ක්ෂේණුකා වෙනුවෙන් මංගල පෙනී සිටී

 download (65)

කාලීන දේශපාලනික කරුණු කාරණා කිහිපයක් සංවාදයට බඳුන් කරමින් පැවැත්වූ සාකච්ඡාවකි මේ.

* විදේශ ප්‍රතිපත්තිය හැසිරවීම සම්බන්ධයෙන් සෑහෙන දුර්වල බවට ප්‍රබල විවේචනයක්, පසුගිය රජය සම්බන්ධයෙන් සමාජගත ව තිබුණා. දැන් ඒ තත්ත්වයේ වෙනසක් වී තියෙනවා ද?

පැහැදිලිව වෙනසක් සිදුව තියෙනවා. විශේෂයෙන් ම අවුරුදු ගණනාවකට පස්සේ ජාත්‍යන්තරය අද අපිව විශ්වාස කරන්න පටන් ගෙන තියෙනවා. පසුගිය කාලයේ මේ රට ගැන කිසි විශ්වාසයක් පිටස්තර ලෝකයට තිබුණේ නැහැ. නමුත්, පසුගිය ජනවාරි 08 වැනිදා ඇති වූ ඒ ඓතිහාසික බල පෙරළියත් එක්ක, ඒ තත්ත්වය මේ වන විට මුළුමනින්ම වෙනස් වී තියෙනවා. මේ රටේ දේශපාලනඥයන් පිළිබඳව රාජ්‍ය සේවය පිළිබඳව, අධිකරණ පද්ධතිය ගැන පෙර නොවූ විරූ විශ්වාසක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ නිර්මාණය වී තියෙනවා. ඒ විශ්වාසය තුළ ජයග්‍රහණ රැසක් මේ වන විට ලැබී තියෙනවා.

1987 වසරෙන් පසුව, පළමුවරට ඉන්දියාවේ අගමැතිවරයෙක් නිල සංචාරයක් සඳහා ගිය මාසේ ශ්‍රී ලංකාවට ආවා. ඒ එක්කම ඉදිරියේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට නියමිතයි. ඊළඟට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කිරීමට සූදානම් වුණු වාර්තාව මාස හයකට කල් දමා ගැනීමේ හැකියාව අපිට ලැබුණා. ඒ විදියට බලත්දි ඒ‍ පෙරමුණ තුළ සෑහෙන ලොකු දිනුමක් මේ කෙටි කාලය තුළ අපි ලබා තියෙනවා.

* ඔබ ඔය කියන තරම් ලොකු දිනුමක් ලබන්න හේතු වුණ විදේශ ප්‍රතිපත්තියේ ඇතිවුණ වෙනස මොකක් ද කියලා මම දැනගන්න කැමතියි?

මහා ‍ලොකු රහසක් එතැන නැහැ. ප්‍රතිපත්තියක් විදිහට, අපි ඇත්ත කියන, බොරු නොකියන, සද්භාවයෙන් වැඩ කරන ආණ්ඩුවක්. අවුරුදු හැට හයක ඉතිහාසයක් තියෙන අපේ විදේශ දූත සේවාව, ඉතාම නිර්ලජ්ජිත ආකාරයට පසුගිය කාලයේ දේශපාලනිකරණය වී තිබුණා. ලෝකයේ වැදගත්ම සමාජ ආර්ථික දේශපාලන මර්මස්ථානවලට අපේ රටින් යවල‍ තිබුණේ ‍‍දේශපාලනඥයින්ගේ ඥාතීන්ව නැත්නම්, ඒ අයගේ ගජමිතුරන්ව.

උදාහරණයක් විදියට ජාත්‍යන්තර ආයුධ ජාවාරමක් සම්බන්ධයෙන් මේ දවස්වල නම කියවෙන උදයංග වීරතුංග වගේ කෙනෙක් අවුරුදු නවයක් එක තැනක තානාපති වී සිටියා. රුසියාවේ තානාපති ධුරයට පත්වෙන්න තරම් ඔහුට කිසිම සුදුසුකමක් තිබුණේ නැහැ. තිබුණු එකම සුදුසුකම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඥාතී සහෝදරයෙක් වීම විතරයි. පැහැදිලිවම, උදයංග කියන්නේ එක් කෙනෙක් විතරයි. ඒ වගේ අය තව ගොඩක් හිටියා. පුස්සෝ ටිකක් විදේශ දූත සේවාවට පත් කරපු රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ය කියලා, ඩොලර් මිලියන ගණන් නිකරුණේ මහජන සම්බන්ධතා ආයතනවලට වියදම් කළා. ඒ සමහර අවස්ථාවල දී සල්ලි වියදම් කරලා තියෙන්නේ, අවම තරමින් කැබිනට් අනුමැතියක්වත් නැතුවයි. ඒ තත්ත්වය වෙනස් කිරීමට අපි දැනටමත් මුල පුරා තියෙනවා. තානාපති සේවාවේ සිටි නුසුදුස්සන්ව ආපසු කැඳවමින් ඉහළ වෘත්තිමයභාවයක් ඊට ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා.”

* මම ඇහුවේ ප්‍රතිපත්තියක් විදියට අපි ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලයි.

එතැනට තමයි, මම එන්නේ. මූලිකවම මෙතැනදි අපිට ජාත්‍යන්තරය අමතක කර කටයුතු කිරීමේ, හැකියාවක් නැහැ. විශේෂයෙන් ම කුඩා රටක් හැටියට තව දුරටත් හුදෙකලා ගමනක් අපිට නැහැ. බැහැර කිරීම වෙනුවට ලෝකය වැලඳ ගැනීම, අපි අපේ ප්‍රතිපත්තිය විදිහට සලකනවා. ඒ නිසා ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න අපි සූදානම්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පිටතින් දියුණු ලෝකයක් ඇති බව අපි විශ්වාස කරනවා. අපේ රට දියුණු කිරීමට, රටක් ලෙස ඉදිරියට යෑමට ඒ දියුණු ලෝකයේ සහයෝගය අවශ්‍යයි කියන කාරණයත් අපි රජයක් හැටියට පිළිගන්නවා. අනිවාර්යයෙන්ම අපේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වන්නේ දෘෂ්ඨිවාදයන් මත පදනම් ව නෙමෙයි. ඒක තීරණය වන්නේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන් මතයි. අපේ විදේශ ප්‍රතිපත්තිය, ඒ තරම් සරල එකක්.

 

 

* පසුගිය කාලයේ සෑහෙන කතාබහට ලක් වුණු ආන්දෝලනාත්මක චරිතයක් වූ ක්ෂේනූකා සෙනෙවිරත්න මහත්මියව අපේ තානාපතිනිය හැටියට තායිලන්තයට යැවීම සාධාරණීයකරණය කරන්නේ ඔය විදේශ ප්‍රතිපත්තියේ කොතැනින් ද?

ජ්‍යෙෂ්ඨත්වය අතින් ඇය අපේ විදේශ දූත සේවාවේ ඉන්න තුන්වැනි ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය. ඒ නිසා සක්‍රීය සේවාවේ සිටින කෙනෙක් හැටියට විදේශ දූත සේවාවේ පුරප්පාඩු පිරවීමේ දී ඇයව නොසලකා හැරීමේ තාර්කික හැකියාවක් නැහැ. ඒ නිසා අපි ඇයව තායිලන්තයට නම් කර තියෙනවා.

* නමුත්, ඇගේ ක්‍රියාකාරීත්වය, අතීත වැඩ වාර්තාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ බරපතළ විරෝධයක් සමාජගත ව තියෙනවා.

අපි මෙතැනදි අපේ නිර්දේශ ඉදිරිපත් කර තියෙනවා. පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කමිටුව ඒ පිළිබඳ සුදුසු තීරණයක් ගනීවි. සෙනෙවිරත්න මහත්මිය සම්බන්ධයෙන් ඇති ඔය විරෝධයන්, චෝදනා පිළිබඳ අනිවාර්යයෙන්ම ඔවුන් එතැනදි ඇයව කැඳවා විමසීමක් කරාවි.

* යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් දැන් දවස් 85 ක් වෙනවා. මේ කාලය තුළ අර කරනවා කියලා එදා පොරොන්දු වුණු වෙනස කරන්න පුළුවන් වෙලා තියෙනව ද කියලා සමහරු ප්‍රශ්න කරවා.

ඇයි අපි වෙනස් කරලා නැද්ද? රාජපක්ෂ පාලනය ආණ්ඩු බලය හොබවපු අවුරුදු 09 ක කාලය මේ දින 85 ක කාලය සමඟ සන්සන්දනය කරලා බලද්දී පැහැදිලි කැපී පෙනෙන වෙනසක් රටේ සිදුව තියෙනවා. ඒ අය මන්ත්‍රීවරු 161 ක් එක්ක අවුරුදු 09 ක කරපු වැඩ වගේ දසගුණයකට වඩා කාර්යක්ෂම, ඵලදායී සේවාවක් මේ රටට හා ජනතාවට මන්ත්‍රීවරු හතළිස් ගණනක් එක්ක අපි පසුගිය කාලේ කරලා තියෙනවා.

එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා බලය ගත්ත රාජපක්ෂ ආණ්ඩුව එක රැයකින් 18 වැනි සංශෝධනය ගෙනත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය කුඩු කරලා දැම්මා. ස්වාධීන කොමිෂන් සභා නැති කරමින් හොරකම, මැරකම, ඥාති සංග්‍රහය නීතිගත කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් දේශපාලන පක්ෂ හැම එකක්ම කඩා විනාශ කිරීමට කටයුතු කළා. තම දුෂ්ට දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලනඥයන් සල්ලිවලට බිළී බා ගත්තා. දේශපාලන විරුද්ධවාදීන්ට නොයෙක් අඩන්තේට්ටම් කළා. තමන්ට විරුද්ධව ඡන්දය ඉල්ලපු සරත් ෆොන්සේකා මහත්තයා ව හිරේ යැව්වා.

එදා ඒ හිරිහැර කළේ සරත් ෆොන්සේකා මහත්තයාට නෙමෙයි. මේ රට සමස්ත හමුදාවට යි. ඒ වෙනුවට අපේ ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ? ප්‍රථමයෙන් ම අපි නීති විරෝධී ආකාරයන් ධුරයෙන් පහ කරන ලද අගවිනිසුරුතුමිය ව ධුරයේ පිහිටුවමින් එදා සිදු වුණු ඒ ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කළා. ඒ හරහා මේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳ ප්‍රබල විශ්වාසයක් ජාත්‍යන්තරය තුළ තහවුරු කිරීමේ හැකියාව අපිට ලැබුණා. යුද ජයග්‍රහණය වෙනුවෙන් මේ ර‍ෙට් සමස්ත රණවිරුවන් සමඟ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ, ඊට අවශ්‍ය හමුදා නායකත්වය සැපයූ සරත් ෆොන්සේකා මහතාට හිමි විය යුතු නිසි තැන අපි මේ දින 85 තුළ ලබා දුන්නා. එතුමාට සිදු වූ අසාධාරණයන් නිවැරදි කිරීමට අපි කටයුතු කළා. ෆොන්සේකා මහත්මයාට ෆීල්ඩ් මාෂල් තනතුරක් ලබා දෙමින් එතුමාගේ පමණක් නොව සමස්ත හමුදාවේ ම ආත්ම ගරුත්වය ආරක්ෂා කර දීමට අප කටයුතු කළා.

ඒ එක්කම පොලිස් දෙපාර්තමේන්තුවට වෘත්තිමභාවයක් අපි ලබා දුන්නා. අද දේශපාලනඥයෝ පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. දේශපාලන බලය පාවිච්චි කරමින් ප්‍රතිවිරුද්ධ මතධාරීන් ට හිරිහැර කරන කැත ක්‍රමය අපි නැති කළා. හොරකම් මැරකම් කරපු අයට කැලෑ නීතිය වෙනුවට නීතියේ පාලනය යටතේ දඬුවම් දෙන්න අපි එකඟ වුණා. දැන් ඒ කටයුත්ත හරියට කෙරී ගෙන යනවා. ඉදිරියේ දී මොකද වෙන්නේ කියලා බලන්න.

පසුගිය ආණ්ඩුව ප්‍රදර්ශනය කළ බොරු සෝබනය, පුහු මහන්තත්තකම වෙනුවට, සරලකම පසුගිය කාලයේ අපි පෙන්නුවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, කැබිනට් ඇමැතිවරු ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නලා තියෙනවා. ආරක්ෂකයෝ පිරිවරා නොගෙන, සුඛෝපභෝගී වාහන මන්දිර භාවිතාවකින් ‍තොරව, මහජන මුදල් නිකරුණේ නාස්ති නොකරමින් සෑහෙන සරල ජීවන රටාවක් ආණ්ඩුවේ සාමාජිකයන් හැටියට පසුගිය කාලේ අපි පෙන්නලා තියෙනවා. අවුරුදු ගානක් තිස්සේ කුණු වෙමින්, ගඳ ගසමින් පැවැති සමාජයක් මීටර් 100 තරගයක් දුවනවා වගේ ඉක්මනින් ඉවර කරන්න බැහැ. මේක මැරතන් එකක්. ඒක ජනතාව තේරුම් ගත යුතුයි.”

* යුරෝපා සංගමය නැවත වතාවක් එල්.ටී.ටී.ඊ. ය තම තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළු කර තියෙනවා. මේක තමන් ලැබූ ලොකු දිනුමක් කියලා ආණ්ඩුව කියන්නේ මොන පදනමකින් ද?

“ඒ අපි ඒ වෙනුවෙන් කැප වුණු නිසයි. ඒ නිසා ඒ ගැන කතා කරන්න අපිට සාධාරණ අයිතියක් තියෙනවා. එදා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්න කියලා යුරෝපා අධිකරණයේ නඩු දාපු අවස්ථාවේ දී රාජපක්ෂ රෙජිමය ඒ නඩුවට නීතිඥයන් ඉදිරිපත් කරල, අපේ රට වෙනුවෙන් කරුණු කිව්වේ නැහැ. ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුව යුරෝපයේ එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන එකට කැමැත්තෙන් හිටියා. එත‍කොට එල්.ටී.ටී.ඊ යේ විදේශ වත්කම් නිදහන් වන තත්ත්වයක් තුළ තම සුරතලා වුණු කේ.පී හරහා ඒවා ඇද ගැනීමට රාජපක්ෂවරු මාන බැලුවා.

එදා ඒ අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටී.ටී.ඊ තහනම ඉවත් නොකරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියා. විපක්ෂයේ හිටියත් රජය කළ යුතු දේ එදා එතුමා කළා… රට ගැන තියෙන හැඟීම නිසයි එතුමා එහෙම කළේ. මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ආණ්ඩුවක් හැටියට අපි යුරෝපා සංගමයට දිගින් දිගටම කරුණු කිව්වා. එහි ප්‍රතිඵල අද ලැබී තියෙනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

 

mangala-and-mahinda-

 

* ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එකතු වීම සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයක් රටේ නිර්මාණය වී තියෙනවා. ඔබ ඒ සංවාදයට එකතු වෙන්නෙ මොන විදියට ද?

මම ඒ දිහා බොහොම සාධනීයව බලනවා. මේක වැදගත් අවස්ථාවක්. මේ රටේ එකමුතුභාවය සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට පමණක් සීමා නොවිය යුතු යි කියලා මම විශ්වාස කරනවා. දේශපාලනඥයන් විදියට අපිටත් එකමුතු වීමට හැකියාවක් තිබිය යුතුයි. එහෙම බලද්දි ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවේ වගකීම් භාර ගැනීම වැදගත් සිද්ධියක්. ඉතිහාසයේ පළමු වතාවට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක් වී වැඩ කරන ගමන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින ද්‍රවිඩ, මුස්ලිම් හා ව‍ෙම් පක්ෂවල සහයෝගය ද ලබා ගෙන තියෙනවා. මෙතැන තියෙන සුවිශේෂීත්වය ඒකයි. අපි ජාතික ආණ්ඩුවක් හදනවා කිව්වේ ඡන්දෙන් පස්සෙයි. නමුත්, දැන් ඡන්දෙට පෙර ම ජාතික ආණ්ඩුවක් නිර්මාණය වී තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනඥයන් ප්‍රසිද්ධ වී තියෙන්නේ කියන දේ නොකරන කට්ටියක් කියලයි. නමුත්, අපි පොරොන්දු වුණු දින 100 ටත් කලින් ජාතික ආණ්ඩුවක් හැදුවා.

* ඒ හැදුවේ දේශපාලනික අවශ්‍යතාවක් නිසා මිසක රට ගැන හිතලා නෙමෙයි නේද?

ඒ කතාව වැරදියි. මෙතැනදි අපි කලින් කිව්වා වගේ රටට ආදර්ශයක් ලබා දී තියෙනවා. ඒක වැදගත් නැද්ද? බලය රැකගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මෙතැන තිබුණේ නැහැ. කොහොමටත් අපි ළඟදීම මහ ඡන්දෙකට යනවා. ඒ ඡන්දේ රටේ සියලු දෙනා ජයග්‍රාහකයන් කරන මැතිවරණයක් වෙන එක දැන් වළක්වන්න බැහැ. ඇත්තටම ඒ ඡන්දෙන් තෝරන්නේ අගමැති කවුද කියන එක විතරයි. ඉතිහාසයේ පළමු වතාවට පරාජිතයෙක් නොමැති ඡන්දයක් ඉදිරි මහ මැතිවරණයක දී ඔබට දැක බලා ගන්න පුළුවන් වේවි.

* කොහොම වුණත් කැබිනට් එක විශාල වුණු එක ආණ්ඩුවට ඒ හැටි හොඳ නැහැ නේද ඇමැතිතුමා?‍

මෙහෙමයි, මේක දේශපාලන වශයෙන් සංක්‍රාන්ති කාලයක්. ඒක තේරුම් ගත යුතුයි. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණ අවස්ථාවේ දී පොරොන්දු ප්‍රකාර වූ ආකාරයට, මහ මැතිවරණයෙන් පසු ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නැගුණු පසු අපි ඒ කිව්ව විදිහට කැබිනට් මණ්ඩලය පිහිටුවනවා.

* ඡන්දෙට කලින් වැඩ කරන්නේ මෙහෙම නම් පස්සේ වෙන දේවල් අපි කොහොමද විශ්වාස කරන්නේ?

ඡන්දෙට කලින් විශ්වාස කරන්න ඕන තරම් දේවල් අපි පසුගිය කාලේ කරලා තියෙනවා. ජනතාවට සහන ලබා දෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස තහවුරු කරමින් අලුත් රටක් පසුගිය කාලේ අපි නිර්මාණය කර තියෙනවා. ඒ වෙනස ගැන හොඳ අවබෝධයක් ජනතාවට තියෙන බව අපිට විශ්වාසයි.

 

download19

 

 

* පසුගිය ජනාධිපතිවරණ සමයේ දී පොදු අපේක්ෂක වේදිකාවේ තරුවක් වුණු චම්පික රණවක මහත්මයා 19 වන සංශෝධනය අල්ලා ගනිමින් අද ආණ්ඩුවට පලු යන්න ගහනවා. ඒ දේශපාලන ප්‍රහාරය ගැන මොකද කියන්නේ?

ඔබ කිව්ව විදියටම චම්පික රණවක මහත්මයා පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන කාර්ය භාරයක් කළා. ඒක අපි නැහැයි කියන්නේ නැහැ. නමුත්, 19 වන සංශෝධනය ගැන ඔහු නගන තර්ක පිළිබඳ ව මට තියෙන්නේ දැඩි කණගාටුවක්. 1978 ව්‍යවස්ථාව මේ රට තුළ තහවුරු වූ පසු මේ දක්වා එහි නරක ලක්ෂණ අහෝසි කිරීමට යම් උත්සාහයක් ගත්තා නම් ගත්තේ 17 වන සංශෝධනය හරහා පමණයි. එදා ඒකට විරුද්ධ වුණ එකම මන්ත්‍රීවරයා චම්පික රණවක මහත්මයා විතරයි. 17 ට විරුද්ධ වුණු චම්පික මහත්මයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ 18 වන සංශෝධනයට උඩ පැනලා අත් දෙක ඉස්සුවා.

එතුමා අද 19 වන සංශෝධනයට විරුද්ධ වෙමින් කියන්නේ ලංකාවට වඩාත් සුදුසු ජනාධිපති ක්‍රමය කියලයි. එතුමා මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ද කියලා මේකෙන් පේනවා. පැහැදිලිව ම මෙතැනදි චම්පිකට තියෙන්නේ ‍පෞද්ගලික විරෝධයක්. රනිල් බලය ගනියි කියන බයට එයා ඒකට විරුද්ධ වෙනවා. ඒක හරි විහිළුවක්. පසුගිය ජනාධිපතිවරණයේ දී අපි නැගී හිටියේ ඒකාධිපති වියරුවකට විරුද්ධවයි. එතැනදි ජනතාව ප්‍රකාශ කළේ රටට ශාපයක් වී ඇති විධායක ජනාධිපති ධුරයේ ඇති අසීමිත බලතල ඉවත් කරන්න කියලයි. ජනතා වරම ලැබුණේ ඒකටයි. ඒ වගේ තත්ත්වයක් තුළ චම්පික රණවක මහත්මයා එකපාරට හීනෙන් නැගිටලා මෙහෙම කෑ ගැහුවට රටේ ජනතාව ඒක බැරෑරුම් ව භාර ගන්නේ නැහැ කියලා මට සියයට සියයක් විශ්වාසයි.

සංවාද සටහන
චාමර ලක්ෂාන් කුමාර

silumina

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.