කොතලාවල ගේ තවත් සෙල්ලමක් -CIESOT

 

downloaKOTH

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පසුගියදා ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දීම සහ තවත් කරුණු 03 ක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව අද (20) පෙරවරුවේ කොළඹ දී පැවැත් විය. ඒ ගෝල්ඩන් කී සියලු තැන්පත්වරුවන්ගේ සංගමය විසිනි.

ඒ අනුව ලලිත් කොතලාවලගේ ප්‍රකාශය සියලු තැන්පත්කරුවන් විසින් හෙළා දකින බවද ඇය පෙන්වා දෙයි.

අදාළ අනෙක් කරුණු 03 ඔස්සේ එම සංගමය පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළ මුදල් ගෙවීමේ සැලැස්ම වහා ක්‍රියාත්මක කරන ලෙසත්, ලලිත් කොතලාවලගේ බිරිඳ සිසිලි කොතලාවල ඉක්මනින් ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගන්නා ලෙසත්, ලලිත් කොතලාවල යළිත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්ය.

ලලිත් කොතලාවල සඳහා අධිකරණය මගින් ඇප නියම කිරීමේදී සඳහන් කළ කොන්දේසි ඔහු විසින් මේ වන විට එකින් එක කඩා ඇති බවත් ඔහුට යළිත් අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට පනවා තිබූ තහනමද නොතකා ව්‍යාපාර අරඹා ඇති බවත් සඳහන් කරයි.

2008 වසරේ දෙසැම්බර් 18 වැනිදා රුපියල් බිලියන 26 ක් තැන්පත්කරුවන්ගෙන් ලබාගෙන කඩා වැටුණු ගෝල්ඩන් කී ව්‍යාපාරය තුළ අගතියට පත්ව ඇති ගණුදෙනුකරුවන් සංඛ්‍යාව 9127 කි.

 

පුවත් පත් දැන්වීම් පළ කරමින්

මෙම ගණුදෙනුකරුවන් පෙන්වා දෙන්නේ 2008 දෙසැම්බර් 29 වැනිදා සිට ලලිත් කොතලාවල විවිධ ලිපි එවමින් සහ පුවත් පත් දැන්වීම් පළ කරමින් මුදල් ගෙවන බව දැන්වූවත් වසර 06 ක් ගත වී ඇති මේ මොහොතේත් අදාළ තැන්පත්කරුවන් මුදල් ඉල්ලමින් අසරණව ඇති බවය.

2009 වසරේ මාර්තු මාසයේදී ගල්කිස්ස අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන ලලිත් කොතලාවල එම වර්ෂයේම 10 වැනි මස 23 වැනිදා ඇප කොන්දේසි මත නිදහස් වන්නේ තැන්පත්කරුවන්ගේ මුදල්වලින් 75% ක් ගෙවීමේ එකඟතා මතය.

එමෙන්ම එහිදී ඔහුගේ සියලු වත්කම් සහ ආයතන පිළිබඳ වාර්තා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට භාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබූ අතර අද ලලිත් කොතලාවල ඒ සියල්ල අමතක කර තමන්ගේ ආයතන රජය මගින් පවරා ගත් බව පවසන බවද එම සංගමයේ සභාපතිනී දුෂ්‍යන්ති හපුගොඩ පවසයි.

2011 වසරේ ජනවාරි මස 20 වැනිදා තැන්පත්කරුවන් සමග එකඟතාවයකට පත්ව පොළියත් සමගින් මුදල් ගෙවන බව ලලිත් කොතලාවල සැලැස්මක් ඉදිරිපත් කරමින් පැවසූ අතර එය 2011 /06 /29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පවා අනුමත කළද එම සැලැස්ම මගහරිමින් කටයුතු කළ බවත් තැන්පත්කරුවෝ චෝදනා කරයි.

ඉන් අනතුරුව එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් 2013 වසරේදී ගෝල්ඩන් කී අධ්‍යක්ෂවරුන් 09 දෙනාට අයත් සහ ගෝල්ඩන් කී ව්‍යාපාරයට අයත් වත්කම් විකුණා තැන්පත්කරුවන්ගේ මුදල්වලින් 41% ගෙවන ලෙස ලලිත් කොතලාවලට තවත් සැලැස්මක් ඉදිරිපත් කරමින් නියෝග කළ බවත් එයද අක්‍රීය කිරීමට ඔහු ක්‍රියාකළ බවටත් ඔවුන් චෝදනා කරයි.

මේ අතර සිසිලි කොතලාවල එංගලන්තයේ ජීවත් වන බව පෙන්වා දෙන තැන්පත්කරුවන් සඳහන් කරන්නේ ඇයව ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබියදී මේ වන තෙක් රජයෙන් ඊට අදාළ නියෝගයක් එංගලන්තයට ලබා දී නැතැයි එංගලන්ත මහකොමසාරිස් කාර්යාලය සිය සංගමයට ලිපියකින් දන්වා ඇති බවය.

CIESOT

තවත් අනාවරණයක් කරමින් මෙම තැන්පත්කරුවන් පෙන්වා දෙන්නේ කොතලාවලගේ මූල්‍ය ශක්තිය රඳවා ගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද CIESOT නැමැති සෙලික්කෝ රක්ෂණ සමාගමට අයත් ආයතනයක් පිළිබඳවද තොරතුරු ලැබී ඇති බවය. කොතලාවලගේ වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයේද එම ආයතනය පිළිබඳව තොරතුරු සඳහන් කර ඇති අතර එහි ගෝල්ඩන් කී ආයතනයට අයත් මුදල් විශාල ප්‍රමාණයක්ද ඇති බව පෙන්වා දෙයි.

ඒ අනුව මෙම තැන්පත්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම  CIESOT නැමැති ආයතනයේ වත්කම් කොටස් වෙළඳපොළේ විකුණා සිය තැන්පත්කරුවන්ගේ මුදල් පියවා ගැනීමට අවසර දෙන ලෙසය.

ගෝල්ඩන් කී ආයතනය විසින් ගණුදෙනුකරුවන්ගේ තොරතුරු සඳහා පරිගණක ගත තොරතුරුවලට අමතරව තවත් ලිඛිත ලේඛණයක් පරිහරණය කර ඇති බවත් එකී ලේඛණයට අනුව රුපියල් ලක්ෂ 2000 ට වඩා තැන්පත් කර ඇති තැන්පත්කරුවන්ගේ තොරතුරු ඇතුළත් බවත් පෙන්වා දෙයි. ඒ අතර ක්‍රීඩයකින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් සහ දේශපාලනඥයින් සිටින බවත් දුෂ්‍යන්ති හපුගොඩ අනාවරණය කළේය.

golden key depositors find more assets of kothalawala

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.