කේමදාසයන් ගේ රින්ග් ටෝන් වලට පොල්ල

kemadasaප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි තරම්. මොකද ඔහු තමන්ගේ අනන්‍යතාවය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සනිටුහන් කරලයි මෙලොවින් නික්ම ගියේ. ඉදිරි මාසයේ යෙදෙන කේමදාසයන්ගේ නව වැනි ගුණ සැමරුම නිමිත්තෙන් සුවිශේෂී කටයුත්තකට ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ප්‍රමුඛ කේමදාස පදනම මේ දිනවල සූදානම් වෙනවා. ඒ ගැන තතු මුලින්ම හෙළි කරන්නත් එක්කයි කේමදාසයන්ගේ බාල දියණිය වන ගයාත්‍රි කේමදාස මෙලෙස කතා බහට එක් වුණේ.

කේමදාසයන්ගේ ගුණ සැමරුම මෙවර වෙනස්ම ආකාරයකට පවත්වන්න සූදානමක් තිබෙන බව ආරංචි වුණා. ඇත්තටම කොහොමද මෙවර ඒ කටයුතු පෙළගස්වන්න හිතාගෙන ඉන්නේ?

අපේ තාත්තා ලංකාවේ චිත්‍රපට සංගීතය තුළත් විප්ලවයක් කරපු සංගීතඥයෙක්. ඒ නිසා තාත්තා චිත්‍රපට සංගීතය වෙනුවෙන් දැක් වූ දායකත්වය මෙවර ඔහුගේ ගුණ සැමරුමේදී යළි සිහිපත් කරන්න අපි තීරණය කළා. ලබන ඔක්තෝබර් මස 24 වැනිදාට තාත්තා අප අතරින් වියෝ වෙලා වසර 9ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් තාත්තා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට පහක් ඇතුළත් චිත්‍රපට උළෙලක් පැවැත්වීමට අපි මේ වන විට කටයුතු සූදානම් කරමිනුයි ඉන්නේ.

මොනවාද මේ චිත්‍රපට උළෙ‍ලේදී දිග හැරෙන චිත්‍රපට?

ඔක්තෝබර් 20 වැනිදා සිට 24 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදීයි මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ. එහිදී ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට තමයි “ගොළු හදවත”, “බඹරු ඇවිත්”, “හංස විලක්”, “නිධානය” සහ “සිරි මැදුර”. මෙය සම්පූර්ණයෙන්ම නොමි‍ලේ පවත්වන චිත්‍රපට උළෙලක්.

මේ චිත්‍රපට උළෙ‍ලේදී ප්‍රේක්ෂකයන්ට මුල් වරට විඳින්නට ලැබෙන අත්දැකීමුත් තිබෙනවා නේද?gayathri-Kemadasa

ඔව්. මෙහි විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි “හංස විලක්” චිත්‍රපටය DVD ආකාරයට සංරක්ෂණය කිරීමෙන් අනතුරුව පළමු වරට ප්‍රදර්ශනය කෙරෙන්නේ මෙම චිත්‍රපට උළෙ‍ලේදී වීම. ඒ හැරුණාම මේ චිත්‍රපට උළෙලට සමගාමීව ප්‍රවීණ සහ නව පරපුරේ කලාකරුවන් සහභාගි කරගෙන සංවාද මාලාවක් පවත්වන්නත් අපි බලා‍පොරොත්තු වෙනවා. ඒකත් වෙනස්ම විදිහේ අත්දැකීමක් වේවි.

කේමදාස මාස්ටර්ගේ දියණියන් දෙදෙනා කොහොමද ඔහුගේ උරුමය මේ වන විට ඉදිරියට ගෙනියන්නේ?

අක්කා වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරියක්. නමුත් ඇය සංගීතය අත්හැරලා නැහැ. විදෙස්ගත වෙලා හිටියත් ඇය එහි ඔකෙස්ට්‍රා එකකත් වාදනය කරනවා. මම හැදෑරුවේ සංගීතය. ඒ නිසා සංගීතය පැත්තෙන්ම තවත් ඉදිරියට යන එක තමයි මගේ අරමුණ. “තණ්හා රති රඟා” චිත්‍රපටයෙන් මම මෑතකදී චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් යොමු වුණා.

ඒ වගේම ඔබ ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක්ම එළි දක්වන්න සූදානමින් සිටිනවා කියලත් ආරංචියි?

ඔව්. මෑතකදී මම කූඩු කළ කිරිල්ලියක් ගී ගයන විට සහ වැට කඩුළු සහිත සංවාදයක් නමින් වෙනස්ම විදිහෙ Gallery Performance දෙකක් පැවැත්වුවා. ඉදිරියේදී තවත් චිත්‍රපට තුනක සංගීත කටයුතු කරන්න බාරගෙන තියෙනවා. ඒ වගේම සංගීත ඔපෙරාවක් කරන්නත් මේ දිනවල මම සූදානම් වෙනවා.

කේමදාසයන්ගේ ගීත රැක ගැනීම අද වන විට ඔබලාට අභියෝගයක් වෙලාද?

තාත්තාගේ ගීත මේ වන විට කේමදාස පදනමේ අයිතිය යටතේයි තිබෙන්නේ. අපි කවදාවත් තාත්තා සංගීතවත් කරපු ගීත භාවිත කිරීම කාටවත් තහනම් කරලා නැහැ. හැබැයි අඩුම තරමේ අපට දැනුම් දීමක්වත් නොකර ඒවා විවිධ අවස්ථාවන් සඳහා භාවිත කරන අයත්, ඒ ගීත ගායනා කරලා මූල්‍යමය වාසි ලබාගන්න ගායක ගායිකාවනුත් ඉන්නවා. අනික ජංගම දුරකථන සමාගම් පවා රිගින් ටෝන් විදිහට තාත්තාගේ සංගීතය යොදා ගත්තත් මේ වන තෙක් ඒ කිසිදු සමාගමක් ඒ සඳහා ලැබිය යුතු කර්තෘ භාග අපට ගෙවලා නැහැ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.