කවුද මේ නිර්මාල් රංජිත් දේවසිරි?

maxresdefault (1)

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මුල් වරට මට හමු වන්නේ 1992 වසරේදී කොළඹ සරසවියේදීය. විෂයන් කිහිපයක් සම්බන්ධයෙන්ම මගේද ගුරුවරයෙකු වූ ඔහු එකලමෙකල ලංකාවේ දේශපාලනය තුළ අපූරු සටහන් තැබූ පුද්ගලයෙකු විය.

ඔහු පිළිබඳ මා අසා ඇති කරුණු අනුව ඔහු මුල්වරට දේශපාලනයට අත්පොත් තබන්නේ ජනතා විමුක්ති පෙරමුණෙනි. 1983 කලු ජූලියේදී මොරටුව පෙදෙසේ කුඩා දෙමළ කඩයකට පහරදී එය කොල්ලකෑමට තමන්ද හවුල් වූ අයුරුත්, එදා තමන් තුළ පැවති වර්ගවාදී මානසික තත්වය ගැනත් ඔහු සංවේගයෙන් විස්තර කරන අයුරු මෙරට බොහෝ දෙනෙකු අසා ඇතුවාට සැක නැත.

පසුව සරසවි සිසුවෙකු ලෙස කොළඹ සරසවියේදී ස්වාධීන ශිෂ්‍ය සංගමයේ (පසුව ප්‍රා සංවිධානය බවට පත් වූ) සාමාජිකයෙකුව එහි ලේකම් ධූරයට පත් වන ඔහු එහි නායකයා වූ දයා පතිරණ ඝාතනයෙන් අනතුරුව ජවිපෙ මර්ධනය කිරීම සඳහා ස්වාධීන ශිෂ්‍ය සංගමය එවක පැවති එජාප රජයේ අවි අතට ගන්නා විට ඊට විරුද්ධව එයින් ඉවත් විය.

අනතුරුව ප්‍රා සහ ජවිපෙ ඝාතන ලයිස්තුවල ප්‍රමුඛ ඉලක්කයක් වූ ඔහු එවක පැවති භීෂණය අවසන් වන තුරුම ගෙවූයේ රහසිගත සැඟවුණු ජීවිතයකි. 1992 දී නැවත සරසවි ආචාර්යවරයෙකු ලෙස කොළඹ සරසවියේ කටයුතු අරඹන ඔහු එවක එජාප රජය යටතේ පැවති සකලාකාර මර්ධනය එරෙහිව පුරවැසි පෙරමුණු ගණනාවක් ඔස්සේ කටයුතු කළේය. මට මතක ඇති එවැනි එක් සුවිශේෂ කරුණක් වන්නේ ඔහුද සම්බන්ධව එකල පල කළ යුක්තිය පුවත්පතයි.

යුක්තිය එකල මරා දැමුණු සහ රැඳවුම් කඳවුරුවල ගාල් කර සිටි දසදහස් ගණනක් වූ ජවිපෙ සාමාජිකයන් ගැන මෙන්ම උතුරේ යුද්ධය හේතුවෙන් එබඳුම හිංසා පීඩාවන්ට ලක්ව සිටි දෙමළ තරුණතරුණියන්ගේ මිනිස් අයිතීන් ගැනද, පැවති එජාප රජයේ මිනීමරු තිරස්චීන බව ගැනද නොබියව කතා කලහ. හතර වන තට්ටුව එකල නිර්මාල්ට නිතර යන්නට එන්නට සිදු වූ තැනක් බව මම අසා ඇත.

උග්‍ර යුද විරෝධියෙකු වූ නිර්මාල් මහාචාර්ය නලින්ද සිල්වාගේ යුදවාදී සිංහල බෞද්ධ ජාතිවාදය නිර්දය විවේචනයට ලක් කළේය. දෙමළා සහ මුසල්මානුවා ද්වීතියීක පුරවැසියන් වන සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීමේ නලින්ද සිල්වාගේ අදහසට ප්‍රතිවිරුද්ධව නිර්මාල්ගේ අදහස වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණය සහ පුරවැසි වටිනාකම් රජයන වෙනත් බහුත්වවාදී මිනිස් සමාජ ක්‍රමයකට අප විතැන් විය යුතු බවය. මේ හේතුවෙන්ම නලින්ද සිල්වාගේ නොමඳ වෛරයට පාත්‍ර වූ නිර්මාල්ට නලින්ද සිල්වා දේශනවලදී බැන වැදුනේ ශිෂ්ටත්වයේ අද්දරටම යන කුප්ප කතා කියමිනි. නලින්ද සිල්වා උපාධි දේශනවලදී නිර්මාල්ව සහ ජයදේව උයන්ගොඩව හැඳින්වූයේ අරූ, මූ, කාලකන්නියා, බල්ලා, අවජාතකයා, පරගැතියා, අවලමා වැනි වචනවලිනි. එහෙත් නිර්මාල් හෝ උයන්ගොඩ කිසි දිනෙක නලින්ද සිල්වාට එලෙස අමතනු මම අසා නැත්තෙමි.

එකල කොළඹ උපකුලපතිවරයා වූ ජී.එල්. පීරිස් නලින්ද සිල්වාව සේවයෙන් නෙරපීමට එරෙහිව ප්‍රසිද්ධියේ ජී.එල්. පීරිස්ව විවේචනය කළ එකම ආචාර්යවරයාද නිර්මාල්ය. එවක මමද සාමාජිකත්වය දැරූ කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූ කරුණාරත්න පරණවිතාන නලීන්ද සිල්වා නැවත සේවයේ පිහිටුවීම සඳහා ජී.එල්. පීරිස්ට බලරීම සඳහා කොළඹ සරසවියේ සියලු ආචාර්යවරුන්ගේ සහ සිසු සිසුවියන්ගේ හමුවක් නවකලාගාරයේදී කැඳවීය. අතුරු සිදුරු නොමැතිව පිරුණු ශාලාවේ දැවැන්ත වේදිකාව හිස්ව පැවති අතර එහි අසුන් ගෙන සිටි එකම ආචාර්යවරයා නිර්මාල් පමණි. එහි කතා කළ එකම ආචාර්යවරයාද නිර්මාල්මය.

 

 

 

1994 දී 17 වසරක් පුරා ලංකාව විනාශයට දැක්වූ එජාප පාලනය පෙරලා දමා චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒම සඳහා දැවැන්ත සමාජ මතකයක් නිර්මාණය කලවුන් අතර නිර්මාල්ද ප්‍රමුඛයෙකි. අනතුරුව චන්ද්‍රිකා රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපයත් සමගම නිර්මාල් එහි නිර්දය විවේචකයෙකු බවට පත් විය.

පසුව එක්ස් සංවිධානය පිහිටුවාගනිමින් පුද්ගල සමාජ දේශපාලනයේ නව ඉම් ගවේෂනයේ යෙදුනු නිර්මාල් අනතුරුව එයින්ද ඉවත් විය.

උග්‍ර යුද විරෝධියෙකු වූ ඔහු සකලාකාර මර්ධනයට, ඝාතනයට සහ බලහත්කාරයට ජාති, ආගම්, කුල හෝ දේශපාලන පක්ෂ භේදයකින් තොරව විරුද්ධ විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස නිදහස් අධ්‍යාපනය සඳහා ජාතික අයවැයෙන් 06% ක ප්‍රතිශතයක් වෙන් කළ යුතු බවට ඔහුගේ නායකත්වයෙන් කළ අරගලය නිල වශයෙන් පිලිගත් වර්තමාන රජය එය ප්‍රතිපත්තියක් ලෙස තම අතුරු අයවැයෙන් පිලිගත්තේය.

ඔහුගේ නූතනම සමාජ දේශපාලනික මෙහෙවර වූයේ පවුල්වාදී ඒකාධිපතිත්වයක් කරා යමින් පැවති රාජපක්ෂ රෙජිමය පරදා විධායක ජනාධිපති ධූරය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පවරණ පොදු අපේක්ෂකයෙකු කරලියට ගෙන ඒමේ වෑයමයි. මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයත් සමගම කරලියට පැමිණි එම ක්‍රියාවලිය එහි දෙවන අදියර ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ අතර ඉතිරි සංශෝධන කරාද එය සාර්ථකව ගමන් කරමින් තිබේ.

නිර්මාල් බුදු කෙනෙකු නොවේ

නිර්මාල්ගේ සමස්ත බුද්ධිමය සහ දේශපාලන ජීවිතය පුරා එක් සුවිශේෂ ලක්ෂණයක් නිරන්තරයෙන් ප්‍රභාමත්ව දිදුලයි. කෙතරම් ප්‍රමුඛ දේශපාලනයක නියැලුනද සිය වෘත්තිය හා සම්බන්ධ නොවන කිසිදු තනතුරක් වරදානයක් ඔහු කිසිම රජයකින් කිසිම කලක ලබා නැත. විවිධාකාර සංවිධාන සමඟ වැඩකලද ඔහු කිසි කලෙක කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක සේවකයෙකු, ප්‍රධානායෙකු හෝ ඒවායින් වැටුප් ලබන්නෙකුව හිඳ නැත. ඔහු සම්බන්ධව සිටි කිසිදු ව්‍යාපාරයක සිටි කිසිවෙකු ඔහුට එරෙහිව මූල්‍ය වංචා පිළිබඳ චෝදනා හෝ දුරාචාරය පිළිබඳ චෝදනා නඟා නැත.

ඔහුගේ එකම ආදායම් මාර්ගය විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස ඔහු ලබන වැටුප පමණි. ඔහුගෙන් රටට ලැබෙන බුද්ධිමය දායකත්වයට අපි ඔහුට වැටුප් ගෙවුවද, ඔහුගෙන් රටට ලැබෙන දේශපාලන දායඅකක්වය වෙනුවෙන් ඔහු කිසිවෙකුගෙන් කිසිවක් ලබාගෙන නැතුවා පමණක් නොව ලබා ගැනීමට සූදානමක්ද නැත. දියුණු පුරවැසියෙකු ලෙස ඔහු එය කරන්නේ නිසරනාධ්‍යාශයෙනි. ධනය ඉපයිය හැකි තනතුරු වරදාන පසුපස උමතුවෙන් දිවයන ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව අතර ඔහු අපූරුම මිනිසකු වන්නේද ඒ නිසාමය.

නිර්මාල් බුදු කෙනෙකු නොවේ. එබැවින් පුහුදුන් මිනිසෙකු වන ඔහුගේ දර්ශණයේ මෙන්ම ක්‍රියාකාරීත්වයේද අනෙක් ඕනෑම මිනිසෙකුගේම මෙන් ඇති තරම් අඩුලුහුඩුකම් ඇතුවාට සැක නැත. එහෙත් ඕනෑම අයෙකු සමග විවෘත සාකච්ඡාවට එළඹ ඒවා විමසීමේ අපූරු ප්‍රජාතන්ත්‍රවාදී ගුණය ඔහුට තිබෙන බව ඔහු ඔබ බොහෝ දෙනෙකු සමඟ මේ මුහුණු පොතේම විවෘතව කරන සාකච්ඡාවලදී ඔබ දැක ඇතුවාට සැක නැත.

මහින්දගේ හා විමල්ගේ නූගත් මැරයෝ පසුගිය දිනෙක මැයි රැළියක් නරඹන්නට යාමේදී මේ නිරායුද මිනිසාට පහර දුන්හ. අප ඊට විරෝධය පල කරන විට ඔහුට පහර දීම ගැන අපමණ සතුටට පත්ව එය අගයා, ඒ පිළිබඳව උද්දාමයට පත්ව මෙහි සටහන් තබන්නට තරම් අශික්ෂිත සිවිල් වැසියන් පමණක් නොව බෞද්ධ භික්ෂූන්ද මෙහි සිටින බව දැකීමෙන් මා තුළ ඇති වූයේ දැවැන්ත පිලිකුලකි. මෙවැන්නෝ ඇතැම් විටෙක නිර්මාල් ගැන නොදන්නෝ විය හැක. මේ සටහන එබඳු අශික්ෂිතයන්ට තමතමන්ගේ ජීවිතවල අරුත කුමක්ද යන්න ගැන නැවත සිතා බැලීමට කෙරෙන ආරාධනාවක් මෙන්ම මගේ යුගයේ මේ අපූරු ප්‍රජාතන්ත්‍රවාදියාට කෙරෙන උපහාරයක්ද වේ.

නිර්මාල් ඔබට ඉක්මන් සුව !

[ශ්‍යාමන් හේමකොඩි]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.