කුලී මිනීමරුවෝ රණවිරුවෝ නොවෙති… එසේනම් රණවිරුවන් හඳුනාගන්න…‍

hopeඅවසන් යුද සමයේ නැගෙහිර නාවික හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු තිදෙනකු ඉකුත් බ්‍රහස්‌පතින්දා අත්අඩංගුවට ගත්තේය. සුමිත් රණසිංහ අත්අඩංගුවට ගන්නේ වැල්ලවත්තේ දී පැහැරගෙන ගොස් කප්පම් ගෙන මරා දැමූ බව කියන දමිල තරුණයින් පස්දෙනාගේ සිද්ධිය සම්බන්ධයෙනි.

මේ අපරාධය කළ පුද්ගලයා සුමිත් රණසිංහ නොව වසන්ත කරන්නාගොඩ හෝ ගෝඨාභය රාජපක්ෂ  වුවත්, මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ වුවත් නිසැකවම ඔවුන්ට  හෙණ වැදිය යුතුය.  මේ රටේ නීතිය අගය කරන  සෑම මනුෂ්‍යයෙක්ම එවන් අපරාධයක් කළ අපරාධකරුවෙක් එල්ලා දමනවාට දෑතම ඔසවා එකඟ වන්නේය. රට බලා සිටින්නේ මේ අපරාධයට දඬුවම ලැබෙන තුරුය.

එහෙත් අප දකින හෙණ ගහන අපරාධය මේ තුච්ඡ මිනීමැරුම්වලට ඍජුව වගකිවයුතු කුලී මිනීමරුවන් දේශපාලන රැකවල් යටතට ගෙන යුද ජයග්‍රහණයේ නිශ්ඡිත හැරවුම් ලක්ෂයේ හැසිරෙමින් ලෝකය නොදත් විශිෂ්ට වගකීමක් ජාතියට ඉටුකළ  සුමිත් රණසිංහලා දංගෙඩියට දැක්කීමය.

නාවික හමුදාවේ කප්පම් ඝාතන

මේ අපරාධය පිළිබඳ නඩුව මේ රටේ අතිශය ආන්දෝලනයට ලක් වූවකි. මේ අපරාධය සම්බන්ධව මීට හය වසරකට පෙරාතුව සාක්ෂි සහිතව මීනීමරුවෙක් ඉදිරිපත් කිරීමට එවකට විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ කටයුතු කළේය. එම අපරාධකරුවා නමින් සම්පත් මුණසිංහය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාය. සමාජය දන්නේ නේවි සම්පත් කියාය.

නේවි සම්පත්  මිනීමරු අපරාධකාරයෙක් බව හොයා ගත්තේ පොලිසිය නොවේ. තමන්ගේ ආරක්ෂක නිලධාරියා කුලී මිනීමරුවෙක් බව කරුණු සහිතව පොලිසියට වාර්තා කළේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩය. ඒ සිදුවීමේ පෙළ මෙසේය.

නේවි සම්පත් සොයා යෑම

නේවි සම්පත් නැමැත්තෙකු විසින් දෙමළ තරුණයන් පස්දෙනෙකු  පැහැරගැනීම සම්බන්ධව නාවික හමුදාපතිවරයාට මුලින්ම පැමිණිලි කරන්නේ එවකට ඇමතිවරයෙක් වූ ෆීලික්ස් පෙරේරාය. පැහරගත් එක් තරුණයෙකුගේ පියා ෆීලික්ස් පෙරේරාගේ මිත්‍රයෙකි.

නාවික හමුදාවට  මුලින්ම මේ නේවි සම්පත් කවරෙක්දැයි සොයා ගත යුතු විය. රහසිගත සොයාබැලීම්වලදී කරන්නාගොඩට හීන් දාඩිය දැම්මේය. නේවි සම්පත් යනු ස්වකීය හිතෛශී ආරක්ෂකයා ලෙස පෙනී සිටි සම්පත් මුණසිංහ බවත්, ඔහු තමන්ගේ රැකවරණයට මුවාවී   පැහැරගත් පුද්ගලයන්ගෙන් තිදෙනෙක් කපා කොටා මරා ගෝනිවල දමාගෙන නාවික හමුදාපතිවරයාගේ ආරක්ෂාව සඳහා නාවික හමුදාවෙන් ලබාදුන් ඩිෆෙන්ඩර් රථයකම රැගෙන ගොස් කැළණි ගඟේ කිඹුලාවලේ ගිල්වා අතුරුදන් කළ ආකාරය පිළිබඳවත් නේවි සම්පත් ගේ කණ්ඩායමේ කාලකණ්ණියෙක්  හෙළි කළේ මේ අතරය. ඉතිරි දෙදෙනෙක් ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ රඳවා තබාගෙන අතුරුදන් කළ ආකාරය හෙළිවිනි. සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් ගැන නාවික හමුදාව මට්ටමින් නිල පරීක්ෂණ ආරම්භ කළේ මේ තොරතුරු හෙළිවීමත් සමගය. සම්පත් මුණසිංහ නාවික හමුදාවෙන් පැන ගියේය.

හොරුත් සමග බඩු

වසන්ත කරන්නාගොඩගේ නියෝගය ප්‍රකාරව සම්පත් මුණසිංහගේ නිල කාමරය පිරික්සනු ලැබුවේය. පැහැරගත් දෙමළ තරුණයන්ගේ ඇතුළු තවත් පිරිසකගේ හැඳුණුම්පත් ඇතුළු තොරතුරු රැසක් හෙළිවිය. කාමරයට සීල් තැබූ කරන්නාගොඩ සිද්ධිය සම්බන්ධව විධිමත් විමර්ශනයක් අරඹන ලෙස දන්වමින් පොලිසියට පැමිණිළි කළේය. ඒ පැමිණිල්ල අනුව පුරා වසරක් තිස්සේ පරීක්ෂණ පවත්වන පොලිසිය සම්පත් මුණසිංහ නැමැත්තා මේ අපරාධයට සම්බන්ධව බවට සාක්ෂි සහිතව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ වර්ෂ 2011 මාර්තු 31 දාය. කරුණු වාර්තා වන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටය. ඒ වකවානුවේ පරීක්ෂණ යට ගියේය. ආණ්ඩුව මාරු විය.

දැන් සම්පත් මුණසිංහ ඉන්නේ සරත් ෆොන්සේකා ලඟය.සරත් ෆොන්සේකා ආණ්ඩුවේ ඇමතිවරයෙක්ය. ආණ්ඩුව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේය. සම්පත් මුණසිංහ එළියේය. විශිෂ්ට බුද්ධි මෙහෙයුම් ගණනාවක් කර, මාරක එල්.ටී.ටී.ඊ ප්‍රහාරයකට ලක්ව ආබාධිත තත්වයට ලක්වුවද රට වෙනුවෙන් නැවතත් ජීවිතය අත්හරිමින් මේ යුද්ධයේ  සෑහෙන කොටසක් ගොඩ දැමූ බුද්ධි ප්‍රධානියෙක්වන සුමිත් රණසිංහව නිර්දය ලෙස හෙළිදරවු කිරීමෙන් අනතුරුව මේ වනවිට බලු කූඩුවේය. හෙළිදරවු නොවිය යුතු මෙවැනි විශිෂ්ට බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙක් ඉදිරියේදි ලෝකය ඉදිරියේ හෙළිදරව් කිරීමට නියමිතය.

මේ හිඟනකම ගැන අප ජාතියක් ලෙස කම්පාවට පත්විය යුතුය.

මේ ආණ්ඩුවෙන් අප විමසන යමක් තිබේ. ඔබ සතුටු කරන්නේ කවරෙක්දැයි අපට වැටහෙන්නේ නැත. අපරාධකරුවන් කුලී මිනීමරුවන් රණවිරුවන් නොවන බව මුලින්ම කීවේ අපය. උන්ට දඬුවම් කරන්න. ඔබට මේ රට ආණ්ඩු කිරීමට අවස්ථාව ලබා දීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ මනුෂ්‍ය යෝ පිරිසක් වෙති. ඔවුන්ට ගෞරව කරන්න. මේ ඇත්ත වසන්ත කරන්නාගොඩගෙන් පලි ගැනීමේ අවස්ථාව දිවි හිමියෙන්  අත් නොහළ සරත් ෆොන්සේකාගේ ඇස් දෙකෙන් නොදැක ඔබම මේ ඇත්ත දකින්න.

දෙවොල තුළ මල් යහන රතියහන්කොටගෙන ගෝපිකාවන් හා රමණයේ යෙදෙන වනරචර කපුවන් සේ යහපාලනයේ පරමාර්ථ අපේ දෑස් අභියස දූෂණය නොකරන්න. ඔබ සුළං වපුරන්නේ නම් අස්වැන්න සුළි සුළංවලින් ලැබෙන බව පමණක් සිහියට ගන්න. ඒ සුළි සුළඟ ඔබට ආණ්ඩු කිරීමට හෝ හොරකම් කිරීමට හෝ රති කෙළියට හෝ වෙන ඕනෑම අවලංකමක් කිරීමට රටක් අහිමි කරනු ඇත.

රුචිර ජයදේව

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.