කාරී ගැන අති රස් මග එති

තවමත් කාරිය – කරවන කාරියකරවන අත්දැකීම සහ වයස අතින් යාන්තමින් හෝ ළඟ පතාක සිටින්නේ එඩ්වින් ආරියදාස ශුරීන් පමණි. ඔහු සිය 92 වෙනි උපන්දිනය පසුගියදා සැමරුවේය. ඒ අතරවාරේ කාරි(කාරියකරවන මහතා සිළුමිණ ඇතුළු පුවත්පත් ගණනාවක කතුකම්දැරූ දැවන්තයෙකි)ගේ දුරකථන ඇමතුමක් දිවයින කර්තෘ මෙරිල් පෙරේරාට ලැබින.

 downloadJKK

මේ මීට සතියකට පමණ පෙර… මට ලැබුණු දුරකථන ඇමතුමකි….

“මෙරිල්… පෙබරවාරි අටවැනිදාට මට අනූතුනක්‌ වෙනවා… අනේ මං දන්නෑ… මේ තරම් කාලයක්‌ ජීවත්වෙන පත්තර කාරයෙක්‌ ඉන්නවද කියලා… මං මේ ඔයාට නිකමට මතක්‌ කළේ….”

ඒ මා හොඳින් දන්නා හුරු පුරුදු ජ්‍යෙෂ්ඨ මෙන්ම ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතාගේ කටහඬය.

“හොඳමයි සර්… ඔබ තුමාට දිගාසිරි වේවා·” කියමින් මම දුරකථනය විසන්ධි කළෙමි…

දුරකථනය විසන්ධි කිරීමට පෙර මම මෙසේ ද ඇසුවෙමි…

“ඉතින් සර් අපෙන් මොනාද වෙන්න ඕනි…?”

“නෑ… නෑ… මුකුත් නෑ…”

කාරියකරවන මහතාට දැන් පෑනක්‌ පැන්සලක්‌ අතින් ගෙන යමක්‌ ලියන්නට වාරුවක්‌ නැති නමුදු ඔහු තවමත් ලියන්නේය. ඒ “කියවන විට ලිවීමය”.

දිනපතා ලංකාදීප පත්‍රයේ, තවමත් පළ වන “කාරිගේ තීරුව” එවැනි ලියෑවිල්ලකි. කාරියකරවන මහතා කියවන්නේය. ළඟ සිටින ගෝලයා ලියන්නේය. ‘ලංකාදීප’ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාට යවන්නේය. රණසිංහ මහතා එය පත්‍රයේ පළ කරවන්නේය.

සිරි රණසිංහත් මාත් ලේක්‌හවුසියට බැඳුණේ එකම දිනයකදීය. ඊට කලින් පැවැති තරග විභාගවලට උත්තර ලියා, ඉන්පසුව පැවැති සම්මුඛ පරීක්‍ෂණවලට පෙනී සිටීමෙන් අනතුරුව අප දෙදෙනාටම ලේක්‌හවුස්‌හි රැකියාව ලැබුණේ 1965 දෙසැම්බර් මස පස්‌වැනිදාය. නැත්නම්… පහළොස්‌ වැනිදා ය. ඒ මීට පනස්‌ වසරකට පෙරය.

ඒ සමයේ ලේක්‌හවුස්‌හි දිනපතා පළවන ප්‍රධාන පත්තර දෙක වූයේ දිනපතා උදේට පළවන ‘දිනමිණ’ත් දිනපතා සවසට පළවන ‘ජනතා’ පත්‍රයත් ය. සිරි රණසිංහ සමඟ එදා මාත් තවත් හයදෙනෙක්‌ ද ලේක්‌හවුසියට බැඳුණෙමු. ඉන් හතර දෙනෙක්‌ ‘ජනතා’ පත්‍රයට අනුයුක්‌ත කළ අතර ඉතිරි හතර දෙනා ‘දිනමිණ’ට අනුයුක්‌ත වූහ. ඉන් මාස පහකට පමණ පසුව ‘දිනමිණ’ට දැමූ හතර දෙනා ‘ජනතා’ පත්‍රයටත් ‘ජනතා’ පත්‍රයට දැමූ හතර දෙනා ‘දිනමිණ’ පත්‍රයටත් මාරු කෙරිණි.

එදා සිරි රණසිංහ අයත් වූයේ ‘ජනතා’ පත්‍රයට දැමූ හතර දෙනාටය. මා අයත් වුණේ ‘දිනමිණ’ට දැමූ හතර දෙනාටය. මෙසේ බලන විට සිරිගේ පළමු පත්තර ගුරුන්නාන්සේ වූයේ කාරියකරවන මහතාය. ඒ, ඒ සමයේ ‘ජනතා’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වූයේ කාරියකරවන මහතා වූ බැවිනි. සිරි රණසිංහ ඒ කෙළෙහි ගුණය සැලකීමටදෝ තවමත් කාරියකරවන මහතාගේ තීරු ලිපියක්‌ දිනපතා ‘ලංකාදීප’ පත්‍රයේ පළ කරන්නේය. ඒ මා මීට පෙර මෙහි සඳහන් කළ “කාරිගේ තීරුවයි”.

‘දිනමිණ’ පත්‍රයේ මූලික පුහුණුව ලැබීමෙන් පසු මාත් අනිත් තිදෙනාත් ‘ජනතා’ පත්‍රයට මාරු කෙරිණි. ‘ලංකාදීප’ පත්‍රයේ වත්මන් ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ වන ඩබ්ලිව්. ජී. ගුණරත්න ද එදා මාත් සමඟ දිනමිණේ සිට ‘ජනතා’ පත්‍රයට මාරුව ලැබූ මාධ්‍යවේදියෙකි.

‘ජනතා’ පත්‍රයට මාරුව ලැබූ අප හතර දෙනාම පළමු දිනයේදීම ප්‍රධාන කර්තෘ කාරියකරවන මහතා හමුවීමට නියම විය. අපි හතර දෙනාම ඔහුගේ කාමරයට ගියෙමු.

“මං ඉස්‌සෙල්ලාම ඔයගොල්ලන්ට කියන්නේ මට ‘සර්’ කියලා කතා කරන්න එපා කියලා. අනිත් එක තමයි මේ ලේක්‌හවුස්‌ එකේ පොලියට සල්ලි දෙන මිනිස්‌සු වැහි වැහැලා ඉන්නවා. උන්ගෙන් එහෙම සල්ලි ණයට ගන්නත් එපා….”

 d.f.kariyakarawana

කාරියකරවන මහතාගේ කර්තෘ පදවිය යටතේ වසර දහයක්‌ පමණ මම ‘ජනතා’ පත්‍රයේ සේවය කළෙමි. එය ඉතා රසවත් වසර ගණනාවකි. ඒ වසර ගණනාව තුළ සිදුවූ රස කතා ලිවීමට මේ තීරුව කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

1974 වර්ෂයේ සප්ත කන්‍යා කඳුවැටියේ ඉන්දුනීසියානු ගුවන් යානයක්‌ ගැටීමෙන් මහා ෙ€දවාචකයක්‌ සිදු විය. ගුවන් මගීන් දෙසීයකට වැඩි පිරිසක්‌ මේ අනතුරින් මිය ගියහ. මේ සමයේ මා සේවය කළේ ‘ජනතා’ පත්‍රයේ උප කර්තෘ අංශයේය. එහෙත් ගුවන් යානා අනතුර පිළිබඳව ජනතා පත්‍රයට වාර්තා කිරීම සඳහා උඩ ලක්‌ෂපානේ සප්ත කන්‍යා කඳුවැටිය ප්‍රදේශයට යෑවීමට කාරියකරවන මහතා විසින් තෝරා ගන්නා ලද්දේ මාය. එය චාරිත්‍රයට පිටින් සිදුවූ ක්‍රියාවකි.

එදා මෙදා තුර මේ ගතවූ වසර පනහ ඇතුළත, කිසිම දවසක පත්‍රයකට යම්කිසි සිද්ධියක්‌ වාර්තා කිරීම සඳහා උප කර්තෘ කෙනකු යෑවීමේ සිරිතක්‌ මා අසා නැත. නමුත් ඒ භාග්‍යය මට හිමි විය. ඒ කාලේ ජනතා පත්‍රයේ මිල සත විස්‌සකි. නමුත් ‘සප්ත කන්‍යා’ ගුවන් යානා අනතුර පිළිබඳව ඒ සමයේ ‘ජනතා’ පත්‍රයේ ප්‍රධාන සිරස්‌තලය ලෙස පළවූ පුවත කියෑවීමට මිනිස්‌සු පත්‍රය පොර කකා මිලට ගත්හ. ඒ නියම මිලට නොවේ. වැඩි මිලටය. සත විස්‌සේ ‘ජනතා’ පත්‍රය පිටකොටුවේ බෝගහ යට රුපියල් දෙකට විකුණන ලදී. මේ බව මට කීප දෙනකුම කිව් නමුත් මා එය විශ්වාස කළේ නැත. අවසානයේ මා එය විශ්වාස කළේ මගේ තාත්තාද සත විස්‌සේ ජනතා පත්‍රය රුපියල් දෙකක්‌ මිලට දී ගත් බව කීමෙන් පසුවය. අද දිනපතා ‘දිවයින’ පත්‍රයේ මිල රුපියල් විස්‌සකි. එදා ජනතා පත්‍රය මෙන් අද දිවයිනේ මිල දස ගුණයකින් වැඩිවුවොත් ‘දිවයින’ පත්‍රයක මිල රුපියල් දෙසීයක්‌ වන්නේය.

2015 මාර්තු 24 වැනිදා මගේ අලුත්ම පොතක්‌ සමාජගත වේ. ‘අතිරස්‌ නම් වන එම පොතෙහි කාරියකරවන මහතා පිළිබඳව මා ලියූ දීර්ඝ පරිච්ඡේදයක්‌ ඇත. එබැවින් අදට නවතිමි.

ඊට පෙර එතුමාට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමට අපි අමතක නොකරමු.

මෙරිල් පෙරේරා
මෙරිල් පෙරේරා

දිනපතා ‘දිවයින’ ප්‍රධාන කර්තෘ

මෙරිල් පෙරේරා

මේ කාරියකරවන ශුරීන් තමන්ට 82 වැනි විය පිරුණු දා ලියු සටහනයි

 z_p32-DFKariaykarawana

අද 2004 වර්ෂයේ ජනවාරි මස 21 වැනිදාය. තව දෙසතියකින් මට අසූ දෙක පිරේ. මෙවන් වියට පත් වන විට බොහෝ දෙනකුට නැතිව යන දෙයක් තවමත් මට ඉතිරිව ඇත. ඒ වූ කලී අනෙකක් නොව මතකය ය. මේ මතකය ගැන මම අහිංසකව ආඩම්බර වෙමි.

”මතක ඇති බොහෝ දේ” දසක සතක මතක” පොතෙහි ලියුවෙමි. තව කොටසක් “මතක පොතෙන් තවත් ටිකක්” නමින් පළවිණි. තවත් ඉතිරි වූ ඒවා “මතක පොතේ ඉතිරි හරිය” නමින් එළිදැක්විණි. තුන්වැනි පොතට ඒ නම දැම්මේ එතැනින් ඉවර කරන්නටය.

”එහෙත් දැන් තව තව ඒවා මතක්වේ. එදා මතක් නොවුණු හොඳ හොඳ ඒවා මතක් වේ. ඒවාට කුමක් කරම්ද? තව තවත් ලියන්නැයි රසවත් වූවෝ ලියා එවති…”

කරුණාරත්න අමරසිංහ
කරුණාරත්න අමරසිංහ

මේ මතක ගැන කථාකරන කරුණාරත්න අමරසිංහ ශුරීන්

ඩී.එෆ්.කාරියකරවනයන් ගේ මතක උල්පත, නොසිඳී ගලන ජීවන අත්දැකීම් දිය දහරින් පොහොසත් වූවක් බව, යට දැක්වූ කියමනින් සක්සුදක් සේ පසක් වෙයි.

මාර්ටින් වික‍්‍රමසිංහයන් තම ආත්ම චරිත කතාව වන “උපන්දා සිට” පොතෙහි ලා කියූ මේ කියමන මෙවේලේ මගේ සිහියට නැඟෙයි.

”…ළමා කාලයෙහි පටන් මෙතෙක් කළ කී කිසිවක් දින පොතක නොලියූ මම මගේ අතීතය පිළිබඳ තොරතුරු මගේ මතක අතින් හිත අත ගෑමෙන් සොයා ගන්නෙක්මි..”

ඩී.එෆ්.කාරියකරවනයන් ද තමා කළ කී දේ, ඇසූ දුටු දේ දින පොතේ නොලියා මතක පොතේ ලියා ගත් පරපුරේ කෙනෙකු වෙතියි සිතමි.

ඩී.එෆ්.කාරියකරවනයන්ගේ චරිතයේ නිර්ව්‍යාජ ලක්ෂණය ප‍්‍රකට කොට දක්වන ජීවන අත්දැකීමක් “ඇවිද්ද පය” නමින් ලියා ඇති 10 වන පරිච්ඡේදයේ හමුවෙයි. එය වූ කලී මමත්වය ගැන නොසිතන කෙනෙකුගේ සැබෑ ස්වභාවය නොසඟවා හෙළි කරන්නකි.

”…මම නිදාගන්නට සූදානම් වීමි. කොතරම් වෙරි වුවද නිදා ගන්නට පෙර දොරගුලු ලා හැම අහුමුල්ලක්ම පිරික්සා බැලීම මගෙ පුරුද්දක් වීය. හැම තැනක්ම පිරික්සා බැලූ මම ඇඳ යටට ද එබී බැලීමි. ඉන්පසු නාන කාමරය ද බැලීමි. දිය නාන බාත් ටැංකියේ යට කොටස මට අඳුරට පෙනේ. මම එබිකම් කැර බැලීමි. එහි යමකු වකුටු වී හිඳිනු දැකීමෙන් මම බියපත් වීමි. වහා ටෙලිපෝනය වෙත පැමිණි මම ඒ බව පල්ලැහැට දැන්වීමි.

”කීප දෙනෙක් වහා එහි පැමිණියෝය. පැමිණ සොයා බලා කිසිවකු නැතැයි කීහ. ඔවුන් නාන කාමරයෙන් බැහැර වූ පසු මම යළිත් ගොස් එබී බැලීමි. මේ ඉන්නේ. ඒ එක්කම මගේ පියවි සිහිය ආවේය. නාන ටැංකිය යටට කිසිවකුට යා නොහැකිය. අඳුරට පෙනුණේ එහි ඉදිරිපැත්ත කළු කිරි ගරුඬෙන් බැඳුණු හෙයිනි. එහි මා දැක ඇත්තේ මගේ සෙවණැල්ලය. සැණෙකින් මගේ වෙරි හිඳිණි. තතු වැටහිණි. ලජ්ජාවට පත් මම නිහඬ වීමි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.