කොළඹ දිය ඇලි තිබේද?

 

ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය වන කොළඹ දිස්ත්‍රික්කය අශ්‍රිතව සංචාරකයින්ගේ වැඩි අවදානය දිනා නොගත් අලංකාර දියඇලි 4 ක් තිබෙන බව ඔබ දැන සිටියද ? මේ පාර ගියා ඒ දියඇලි බලන්න ගිය ගමනක්.
කුමාරි ඇල්ල, ඇල්ල උඩ ඇල්ල, රන්මුදු ඇල්ල හා දම්බොර ඇල්ල යන එම දියඇලි වල සුන්දරත්වය මේ වීඩියෝවෙන්.

 

 

[vsw id=”/XiHP0bRGdS0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

කොළඹ දියඇලි සොයා ගියෙමු

උදැසන 8:30 පමණ ගෙදරින් පිටත්වූ අප දම්බොර ග්‍රාමයට ළඟා වනවිට පෙරවරු 9:15 පමණ වී තිබිණ. පාදුක්කේ සිට දම්බොර ඇල්ල දක්වා මුළු දුර කිලෝමීටර 12 ක් පමණ වේ. දම්බොර වැසියන්ගෙන් අප එම දිය ඇල්ල ගැන විමසු මුත් ඔවුන් බොහෝ දෙනෙක් ඒ ගැන දන්නේ නැත. දම්බොර විහාරස්ථාන අසලින් විමසු විට එහි සිටි පුද්ගලයෙකු පැවසුවේ දිය ඇල්ලක් නොදන්නා නමුත් දොළපාරක්‌ නම් ඉදිරියේ ඇති බවය. ඒ අනුව සොයා යන විට එම දොළපාරත් දම්බොර අල්ලේ ඉහළ කොටසත් අපට හමුවිය.

 

 

 

 

දම්බොර අල්ලේ ඉහළ කොටස.

මෙම අල්ලේ පහළ කොටසේ හඬ අපිට ළඟ ළගම ඇසෙන නමුත් පහළට ළඟා වියහැකි මාර්ගයක් නොදිටිමු. මෙනිසා අකැමැත්තෙන් වූවත් පහළ කොටස නැරඹීමේ අවශ්‍යතාව අත හැර දැමුවේ තවත් දිය ඇලි කීපයක් නැරඹීමට ඇති නිසාය.

ඉන්පසු අප එම මාර්ගයේම තවත් කිලෝමීටරයක් පමණ ඉදිරියට යනවිට කලුඅග්ගල – ලබුගම මාර්ගයට ප්‍රවිෂ්ට වන අතර, එහිදී වම් පසට දිවෙන මාර්ගයේ තවත් කිලෝමීටරයක් පමණ යනවිට තුම්මෝදර මංසන්දිය හමුවේ. මෙම මංසන්දියෙන් පුවක්පිටිය මාර්ගයේ කිලෝමීටරයක් පමණ යනවිට දෙවන දිය ඇල්ල වන රන්මුදු ඇල්ල හමුවේ. මෙයද ඉතා අලංකාර දිය ඇල්ලකි.

 

 

 

රන්මුදු අල්ලේ ඉහළ කොටස


රන්මුදු අල්ලේ පහළ කොටස.

 

මෙය නැරඹීමෙන් පසුව අපි නැවතත් පුවක්පිටිය තුම්මෝදර ප්‍රධාන මාර්ගයට පිවිසියෙමු. මෙම ගම තවමත් නාගරිකරණය නොවූ සුන්දර ගමකි. මෙහිදී පිරිසිඳු වතුර, කෙත්වතු සහ වාතාශ්‍රය නොඅඩුව ඔබට විඳගන්නට හැකියාව ඇත. ප්‍රධාන මාර්ගයේ ඇති කුඩා තේ කඩයෙන් වස විස නැතිව හැදුනු කෙසෙල් ගෙඩියක් කා හකුරු සමග තේ කෝපයක් පානය කළ අප එම මාර්ගය ඔස්සේ තවත් ඉදිරියට ගමන් කෙරුවේ මීළග දියඇල්ල වන ඇල්ල උඩ ඇල්ල දැක ගැනිමටය. මේ සඳහා එම මාර්ගයේම තවත් කිලෝමීටර 2ක් පමණ යා යුතුය. මෙවිට ඉළුක්ඕවිට කණිෂ්ට විද්‍යාලය හමුවේ. පාසලට පෙර දකුණු පසට ඇති මාර්ගයේ කිලෝමීටර 1.5 පමණ ගිය තැන මෙම ඇල්ල සඳහා ප්‍රවේශ වන මාර්ගය හමුවේ.

 

 

ඇල්ල උඩ ඇල්ලේ ඉහළ ඇල්ල

මෙම ඇල්ලට මෙම නම ලැබී ඇත්තේ මෙය කොටස් දෙකකින් යුතු නිසා විය හැක. මෙහි බහුලව මත්ස්‍යයන් දැකගත හැකිය.

වතුර වැටිමෙන් දිය සෙවල බැඳී ඇති ගල් මත යාමේදී ලිස්සිමෙන් වැළකීමට අධාරකයක් (දෙපස ඇති ගස් හෝ උණ පඳුරු) අල්ලා ගත යුතුය.
ඇල්ලේ මෙම කොටසට පැමිණීම සඳහා ඇළ හරහා දකුණුපස ඇති රබර්වත්ත හරහා යා යුතුය. මේවා පුද්ගලික ඉඩම් නිසා ඒවාට හානි නොවන අයුරින් ගමන් කළ යුතුය.

මෙහි දිස්වන්නේ දියෙන් මතුවූ රත්න මාණික්ඛ්‍යයක් නොවේ. සංචාරකයන් විසින් විසි කරන ලද බියර් ටින් එකකි. මේවා මෙලෙස අක්‍රමවත් ලෙස දමා යාමෙන් පරිසරය අවලස්සන වෙනවා මෙන්ම විවිධ සෞඛ්‍ය තර්ජන ද ඇතිවේ.

ඇල්ල උඩ ඇල්ලේ සුපිරිසිඳු දිය දහරාව. කොළඹ දිස්ත්‍රික්කයේ මෙවැනි දිය දහරාවක් දක්නට ලැබීම කොළඹ අපට වාසනාවකි. මේවා රැකගැනීම අපගේ යුතුකමකි.

මෙම ස්ථානයෙන් නික්ම නැවතත් ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වුයේ අප නැරඹීමට බලාපොරොත්තුවන මීලග ඇල්ල වන කුමාරි වළ ඇල්ල වෙත ගමන් කිරිමටයි. පුවක්පිටිය තුම්මෝදර මාර්ගයේ පුවක්පිටිය දෙසට තවත් කිලෝමීටර 3 පමණ යනවිට අපට මාර්ගයේ දකුණු පසින් හේවාහින්න මාර්ගය හමුවිය. මෙම අතුරු මාර්ගය නඩත්තු නොකිරීම නිසා ගල් මතුවී ඇතත් කුඩා වාහනයක වුවත් ප්‍රවේසමෙන් යා හැක. මෙම මාර්ගයේ කිලෝමීටර භාගයක් පමණ යනවිට කුමාරි වළ ඇල්ල සඳහා ප්‍රවේශ මාර්ගය හමුවේ.

 

කුමාරි වළ ඇල්ල සුන්දර මෙන්ම තරමක් අනතුරුදායකය. වතුර වැඩිපුර ඇති අවස්ථාවල නැරඹීමේදී ආරක්ෂාකාරී විය යුතුය.

ඇල්ලේ ඉහළ කොටස. මෙය පොකුණක ආකාරයට සකස්වී ඇත.

වතුර වැටීමෙන් කළුගල ඛාදනය වී ඇති අයුරු. අධික වැසි කාලයේ දී මෙම වළවල් වතුරින් වැසි යන අතර නොදැනුවත්ව ම මේවාට වැටීමේන් අනතුරු වලට භාජනය වේ.

තවත් එවැනි ඛාදනය වී ඇති ස්ථානයක් වතුරින් පිරි ඇති අයුරු.

ඇල්ලට පහළින් ඇති ජල තටාකය. බොහෝ දෙනා ස්නානය සඳහා මෙය භාවිතා කරනු ලැබුව ද මේය තරමක් ගැඹුරින් යුක්තය බව පෙනී යයි.

දිය අල්ලේ ජලය පහළට ගලාබසිනා ආකාරය මනස්කාන්ත දර්ශනයක් මවාලයි.
ඇල්ල නැරඹීම සඳහා පැමිණි සංචාරකයන් විසින් එකතුකර දමා ගිය ප්ලාස්ටික් බෝතල් සහ ටින් කැබලි. මේවා තද වතුර පහරක් පැමිණිවිට නැවත ජලයට එකතුවනු ඇත.

මිහිමඬලට ජීවය ලබා දෙන මෙවැනි ස්ථාන නැරඹීමේදී අප විසින් පරිභෝජනය කරණු ලබන අහාර වල දවටන, ප්ලාස්ටික් බෝතල් වැනි දේවල් නැවත රැගෙන ඒමට මතක තබා ගත යුතුය. මෙලෙස පුරුදුවීමෙන් අපගේ මාතෘ භුමිය අලංකාර තැනක්‌ කිරීමට අපටද යම් තරමක හෝ දායකත්වයක් ලබාදිය හැක. එය ඔබගේ මගේ මෙන්ම මතු පරපුරේද ජිවය සුරක්ෂිත කරනු ඇත. ‌

 

ඔබ සැමට අප දේශයේ සුන්දරත්වය විඳීමට ලැබේවා!

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.