‘කවදාවත් රෝහලට බලන්න ආපු නැති ඥාතීන් එනව මරණ සහතිකය ඉල්ලගෙන යන්න’

‘ කවදාවත් රෝහලට බලන්න ආපු නැති ඥාතීන් එනව මේ රෝගීන් මැරුණාම මරණ සහතිකය ඉල්ලගෙන යන්න’ මානසික රෝගයකින් පෙලී සුවපත් වූ පුද්ගලයන්හට සමාජයේ අත්වන බලපෑම පිළිබඳව මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍යායතනයේ ( මුල්ලේරියාව මානසික රෝහලේ) අතරමැදි නිවස්නයේ 2 වන වාට්ටුවේ සේවය කරන හෙදියක් පැවසූ ආකාරයයි ඒ.
මුල්ලේරියාව මානසික රෝහලට සේවය සඳහා ඇය පැමිණ දැනට වසර 2 ක් වන අතර ඇගේ අත්දැකීම ඇය විස්තර කරනු ලැබුවේ ‘මේ වාට්ටුවේ ප්‍රතිකාර ගන්නෙ වයස අවුරුදු 65 ඉක්මවූ වයස්ගත ශාරීරිකව දුර්වල කාන්තාවන්. මේ අය හරිම ආසයි ගෙදරින් කවුරුහරි එනවනම් බලන්න. කවුරුවත්ම එන්නෙ නැහැ. සමහර අයට හොදට දේපළ මිළ මුදල් අයිති අය. ඒ අය මැරුණට පස්සෙ ඥාතීන් ඇවිත් මරණ සහතිකය ඉල්ලාගෙන ගිහින් ඒ දේපළ ටික අත්පත් කර ගන්නවා’

මුල්ලේරියාව මානසික රෝහලේ සිටින වයෝවෘද්ධ රෝගීන් ( 12 වාට්ටුව)

මුල්ලේරියාව මානසික රෝහල ක්‍රියාත්මක වන්නේ අතරමැදි නිවස්නයක් ලෙසිනි. මෙම රෝහලේ නේවාසික වන්නේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය ( අංගොඩ මානසික රෝහල) මගින් යොමු කරන රෝගීන් පමණි.
ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානම ජාතික මානසික රෝහල වන අංගොඩ මානසික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් පැමිණ ඇත්තේ පහත ආකාරයෙනි.

පසුගිය වසර 5 තුල අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර ගනු ලබන රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්වන අතර සුවවන රෝගීන් නැවත තම පවුල්වලට හා සමාජයට අනුගත වීමේ ගැටළුවක් පවතින බව රෝහලේ මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

අංගොඩ රෝහලට මානසික රෝගීන් ඇතුලත් කර ඇති ආකාරය

 

මානසික රෝග වලට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්වලට රෝගීන් ඇතුලත් වන ආකාර කිහිපයකි. තනිවම පැමිණ ප්‍රතිකාර ලබා ගැනීම, භාරකරුවෙකු සමග පැමිණ ප්‍රතිකාර ලබා ගැනීම වෙනත් රෝහලකින් මාරු කර එවීම සහ අධිකරණය හරහා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුකිරීම ඒ අතර ප්‍රධාන වෙයි. රෝගීන් සුව වූ පසු රෝහලෙන් පිට වී යාමට ගැටළු පවතින්නේ භාරකරුවෙකු හරහා පැමිණි රෝගීන් සඳහාය.

භාරකරුවන් සමග පැමිණ රෝහල් ගත කරන රෝගීන් සුව වීමෙන් අනුතුරුව රෝගියාව නැවත භාර ගැනීමට එම භාරකරුවන් අකමැත්ත පල කරයි. එසේ නැතිනම් ව්‍යාජ තොරතුරු සපයා රෝගියා රෝහලට භාර දීම හේතුවෙන් නැවත එම නිවෙස් කරා යැවීමට ගැටළුවක්ව පවතින බවයි රෝහල් මාධ්‍ය අංශය පවසන්නේ.
අංගොඩ රෝහල ගත්විට වසරකට 1% ක් පමණ වන රෝගීන් නැවත තම පවුල්වලට භාර දීමේ නොහැකි වන බව රෝහලේ තොරතුරු අංශයේ හෙදියක අප වෙත පැවසුවාය. ඇය පවසන්නේ

‘ඇතුළත්වන රෝගීන් 1000කට 10 දෙනෙකු විතර භාරකරුවන්ට භාර දීමට නොහැකිව ඉතිරි වෙනවා’ යනුවෙනි.

(මෙයට අදාළ දත්ත ලබා ගැනීමට අංගොඩ මානසික රෝහලේ තොරතුරු අංශයෙන් RTI පනත හරහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළද ඒ සඳහා නිසි තොරතුරු මේ වන තෙක් ලැබී නැති බැවින් අදාළ තොරතුරු ලබා ගැනීමට පනත හරහා කටයුතු සිදු කරමින් සිටී)

භාරකරුවන් භාර නොගත් සුව වූ රෝගීන්ට සෙත සැලසීමට අංගොඩ රෝහලේ ඇති Community Phsycastic Nurses or Phsycastric Social workers අංශ දෙක ක්‍රියාත්මක වේ. මෙම අංශ මගින් භාරකරුවන් සොයා රෝගීන් භාරදීම හා එසේ භාර දීමට නොහැකි අවස්ථාවලදී වෙනස් සමාජ ආයතවලට රැකවරණය පතා භාරදීම සිදුකරයි. මෙවැනි අවස්ථාවලදී කාන්තාවක් නම් මුල්ලේරියාව මානසික රෝහලට යොමු කිරීම සිදුවිය. එසේ කිසිවෙකුගේ රැකවරණයක් සොයා ගැනීමට නොහැකි වූ අනිකුත් රෝගීන් රෝහලේ තවදුරටත් නේවාසික රෝගීන් ලෙස රැදී සිටියි.

මුල්ලේරියාව මානසික රෝහලේ මෙසේ යොමු කරනු ලැබූ කාන්තා රෝගීන් 415  ක් පමණ සිටී. මේ වන විට අංගොඩ මානසික රෝහලේ අධීක්ෂණය යටතේ මුල්ලේරියාව මානසික රෝහල ක්‍රියාත්මක වේ.

මුල්ලේරියාව මානසික රෝහලට රෝගීන් යැවීම මේ වන විට අංගොඩ මානසික රෝහල විසින් සීමා කර ඇති අතර රෝගීන්ට හට යටිතල පහසුකම් ලබා දීමට ඇති අපහසුතාවය මේ සඳහා බලපා ඇත. අංගොඩ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය කපිල් වික්‍රමනායක මහතා අදාළ කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ මුල්ලේරියාව රෝහලේ යම් අයෙකු මිය යාමෙන් හෝ නිවසකට භාර දීමෙන් ස්ථානයක් හිස් වුවහොත් පමණක් අංගොඩ සිටින රෝගියෙකු එම රෝහල වෙත යොමු කරන ලෙසයි.

‘මුල්ලේරියාව නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 200 දෙනෙකුට පමණ නිවාස වල සිට ප්‍රතිකාර කිරීමට හැකියාව තියෙනවා’ යනුවෙන් මුල්ලේරියාව අතරමැදි නිවස්නයේ වෛද්‍ය ජනක මහතා පවසා සිටී.

මුල්ලේරියාව මානසික රෝහලේ නේවාසික කාන්තාවන්

මුල්ලේරියාව අර්ධනිවස්නයේ ප්‍රතිකාර ලබන වයස අවුරුදු 28 ක පමණ තරුණියක් කියූ කතාව මෙසේය

මම පොඩිකාලෙ මගේ දෙමාපියන් මැරිලා. මට නංගි කෙනෙක් ඉන්නවා. මට මතක මම විජේරාමෙ ‘මෙත් සෙවනෙ’ ඉන්නවා. එහෙන් තමයි මාව එව්වෙ අංගොඩ රෝහලට. සනීප වුනාට පස්සෙ මාව ගෙදර යැව්වා. ගෙදර තියෙන්නෙ බණ්ඩාරවෙල. ගෙදර දැන් නෑ. මම ගියා නංගිගෙ ගෙදරට. එහෙ යනකොට නංගිගෙ මහත්තයා මාව පන්න ගත්තා. මට මිදුලටවත් යන්න දුන්නෙ නැහැ. ආපහු ආවා අංගොඩ රෝහළට. එහේ ලොකු දොස්තර මහත්තයා මෙහේට එව්වා. දැන් මෙහේ අවුරුදු 4 ක් විතර ඉන්නවා. මම මෙහේ ක්ලීනින් සර්විස් එකේ වැඩ කරලා සල්ලි හම්බකර ගන්නවා. දැන් ලක්ෂ 5 ක් විතර මගේ බැංකු පොතේ තියෙනවා.

තිලකා සහ කාන්තිගේ අත්දැකීම
මානසික රෝගයකින් පීඩාවනට පත්වන කාන්තාවන්ට මෙන්ම ඇගේ දරුවන්ටද ඉතා ඛේජනක අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදුවේ.


මේ ඡායාරූපයේ සිටින්නේ මුල්ලේරියාව අතරමැදි නිවස්නයේ ප්‍රතිකාර ලබන මල්වානේ පදිංචිව සිටි තිලකා නම් මව සහ සුමිත්‍රා නම් ඇගේ දියණියයි. මෙම මව මුලින් මානසික ආබාදයකට ගොඳුරුව අංගොඩ රෝහලේ ප්‍රතිකාර ගෙන ඇත. ඒ අතරතුර සුමිත්‍රාව ඇගේම පියා විසින් ලිංගිකව අපයෝජනය ලක්කොට දරුවෙකු පිළිසිඳ ගෙන තිබේ. දරුවා බිහිවූ පසු එම දරුවාව වෙනත් අයෙකුට භාර දීමට සුමිත්‍රාගේ පියා කටයුතු කර ඇත. මේ සිදුවීම දරා ගැනීමට නොහැකිව සුමිත්‍රාද මානිසික රෝගියෙකු බවට පත්විය. ඒ අනුව මව සහ දියණිය දෙදෙනාම මානසික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් නිවසේ සිට ප්‍රතිකාර ගැනීමට සුදුසු තත්වයක පසුවේ. නමුත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ව තම පවුල්වලට භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි. මේ දෙදෙනා දැනට රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවය කර මුදල් උපයා ගනිති.

ශ්‍රී ලංකාව තුල මානසික රෝගීන්ගේ වර්ධනයක්
ලංකාව පුරා විසිරී සිටින මානසික රෝගීන් සංඛ්‍යාවේ වාර්ධනයක් පෙන්වන බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති දත්ත මගින් පැහැදිලි වේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව ලෝක ජනගහනයෙන් 15.2% (WHO 2016) ක ප්‍රතිශතයක් මොනයම් හෝ මානසික රෝගයකින් පෙලෙති.

මානසික රෝගවලට ප්‍රතිකාර ගැනීමට මැලිකම
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා අංශයේ හෙද නිලධාරී දෙපාර්තමේන්තුව විසින් 2017 සිදු කරන ලද සමීක්ෂණයකට අනුව සමජය විසින් මානසික රෝගීන්ට දක්වන පිලිකුළ හේතුවෙන් මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයන් 53% ක් අඛණ්ඩ ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් වැලකී සිටී.

මානසික රෝගයකින් සුව වී නිවසට පැමිණ ජීවත් වන වයස අවුරුදු 22 ක දියණිය පිළිබඳව ඇගේ මව වන අගනගරයේ සේවය කරන ගුරු මවකගේ අදහස් …
අපේ දුවට මේ වගේ ලෙඩක් හැදුනා කියල අපි කාටවත් කිව්වෙ නැහැ. මේ ගැන දන්නෙ ඥාතීන් කිහිප දෙනෙක් විතරයි. හොරෙන් තමයි ප්‍රතිකාර කලේ. දරුවව සමාජෙන් කොන් වෙයි කියල අපි බයයි. දැන් අපි නෑදෑයොත් එක්ක තියෙන සම්බන්ධකම් ඉතා ඈතින් තමයි තිය ගන්නෙ. කවුරුවත් අපේ ගෙදර එන්නෙත් නෑ. අපි කොහාටවත් යන්නෙත් නැහැ. යනුවෙනි.

මානසික රෝගයක් වැළදුනු පුද්ගලයෙකු සමාජ ගත කිරීම පිළිබඳව අදහස් දැක්වූ මනෝ වෛද්‍ය රංජන් මහතා

‘මානසික රෝගීන් යම් නොසලකා හැරීමට ලක්වෙනවා. එහි යම් ගැටළුවක් තියෙනවා. මේකත් වෙනත් රෝග වගේම තමයි. ඖෂධ මගින් පාලනය කළ හැකි රෝගී තත්වයක්. මොලයේ රසායනික වෙනස්වීමකින් වෙන දෙයක්. අනික රෝගයක් නිසා කණ්ඩායමකට වෙනස් කොට සැලකීම අසාධාරණයක්.

වෛද්‍යවරු විදිහට අපට පුළුවන් ශරීරයේ ඇතිවෙලා තිබෙන රසායනික විපර්යාසයට බෙහෙත් දෙන්න. නමුත් රෝගියාගේ මනස හැදීම, සමාජයට අනුගත කිරීම රෝගියාගේ අවට සමාජයේ වගකීමක්’ යනුවෙන් වෛද්‍යවරයා සමාජයේ වගකීම පැහැදිලි කලේය.

‘මානසික රෝගීන් භයානක මිනිස්සු කියල පොඩි කාලෙ ඉදන්ම පුරුදු කරනවා. ‘බත් කෑවෙ නැතොත් අර පිස්සාට දෙනවා කියනවා. සමාජයේ තියෙන මේ වැරදි ආකල්පය නැති කරන්න එක පිළියමක් තමයි පාරෙ අතන මෙතන සිටින මානසික රෝගීන් හොයලා ඒ අයව සුවපත් කරන්න සමාජය විසින් උත්සාහ ගැනීම’ වෛද්‍යවරයා තවදුරටත් පැහැදිලි කලේය.

අංගොඩ රෝහලේ සේවය කරන හෙද නිලධාරිණියක් මානසික රෝගීන්ට ඇති සමාජ පිලිගැනීම ගැන අදහස් දක්වමින්

‘තවමත් සමහර බස් වලින් කියනව අංගොඩ පිස්සන් කොටුව ළඟ බහින්න කියල. මෙම රෝගීන්ට සමාජයේ දක්වන අඩු සැලකිල්ල වහාම නවත්වන්න ඕනි’

කුමුදුනී විජයවර්ධන විසිනි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.