කුරුළු පාරාදීසයේ මිහිර-අයිවෝ


Ivo

 

ගායනයට පෙළඹවීමක් ඇතිවුණේ කොහොමද?

කුඩා කාලේ සිටම පල්ලියේ ගායනාවලට සම්බන්ධ වුණා. පාසල් යන කාලේ මං ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ එවකට වෙළෙඳ සේවය මගින් පවත්වන ලද ගායනා වැඩසටහනකට සහභාගි වුණා. එම වැඩසටහනේ නම ආධුනික පැය. මං එදා ගායනා කළේ සුනිල් ශාන්තයන්ගේ ‘වරෙන් හීන්සැරේ රිදී වලාවෝ’ කියන ගීතය. මේ ගායනය එදා සුනිල් ශාන්තයන් අහගෙන ඉඳලා තියෙනවා. මගේ ගායනය පිළිබඳ එතුමාට කැමැත්තක් ඇතිවෙලා මාව මුණගැහෙන්න අවශ්‍යයි කියලා සුනිල් ශාන්ත මහතා එතුමාගේ සංගීත පන්තියේදී කියලා තියෙනවා. ඒ සංගීත පන්තිවල සිටි ශිෂ්‍යයෙක් තමයි පැටි‍්‍රක් දෙණිපිටිය. පැටි‍්‍රක් හිටියේ ජාඇල. මම සීදුවේ. පැටි‍්‍රක් කියලා තියෙනවා අයිවෝ ඩෙනිස්ව දන්නවා එයාව එක්කගෙන එන්නම් කියලා. ඒ කාලේ සුනිල් ශාන්ත නැවතිලා හිටියේ බම්බලපිටියේ සිරිසඳ හෝටලයේ. එතනට මාව පැටි‍්‍රක් එක්කරගෙන ගියා. මගේ ‘ආධුනික පැය’ වැඩසටහනේ ගායනය පිළිබඳවත් එතුමා අගය කළා. මගෙන් සුනිල් ශාන්තයන් විමසුවා සංගීතය හදාරන්න කැමැත්තක් තියනවාද කියලා. ඒ කාලේ හැටියට අපේ මාපියන් සංගීතය හදාරනවාට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් සුනිල් ශාන්තයන්ගේ ඉල්ලීම අහකදාන්න බැරිකමට හා එතුමාගේ සංගීත මග වෙනත් එකක් නිසා එම සංගීත පන්තියට මං බැඳුණා. 1950 විතර. පන්තිය තිබුණේ මරදානේ නිව්ටන් ස්ටුඩියෝ එකේ උඩ තට්ටුවේ. ඒ පන්තියේ නම Forword Academy. පසුකාලෙක මම බී. වික්ටර් පෙරේරාගෙනුත් සංගීතය ඉගෙන ගත්තා.

කතෝලික පල්ලියේ ආභාසය ඔබේ ජීවිතයට මොනවගේ පිටුබලයක් වුණාද?

අපේ ගම සීදූව. ඒ කාලේ පල්ලියේ ගායනා කණ්ඩායම මෙහෙයවූවේ මගේ පියා. ඒ නිසාම පල්ලිය හා මගේ සම්බන්ධය වැඩිවුණා. යහපත් මනුස්සයකු වීමට පල්ලියෙන් ලොකු පිටුබලයක් මගේ ජීවිතයට ලැබුණා.
සීදූවේ රෝමානු කතෝලික පාසලෙන් තමයි මං මූලික වශයෙන් අධ්‍යාපනය හැදෑරුවේ. පසුකාලයේ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයට ගියා. මගේ උසස් පෙළ අධ්‍යාපනය සිදුකළේ මීගමුවේ පෙරියමුල්ලේ එවකට තිබූ නොයෙලා විද්‍යාලයෙන්.
මගේ කටහඬ පෞරුෂය ගැන බොහෝ දෙනා බොහෝ මතවාද පළකරනවා. මං නම් හිතන්නේ මගේ කටහඬ පෞරුෂයේ මූලික රහස තමයි කතෝලික පල්ලියේ ගායනා කණ්ඩායමේ වැඩ කටයුතු කිරීම. දැන් බලන්න මුහුදුබඩ ප‍්‍රදේශයෙන් බිහිවූ බොහෝ ගායක ගායිකාවන් අතර රුක්මණී දේවි, ලතා වල්පොළ, මර්වින් පෙරේරා වැනි අයගේ හඬ පෞරුෂයන් බිහිවීමට මූලිකවන්නේ පල්ලියේ ගායනා කණ්ඩායම් සමග කටයුතු කිරීමයි.

ගුවන් විදුලියට සම්බන්ධ වුණේ කොහොමද?

මුලින්ම සුනිල් ශාන්තයන්ගේ වැඩ සටහන්වලට. ඒ 1972දී. සුනිල් ශාන්තයන් ඉදිරිපත් කළා ‘රන්වලාව’ කියලා සංගීත වැඩසටහනක්. ඉන් අනතුරුව මදුරමඳු, පංච මඳුර වැනි සුනිල් ශාන්තයන්ගේ සෑම සංගීත වැඩසටහනකටම මං දායක වුණා. ගායකයෙක් හැටියට මේ සංගීත වැඩසටහන්වලට සහභාගිවීමේදී මගේ පළමු ගීතය ගායනා කිරීමටද මට අවස්ථාව සැලසුණා. ඒ ‘කුරුලූ පරාදීසයේ කුරුලූ ගීත සාගරේ’ ගීතය. මේ ගීතයට සංගීතය එක් කළේ සුනිල් ශාන්ත. රචනා කළේ තිලක සුදර්මන්ද සිල්වා. මම දැනුවත්ව ඔහු ලියන ලද එකම ගීතය කුරුලූ පාර දීසයේ පමණයි.
මගේ සරල ගී වැඩසටහන්වලින් ‘මියැසිය’ කියන සංගීත වැඩසටහන රසිකයන් අතර බොහෝ සේ ඒ කාලේ ජනප‍්‍රිය වුණා. මට අවස්ථාවක් ලැබුණා 1968දී විතර ජාත්‍යන්තර ගායනා තරගාවලියකට ඉදිරිපත් වෙන්න. එය නවසීලන්තයේ ABU කියන ජාත්‍යන්තර ගායනා තරගාවලිය. එහිදී මං මගේ අලූත් ගීතයක් ගායනා කරලා පළමු තැන දිනාගත්තා.

සුනිල් සාන්තයන්ගේ නිර්මාණ දිවිය පිළිබඳ ඔබගේ මතය මොකක්ද?

ඔහුගේ නිර්මාණ නිසි ඇගැයීමට ලක්වුණාද කියලා මට සැකයක් තියෙනවා. ඔහුගේ සුගායනය මේ රටේ දහසකුත් රසිකයන් අතර අදටත් මතකයේ රැුඳී තියෙනවා. උතුරු ඉන්දියාවේ භාත්ඛණ්ඬේ සංගීත විශ්වවිද්‍යාලයෙහි පස් වසරක සංගීතය හදාරා ගායනය සහ වාදනය පිළිබඳව විශාරදයකුට ලැබෙන උසස්ම ගෞරවය හිමිකරගෙන 1945දී ලංකාවට පැමිණි සුනිල් ශාන්ත සිංහල සංගීතය පිළිබඳව මහා විප්ලවයක් ඇති කළ ප‍්‍රථම ලාංකික සංගීත විශාරදයා වුණා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව හැරුණු විට සංදේශය තුළ පවා සුනිල් සාන්ත ගීතයෙන් කළ වික‍්‍රමය අදටත් පුදුමසහගතයි.
ලතා වල්පොළ ගායනා කළ ‘රෑන ගිරා රෑන අඹේ මී බිබී, රණ ගිරවී රණගිරවයි සොයන්නේ’ එච්.ආර්. ජෝතිපාල හා සිඞ්නි ආටිගල ඇතුළු පිරිස ගායනා කළ ‘පුරුතුගීසි කාරයා’ මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොළ, එච්.ආර්. ජෝතිපාල, සිඞ්නි ආටිගල හා මම ගායනා කළ ‘කෝ හතුරෝ-කෝ හතුරෝ’ ගීතය හා ලත් වල්පොළ සහ අප සියලූදෙනා එකට ගායනා කළ රැුජින මමයි අපේ රාජ්ජේ ගීතය. ධර්මදාස වල්පොළ ගායනා කළ ‘කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා’ හා ලතා වල්පොළ ගායනා කළ ‘සුදට සුදේ වලාකුළයි නිල් අහසේ පාවෙන්නේ’ ගීත අදත් අප අතර ජනප‍්‍රිය ගීත. මේ සියලූම ගීතවල පබැඳුම් කලාසූරී අරිසෙන් අහුබුදු. මේ හැම ගීතයකම ගී තනු සුනිල් සාන්තයන්ගේ.

ඊට අමතරව කොළඹ සන්නිය අම්බපාලි, චිත‍්‍රපටවල සුනිල් සාන්තයන් නිර්මාණය කළ අනර්ඝ ගී තනු අපට දැකගන්න ලැබුණා. ඒ විතරක් නෙවේ ඔහු රෝමියෝ ජුලියට් චිත‍්‍රපටයේ ගායනා කළ ‘මයි ඞී‍්‍රම්ස් අරෝසස්’ ගීතය අදත් ජනප‍්‍රියයි. ඒ වගේම සුනිල් සාන්තයන් නිර්මාණය කළ දේශාභිමාන ගීත එකතුව තව දශක ගණනාවකටම ජීවමාන වෙනවා.

ඔබගේ සංගීත ගුරු ජීවිතය කොයි වගේද?

1959දී මගේ ගුරු ජීවිතයේ මුල්ම පත්වීම ලැබුණේ රත්නපුරේ ගැටන්ගම විද්‍යාලයටයි. වසර 3ක් පමණ සංගීත ගුරුවරයා ලෙස මා සේවය කළා. ඉන් අනතුරුව මීගමුවේ තිරිඹිගස්කටුව මහා විද්‍යාලයට මාරු වුණා. එතන අවුරුදු දෙකක් පමණ සේවය කළා. ඉන් අනතුරුව මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයට පැමිණියා. 1974දී පමණ මට තව පත්වීමක් ලැබුණා. සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ජන ගී සම්බන්ධයෙන් උපදේශක වරයෙක් ලෙස කටයුතු කරන්න. හොරණ ශ‍්‍රීපාලි මණ්ඩපයේ ජන සංගීත උපදේශකවරයා ලෙසත් කටයුතු කළා. වසර ගණනාවකට පසු නැවතත් මා ගුරු සේවයට වත්තල ශාන්ත ආනා මහා විද්‍යාලයට ගියා. එහි වසර හතරක් පමණ සේවය කිරීමෙන් අනතුරුව 1993දී රජයේ සේවයෙන් විශ‍්‍රාම ගත්තා.

ඔබ සහ මකුලොලූව මහතා අතර තිබුණු සබැඳියාව කොහොමද?

එතුමා සමග මා ජන සංගීත වැඩසටහන්වලට දායක වුණා. ‘හෙළ මිහිර’, ‘පහනින් පහන’, කියන ජන ගී වැඩසටහන්වලට හා ඔහු නිෂ්පාදනය කරන ලද නාට්‍යවලටත් මා දායක වුණා. එතුමා සිදුකරන ලද ජන ගී පර්යේෂණවලටත් මාගේ පූර්ණ දායකත්වය ලබා දුන්නා.

පේ‍්‍රමසිරි කේමදාස හා ඔබේ අතර සහසම්බන්ධය ඇතිවන්නේ කොහොමද?

ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණා ප‍්‍රබුද්ධ ගී කියලා වැඩසටහනක්. මේ ප‍්‍රබුද්ධ ගී වැඩසටහනට කේමදාස මාස්ටර්ට අලූත් අලූත් ගායකයන් සම්බන්ධ කරගැනීමට වුවමනා වුණා. ඒ වැඩසටහනට ටී.එම්. ජයරත්න මහතා හරහා මා ගැන කේමදාස මාස්ටර් තොරතුරු ලබාගෙන මා මුණගැසීමට පැමිණියා. එතනදී මා කේමදාස මාස්ටර් සංගීතයෙන් නිර්මාණය කරන ලද ටී.එම්. ජයරත්න සමග ‘අඳුරු කුටිය තුළ’ ගීතයට සම්බන්ධ වුණා. කේමදාසයන්ගේ පිරිනිවන් මංගල්‍ය සංගීත ඔපෙරාවට පවා මා ඔහු සමග දායක වුණා. ධර්මසේන පතිරාජයන්ගේ බඹරු ඇවිත් චිත‍්‍රපටයේ ‘උදුම්බරා හිනැහෙනවා’ කියන ගීතය මං හිතන විදියට අදටත් බොහෝ ජනප‍්‍රියයි. ඒ ගීතයට ටී.එම්. ජයරත්නත් මා සමග දායක වුණා. කේමදාස සූරීන්ගේ සංගීතයකට අනුව හිමිකතර චිත‍්‍රපටයේ මා ගායනා කරන ලද ‘කන්දේ එහා වැස්ස වසින්නා’ ගීතයට ඒ වසරේ හොඳම ගායකයාට හිමි ජනාධිපති සම්මානයෙන් මා පිදුම් ලැබුවා. එහි පදරචනය කළේ ඔගස්ටස් විනයාගරත්නම්.

ඔබට හැකිවී තියෙනවා මේ රටේ බිහිවූ ශ්‍රේෂ්ඨ එකිනෙකට වෙනස් සංගීතවේදීන් තිදෙනකුගේ ආභාසය ලැබීමට. ඔබ දකින විදිහට මේ තිදෙනාගේ වෙනස්කම් මොනවාද?

සුනිල් සාන්ත, මකුලොලූව, කේමදාස යන මේ සංගීතවේදීන්ගේ සමාන ලක්ෂණ නම් මා දකින්නේ නැහැ. මොවුන් එකිනෙකාට එකිනෙකා වෙනස්. අනික මේ තුන්දෙනාගේ ගතිපැවතුම් පවා එකිනෙකට වෙනස්. මේ තුන්දෙනාටම සුවිශේෂී වූ අනන්‍ය වූ සංගීත ශෛලීන් තිබුණා. සුනිල් සාන්ත හා මකුලොලූව ඉන්දියාවේ රාගධාරී සංගීතය හැදෑරුවාට ඒවා මතම තම නිර්මාණ බිහිකළේ නැහැ. මකුලොලූව මහතා පාසල් අධ්‍යාපන පීඨයේ සංගීත අධ්‍යක්ෂ ලෙස කටයුතු කරද්දී රටේ ජන ගීත පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු කළා. කේමදාස මාස්ටර් මේ දෙන්නාට වඩා වෙනස්ව බටහිර ආරකින් තම සංගීත නිර්මාණයන්ට දායක කරගත්තා.

කුමාරතුංග චින්තනය ඔබේ ගීත කලාවට යම් බලපෑමක් සිදු කළාද?

එය කෙළින්ම සිදුවුණා කියලා කියන්න පුළුවන්කමක් නැහැ. සුනිල් සාන්ත සූරීන්ගේ ලොකු මිත‍්‍රත්වයක් තිබුණා අරිසෙන් අහුබුදු සූරීන් සමග. ඒ වගේම හෙළ හවුලේ සිටි අය සමග සුනිල් සාන්ත විශාල ලෙස මිතුරු සමාගමක් ඇති කරගෙන තිබුණා. හෙළ හවුලේ සිටි ජයන්ත වීරසේකර, සුනිල් සාන්තයන්ගේ මිතුරෙක්. ඒ ඇසුරත් සමග තමයි සුනිල් සාන්තයන්ගේ ලංකාවේ ජාතික ගීතයට පමණක් දෙවෙනි වෙන ගීතය ‘ලංකා ලංකා’, ‘උතුරු නැගෙනහිර බටහිර’ යන ගීත නිර්මාණය වුණේ මේ ගීත පවා රචනා කළේ අරිසෙන් අහුබුදු. සුනිල් සාන්ත ගායනා කළ ගායනා අතරින් බහුතර ගීතවල පදරචනා කළේ අරිසෙන් අහුබුදු සූරීන්.
මේ හේතු නිසාම මා සමගත් අරිසෙන් අහුබුදු සූරීන් හා හෙළ හවුලේ පිරිස ඇසුරු කළා. ඒ නිසා කුමාරතුංග චින්තනය, හෙළ හවුලේ බලපෑම යම්තාක් දුරට මගේ ගීතවලත් තිබිය හැකියි.

කේමදාස පදනම තුළ ඔබේ කාර්යභාරය මොකක්ද?

කේමදාස පදනම තුළින් එහි සහභාගි වූ ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට කටහඬ පිළිබඳ විශේෂ ඉගැන්වීම් සිදුකරන්නේ මගේ මූලිකත්වයෙන්. කටහඬ වර්ධනය කරගැනීමේ අභ්‍යාසවලට ඔවුන් මෙහෙයවීම එහිදී සිදුකෙරෙනවා. තමන්ගේ හඬ පෞරුෂය වර්ධනය කරගැනීම තුළින් ගායන ක්ෂේත‍්‍ර තුළ ඉදිරියටම යන්න පුළුවන්කමක් ඇතිවෙනවා.

ඔබ එදා ගැයූ දේශාභිමාන ගීත දැන් වැඩිපුර ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා ප‍්‍රචාරණ නොකරන්නේ ඇයි?

ඒ ගැන කියන්න කනගාටුයි. එදා ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සේවය පමණක් තියෙන කාලේ පටන් උදේ පාන්දරම රට, ජාතිය අතර එකමුතුව, ආගම, රටේ ස්වභාව සෞන්දර්යය පිළිබඳව රටේ ජනතාවට අභිමානයක් ඇතිවෙන ගීත ප‍්‍රචාරණය කළා. 1985න් පස්සේ පමණ දේශාභිමාන ගීත ප‍්‍රචාරණය කෙරෙන්නේ රටේ නිදහස් දිනයට හෝ වෙනත් විශේෂිත දිනකදී පමණයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.