ක‍්‍රිකට් සංස්කෘතියක් තිබුණා- අර්ජුන

WWWW(18)

ක‍්‍රිකට් ක‍්‍රීඩාව මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් නොකර ගන්නා ලෙසත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ව්‍යාපාරයක් බවට පත්කිරීම කිසිවිටක අනුමත නොකරන බවත් 1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක සහ වර්තමාන වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති ‘සිංගර් පාසල් ක‍්‍රිකට් සම්මාන ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. ”අපි ක‍්‍රිකට් ගහන කාලෙයි අද ක‍්‍රිකට්වලයි ලොකු වෙනසක් තියෙනවා. අද ක‍්‍රිකට් ක‍්‍රීඩාව ව්‍යාපාරයක් බවට පත්කරලා තියෙනවා. මම ඒකට කිසිදාක අතක් උස්සන කෙනෙක් නෙමෙයි” ”ක‍්‍රිකට් ක‍්‍රීඩාව කියන එක පසුගිය කාලේ ක‍්‍රීඩාවකට වඩා ඔබ්බට ගිහින් දේශපාලනීකරනය වෙලා මේ රටේ ජනප‍්‍රිය එහෙමත් නැත්නම් ආගම බදු ක‍්‍රීඩාව පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ඈත් වෙලා තියෙනවා. ඒකට ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නේ පහුගිය කාලේ අපි ක‍්‍රිකට් ගෙනගිය පැත්ත හැරි නෑ” ”සිදත් වෙත්තමුණි මහත්තයා කිව්වේ 1975 මේ වගේම සම්මාන ලබාගත්තා කියලා. මමත් 1980 මේ වගේම බ්ලේසර් ඇදලා ටයි එකක් දාලා පාසල් ක‍්‍රීඩකයා හැටියට කුසලානයක් ගත්තා. ඒ කාලයේ ආනන්දෙ බ්ලේසර් පහක් නැත්නම් හයයි තිබුණෙ. අද සමහර කොළඹින් පිට පාසල් දරුවො දිහා බලන විට අපිට සතුටු වෙන්න පුළුවන්” ”මේ පුතාලට මම දෙන එකම උපදෙස තමයි කවදාවත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ව්‍යාපාරයක් කර ගන්න එපා. කවදාවත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සල්ලි හම්බකරන්න කරන්න එපා. මේ ක‍්‍රීඩාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්” ”මේක ජීවිතයට බලපාන දෙයක් බවට පත්කර ගන්න. අද ලෝකෙ උඩම තලයේ ඉන්න කෙනා හෙට දුර්වල වෙලා පහළටම වැටෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ජය පරාජය දෙකම විදින්න ඉගෙන ගන්න ඕනේ. මේවගේ ක‍්‍රීඩාවක් ව්‍යාපාරයක් බවට පත්කිරීම මම නම් කිසිදවසක අනුමත කරන්නේ නෑ”

 


”අපේ ක‍්‍රිකට් සංස්කෘතියක් තිබුණා. පිට රටවලින් ඉගෙන ගත්තු ඒවා නෙවෙයි. සතාසිවම් මහත්තයාලගේ, එස්. ඊ. ජී. සේරම්ලාගේ, මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, සිදත් වෙත්මුණි, අරවින්ද ද සිල්වා මේ අපි හැමදෙනාටම ක‍්‍රිකට් ඉතිහාසයක් තිබුණා. ඒකේ ක‍්‍රිකට් සංස්කෘතියක් තිබුණා. පිට රටවල් ක‍්‍රිකට් ගහන දිහා බලලා අපි ඒකෙන් ඉගෙන ගන්න හැදුවේ නෑ. අපි කරේ අපේ ක‍්‍රිකට් දියුණු කරගෙන අපේ දක්‍ෂතා දියුණු කරගෙන තමයි අද ඉන්න තත්ත්වෙට ගෙනත් තියෙන්නේ” ”පහුගිය කාලේ ඉතාමත් කණගාටුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව දිහා බලාගෙන හිටියා. ක‍්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ හතරක් එකම තැනක හදන්න ඉතාමත්  ඕනකමින් බලාගෙන ඉන්වලූ. මම 2008 ක‍්‍රිකට් ආයතනයේ ඉන්න විට පාසල්වල සියලූම පුහුණුකරුවන්ට වැඩමුළුවක් තියලා 1000 කට ආසන්න පුහුණුකරුවන්ට සහතිකයක් ලබා දුන්නා. මම පාසල් ක‍්‍රිකට් සංගමයට කිව්වා එම පුහුණු සහතිකය නැතුව කිසිම පුහුණුකරුවකුට ක‍්‍රීඩාංගණයට බහින්න දෙන්න එපා කියලා” ”මම එක දවසක් කොළඹින් පිට යන කොට පාසල් ක‍්‍රිකට් ගහනවා බලන් හිටියා. මම දැක්කා ඒ දරුවන්ට උගන්වන දේ. මම එදා තීරණය කරා මම කවදා හරි ක‍්‍රිකට් ආයතනයට ආවොත් පුහුණුකරුවන් මුලින් හදලා ඉන්න  ඕනේ කියලා” ”අපි හරි වාසනාවන්තයි. අපිට ලැබුණ පුහුණුකරුවෝ සල්ලිවලට පුහුණු කරපු අය නොවෙයි. ලයනල් මෙන්ඩිස් මහත්තා මගේ ගුරුවරයා. මෙන්ඩිස් සහෝදරයෝ, වෑන් සිල්වා මහත්තයා, ජේ. එස්. සිල්වා මහින්දේ මේවගේ පුහුණුකරුවො අපිට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පමණක් උගන්වන්න නොමෙයි හිටියේ.

 

 

ඒ පුහුණුකරුවෝ හුගක් දේවල් ඉගැන්වුවා” ”ෆෝවඞ් ඩිපෙන්ස් එකයි, බැක්ෆුට් ඩිපෙන්ස් එකයි හදන එක නෙමෙයි පුහුණුකරුවන්ගේ වගකීම. මට මතකයි ලයනල් මෙන්ඩිස් සර් බැට්එක අරගෙන ඇවිදින්නේ කොහොමද කියලා ඉගැන්වුවා. කෑම මේසෙ කෑම කන හැටි ඉගැන්වුවා. මට ඉංග‍්‍රීසි කථා කරන්න බෑ ඒ දවස්වල. වැරදුණාම එක හදලා ඒකත් ඉගැන්වුවා. පුහුණුකරුවා කියන්නේ පිත්තයි බෝලෙයි දක්‍ෂතාව කියලා දෙන කෙනෙක් නොවෙයි” එතනින් ඔබ්බට ගිය කෙනෙක්. ඒ නිසා පුහුණුකරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. පාසලේදී හැදුවේ නැත්නම් ජාත්‍යන්තර තලයට එනවිට හදාගන්නට අමාරු වෙනවා” යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය. මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා සහභාගි විය.   ඡායාරූපය – ශාන්ත රත්නායක

 

 

 

 

Don Bradman with Sathasivam

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.