පසුබට වෙන්නෙ නෑ. ඒත් රාජ්‍ය නායකයාට හැම රට වැසියෙක්‌ම දරුවෙක්‌ කියන ප්‍රතිපත්තියට මා කැමතියි. මං යාපනයට ගියහම ඒ ජනතාවගේ හදවතේ උණුසුම මට දැනුණා. ඒ අය සමග ඇයි ගැටුම් හදා ගන්නෙ. හැබැයි කවුරු හරි හිතනවා නම් ත්‍රස්‌තවාදය, බෙදුම්වාදය ගේන්න, ඒ ගොල්ලන්ට හැංගෙන්න තැනක්‌ හොයා ගන්න කියලා මං කියනවා.

 

මේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වෙලා. රට නියම පීල්ලට දාන්න මට වුවමනායි. මට එජාපයට ගෙවන්න ණයක්‌ නෑ. හැබැයි මේ රටට ගෙවන්න ණයක්‌ තියෙනවා. එජාපයෙන් දූෂණ, වංචා, සිදු වුණා. ඒත් මට හිතෙනවා රනිල් වික්‍රමසිංහ චරිතය මාවත් මේ රටත් තේරුම් ගෙන තිබෙනවා. රටට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ලබාදීමට අපිට පුළුවන්. අපේ මූලික අරමුණ එයයි. එජාපයෙත් ශ්‍රී ලනිප යෙත් වෙනස්‌ න්‍යායපත්‍ර තිබුණත් මේ ගමන අපි අවබෝධයෙන් යා යුතුයි. ඊළඟ මැතිවරණයෙන් ජාතික ආණ්‌ඩුවක්‌ හදන්න රනිල් යෝජනා කරන්නෙ දුර දක්‌නා නුවණින්. අපි බෙදිල කඳවුරුවල හිටිය ඇති. අලුත් ගමනක්‌ අරඹමු කියන සංඥව අපට දුන්නෙ ජනවාරි 8 වැනිදා රටේ ජනතාවයි. අපි එතැන් සිට ඉදිරියට යායුතුයි.

cartoon12ser

ජනතාව අද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා වටා පෙළගැහෙනව නේද?

 

ඒක සත්‍යය හෝ යථාර්ථය නොවෙයි. මං ඔබ සමග එකඟ වෙන්නෙ ජනතාව ඔවුන් පිළිගත්තොත්. මොකද ජනමතය හැසිරෙන විදිහ රැස්‌වීම්වල ඔළුගෙඩිවලින් මනින්න බෑ. මාධ්‍ය සංදර්ශනවලින් මනින්නත් බෑ. රාජපක්‍ෂවරුන්ගේ පාලනයෙන් ගිලිහී ගිය බලය ජනතාව මට දුන්න නිසා තමයි ගමේ ශ්‍රී ලංකාකාරයා රැකුණේ. සමහරු එතැන නැති බව මම දන්නවා. ඒක තමා දේශපාලනය. හැබැයි අපි තේරුම් ගන්න ඕනෑ ජනතාව අතරමං නොකර මේ ගමනට නායකත්වය දෙන්න.

 

ශ්‍රී ලනිප යේ දූෂිත පිරිස්‌ ගම්වලත් හිටියා. ඒ අය ස්‌ත්‍රී දූෂණ කළා. සමහරු කාන්තාවන් කෙළෙසීම උත්සවශ්‍රීයෙන් සැමරුවා. මේ වගේ ජඩ මානසිකත්වයක්‌ තියෙන අයයි චණ්‌ඩියි තමා ගම්වල රජ කළේ. මම ඒක වෙනස්‌ කරනවා. අලුත් සල්ලිකාරයන් වෙනුවට ගමට රටට ආදරය කරන පිරිසක්‌ මා ඡන්දෙට දාන්නෙ.

 

ජනාධිපතිතුමනි, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහත්තයා පසුගිය දිනක ආණ්‌ඩුවට බරපතල චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කළා. එහි තිබුණු එක්‌ දෙයක්‌ තමා මේ ආණ්‌ඩුව ඇතිකළ මූල්‍ය අපරාධ වංචා හා දූෂණ විමර්ශන කොට්‌ඨාසය නීති විරෝධීයි කියලා. මේ ගැන ඔබතුමාගෙ මතය කුමක්‌ද?

 

අපේ දින සියයේ ආකර්ෂණීය පොරොන්දුවක්‌ තමයි දූෂණ, වංචා, අල්ලස්‌ ගැන සොයා වහාම දඬුවම් දීම. පවතින ක්‍රමයේ බාධාවන් නිසා එය ඇතිකළ බව ඇත්ත. ඒත් එහි අඩුපාඩු තිබෙනවා. මටත් ඒ ගැන විවේචනයක්‌ තිබෙනවා. මා අගමැතිතුමා සමග ඒ ගැන කතා කළා. හැබැයි කිසිම නිර්දොaෂී කෙනකුට දඬුවම් කරන්න අපට බෑ. අපි වැරදි අඩුපාඩු හදාගෙන ජනතා අපේක්‍ෂා ඉටුකරමු. එයයි වුවමනා.

86986

 

 

මොනව වුණත් මේ රටේ ජනතාව බලයට පත්කළේ ඔබතුමාවයි. දේශපාලනයේදී බොහෝ විට සිදු වන්නේ හොඳ දේවල්වල වාසි ගැනීමත් නරක දේවල් අනුන්ගේ ඇඟට දැමීමත්. ඒ ගැන හිතන්නෙ නැද්ද?

 

ජනාධිපතිවරයා මොහොතක්‌ නිහඬව සිට යළිත් සිය පිළිතුර ආරම්භ කළේ මෙසේය.

 

මේ පාලන ක්‍රමය මට වගේම රටටත් අලුත් අත්දැකීමක්‌. අපට වුවමනා වුණේ පිවිතුරු පාලන තන්ත්‍රයක්‌. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, මානව හිමිකම් යන දේවල් රකින පාලනයක්‌. මධ්‍යස්‌ථ විදේශ ප්‍රතිපත්තියක්‌. මං ඔබට එක දෙයක්‌ කියන්නම්. ජෝන් කෙරී ලංකාවට ආව. මාව හම්බු වුණා. මගෙන් ඇහුවා මොකක්‌ද ඔබල ඉන්දියාව හා චීනය සමග තියෙන සබඳතාව කියල. මම කිව්ව ඉන්දියාව අපේ පැරැණිම සංස්‌කෘතික මිත්‍රයා. බුදුදහම අපට ආවෙත් ඉන්දියාවෙන්. කලා ශිල්ප, දර්ශන ආවෙත් එහෙන්. ඒ වගේම අපේ සමීපතම බලවතා ඉන්දියාව. ඒ නිසා අප අතර විශාල ගැලපීමක්‌ තියෙනවා.

 

චීනයත් එහෙමයි. බුදු දහම චීනයෙත් තියෙනවා. ඒ වගේම අද ලෝකයම පිළිගන්නවා චීනය නැඟී එන ආර්ථික බලවතා බව. ඒ නිසා අපට චීනයත් ඕනෑ.

 

ජෝන් කෙරී හිනාවෙලා කියනවා, එක වර්ගයේ අය එකතු වීම ස්‌වාභාවිකයි. අපට වුවමනා ඔබගෙන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නිදහස්‌ මාධ්‍ය, නිදහස්‌ අධිකරණය වගේ දේවල් ආරක්‍ෂා වීමයි. අප ඒ සඳහා ඔබට උදව් දෙනවා.

 

ජෝන් කෙරී තනි පුද්ගලයෙක්‌ නොව බටහිර පිළිබඳ සංකේතයක්‌. ඇත්තටම අප බටහිරට ගැති නොවී යට නොවී අපේ ජාතික අපේක්‍ෂාව විදේශ ප්‍රතිපත්තිය රැකගෙන මේ ගමන යා යුතුයි.

 

මෛත්‍රීපාල ජනාධිපතිවරයා තවමත් සිටින්නේ හේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ලබාගත් නිවසේමය. අද ඒ නිවස ජනාධිපති නිල නිවස බවට පත්ව තිබේ. ජනාධිපතිවරයාගේ නිල කටයුතු ජනාධිපති කාර්යාලයේත් ජනාධිපති නිල නිවසේත් සිදු වෙයි. අප හමුව සිදු වූයේත් විජේරාම මාවතේ පිහිටි එම නිවසේදීය. ජනාධිපතිවරයාගේ නිල කටයුතු සඳහා යොදාගත් නිවසේ ඉදිරිපස කාමරයේ උඩින්ම තිබුණේ තරමක්‌ විශාල බුදුරුවක්‌ සහිත පින්තූරයකි. ඉන් පහළ එක්‌ කෙළවරක මහත්මා ගාන්ධිගේ පින්තූරයකි. අනෙක්‌ කෙළවරේ කාල් මාක්‌ස්‌ හා ලෙනින්ගේ පින්තූර දෙකකි. මම උනන්දුවෙන් එදෙස බලා සිටියෙමි. එවෙලේ මගේ සිත ඉවෙන් මෙන් දැනගත් ජනාධිපතිවරයා යළි මෙසේ කීවේය.

 

මං හිතන්නෙ කාල් මාක්‌ස්‌, ලෙනින් යන දෙන්නටම වඩා මහත්මා ගාන්ධි අපට සමීපයි. ගාන්ධිතුමා බලය ප්‍රතික්‌ෂේප කළ සමාජ සාධාරණය අපේක්‍ෂා කළ ශ්‍රේෂ්ඨයෙක්‌. ජනතාවගේ නායකයන් ආදර්ශවත් විය යුතු බව එතුමා කියා සිටියා. පරම අහිංසාවාදියකු වූ එතුමා හිරු නොබසින අධිරාජ්‍යය දණ ගැස්‌වූවා. අධිරාජ්‍යවාදයේ යකඩ සපත්තුවට එතුමා පාගා දාන්ට බැරි වුණා. එතුමා ජාති, ආගම්, කුල සියල්ල පිටුදැක්‌කා. අද මේ රටේ තවමත් ඒ ගිනි පුපුරු ඇවිලවීමට සමහරු වෑයම් කරනවා. මා පූර්ණ විශ්වාසය තබන්නේ අහිංසාව ගැනයි. මා නිරන්තරවම සාකච්ඡා කර ප්‍රශ්න විස¹ ගැනීමට කැමතියි. එහෙත් මේ රටේ දේශපාලන ක්‍රමය තුළ එය අසීරු දෙයක්‌ වී තිබෙනවා. මට වුවමනා දුසිරිත වෙනුවට සුසිරිතත් රැස්‌ කිරීම වෙනුවට අත්හැරීමත් මගේ යන්න වෙනුවට අපේ යන්න ආදේශ කිරීමටත්ය.

front-car

මා තේරුම් ගත් ආකාරයට එළඹෙන මහ මැතිවරණයේදී ඔහුට අවශ්‍ය ගර්හිත දේශපාලන විකට රූප වෙනුවට අලුත් හා අවංක දේශපාලන චරිතවලින් සෞභාග්‍යමත් වූ පිරිසක්‌ ජනතා අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමය. දැන් ඔහු නිරතව සිටින්නේ අලුත් මැතිවරණ ප්‍රකාශනයක්‌ සැකසීමේ කාර්යය කෙරෙහිය. දැනට තිබෙන අමාත්‍යාංශ සියල්ලම විද්‍යාත්මක පදනමක්‌ යටතේ අමාත්‍යාංශ 30 කට ඇතුළත් කිරීමට ඔහුට වුවමනා වී තිබේ.

 

ශ්‍රීලනිප ය දෙකඩ වී ඇතැයි මොරදෙන අයට, එය බොරුවක්‌ බව පෙන්වා දීමටත් පක්‍ෂයෙන් ගැලවී යා හැකි කුඩා පතුරක්‌ බවත් තහවුරු කර සන්ධානයට බලය ලබා ගැනීමට ඔහුට අවශ්‍ය වී තිබේ. ඒ සඳහා කල් ඉකුත් වූ ඇතැම් පරණ දේශපාලන චරිත වෙනුවට නැවුම් පිරිසක්‌ කැඳවීම ද ඔහුගේ අභිමතයයි. අගමැතිවරයකු නම් කරන්නැයි නැඟෙන ඝෝෂාව නිසරු දෙයක්‌ බව ඔහු කල්පනා කරන අතර සියලු ජන කොටස්‌වලට පිළිගත හැකි චරිතය ජනමතය සමග ගොඩනැඟෙන බව ද ඔහු කල්පනා කරයි.

 

ශ්‍රී ලංකාවට අද වුවමනා නිදහස්‌ ආණ්‌ඩුක්‍රමය තුළ ලියවුණු වචනවලට වඩා හදවතට හා බුද්ධියට ද බාහිරව හා අභ්‍යන්තරව ද දැනෙන සංවේදී අත්දැකීමක්‌ බවද ඔහු කල්පනා කරයි. කාරිය කෙරෙනතුරු ගෙන ගිය රැවටිලිකාර දේශපාලනය අද අවලංගු වී තිබෙන බව ද ඔහුගේ අදහසය. අප ලබා ගන්නා ඕනෑම ජයග්‍රහණයක්‌ එක්‌ සැණකින් පරාජයක්‌ බවට පත්විය හැකි යෑයි ද ඔහු ප්‍රකාශ කරයි. දේශපාලනඥයා ඉගෙන ගත යුත්තේ ජනතාවගෙන් බවත් තමා හරියෑයි ප්‍රශංසා කරන හඬ වෙනුවට තමන් ඇත්තටම හරි දැයි හෘදය සාක්‍ෂියෙන් විමසීමට දේශපාලනඥයා යොමු විය යුතු බව ද ඔහුගේ අවධාරණයයි.

 

ගාමිණී සුමනසේකර

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.