ගල්බොඩ ඇල්ල -චාරිකා සටහන

 

 

දිය ඇල්ල නැරඹීමට ගලබොඩ දුම්රිය ස්ථානයේ සිට ගල්බොඩ තේ වතුයාය මැදින් ඉහළට වූ මාර්ගයේ ගමන් කළ යුතු ය. වර්ෂා සමය නිසාවෙන් සමහර තැනෙක පස සේදී ගොස් මාර්ගය අබලන් වී තිබේ. දකුණු දෙසින් දිස්වන්නේ හරිත වර්ණයෙන් ගැවසී ගත් කඳුවැටියයි. එහි සිට ගලා එන දිය දහරක් කුඩා නිම්නයක් ඔස්සේ පහළට ගලා යයි. මදක් ඉහළට ගමන් කරත්ම දුම්රිය මග හා එහි බිංගෙය වම් පසින් කඳු බෑවුමේ දිස්වන අතර නෙත් යුග මදක් ඉහලට යොමු කරත්ම බැලූ තෙක් මානයේ ඇති චමත්කාරජනක දර්ශණය දැකගත හැකි ය. කඳුවැටි එකිනෙක යා වී ක්ෂිතිජය තෙක් දිව යන්නා සේ වරෙක පෙනේ.පරිසරය නිහඬය. නිශ්චලය. තේ වතුවලට සේවය කරන්නන් හැරුණු විට මෙම ගමනේ දී හමුවන්නේ දිය ඇල්ල, නරඹන්නට යන හෝ නරඹා එන පිරිස් පමණකි. දිය ඇල්ලේ ශබ්දයක් හෝ මේ මගෙහි ගමන් කරන අතරතුර නොඇසෙන බැවින් මුලින් ම දිය ඇල්ල, සොයා යන්නෙකුට නම් එය දුෂ්කර කාර්යයක් වනු ඇත.

තේ වතු පසු කරත් ම මාර්ගයට වම් පසින් ගලා එන දිය දහරක් හමුවන අතර එතැන් සිට එහි ඉවුර දිගේ වැටුනු අඩි පාරකි. ගලබොඩ දිය ඇල්ල නැරඹීමට මෙම අඩි පාරෙහි ගමන් කළ යුතු ය. වම් පසින්් වූ නිම්නය මතින් ගලා එන්නේ දිය ඇල්ල නිර්මාණය කරන හඟුරන්ඔයයි. එහි දිය කඳ ගල්තලා මත විසිතුරු රටා මවමින් ගලාගොස් ඉඟුරු ඔය හරහා මහවැලි නදිය හා එක්වේ. හඟුරන් ඔයෙහි නිම්නයට ඉහළින් දක්නට ලැබෙන්නේ ගහකොළ වලින් වැසී ගිය කඳුවැටියයි. ඒවා මුදුන්හි සිහින මිහිදුම් දහරාවක් ගලා යමින් පරිසරයේ චමත්කාරය තවත් වැඩි කරයි.මේ මගෙහි මද දුරක් ගමන් කරත් ම කුඩා අඩි පාරක් වන වදුලු අතරින් විහිදී තිබෙනු දක්නට ලැබේ. ඇල්ල අසලට යාමට මෙහි ගමන් කළ යුතු ය.

නොමැතිනම් හඟුරන්ඔය හරහා ඉදිකර තිබෙන ලී පාලමෙන් එතෙර වී කඳු මුදුනට නැග ගත යුතු ය. මාර්ගය ගහ කොළවලට මැදිව ගමන් කරන බැවින් දෙපසින් මෙන් ම හිසට ඉහළින් ද ඇත්තේ තුරුවියන් පමණක් ය. හිරු කිරණ බිඳක් හෝ නොලැබෙන නිසාවෙන්ද දිය දහරාවන් ගලායන බැවින් ද ගතටත් සිතටත් ලැබෙන්නේ ඉමහත් සිසිලසකි. සුවදායක බවකි.

මේ එහි ගිය ගමනක චාරිකා සටහනක්

 

[slideshow_deploy id=’33623′]

 

දැන් ඉතින් විභාගෙත් ඉවර එකේ, කරන්න කියල ඒ හැටි වැඩකුත් නෑ.. කෝස් කට්ටක් කරන්න බැලුවත් සැප්තැම්බර් වලින් මෙහා පටන් ගන්න එකක්වත් නෑ.. ඒ නිසා ඉතින් ඉඳගෙන හිටපුවටත් එක්ක හරි යන්න, හිතුව පොඩි ට්‍රිප් පාරක් දාන්න ඕනේ කියල. කැමරා කටුවකුත් හම්බුන එකේ, මම බැලුවේ උඩරට පැත්තට යන්න. ප්ලෑන් කලේ මාව හැමදාම වගේ උඩහට එක්කන් ගිය පොඩ්ඩි එක්කම උඩහට, රොසැල්ල පැත්තට ගිහින් එයා එක්කම ආපහු එන්න. ඕක හිත හිත ඉන්නකොට මගේ යාලුවෙක් වෙච්ච අකිල අයිය කිව්වා එයාල ගල්බොඩ දිය ඇල්ල බලන්න යනවා, කැමති නම් එන්න කියල. ආය ඉතින් මොනවද මමත් ඉතින් හා කිව්වා..
ලංකාවේ ලස්සන දිය ඇලි වගේ දේවල් ගොඩාක් තියනවා බොහෝ දෙනෙක් නොදන්න ඒ වගේම මාර්ග පහසුකම් කිසිවක් නැති. ඒ වගේ එක දිය ඇල්ලක් තමයි එල්ජින් ඇල්ල. මේක උඩරට දුම්රිය මාර්ගයට දර්ශනය වෙන ලස්සන දිය ඇල්ලක්. මේ ගල්බොඩ ඇල්ලත් ඒ වගේ. මෙතෙන්ට ලඟා වෙන්න උඩරට දුම්රිය මාර්ගයේ නාවෙලපිටිය පසු කල විට හමු වන දෙවන දුම්රිය ස්ථානය වන “ගල්බොඩ” දුම්රිය ස්ථානයෙන් බැස කිලෝ මීටරයක් පමණ දුරක් පාගමනින් ගමන් කල යුතු වෙනවා.
අපි ඉතින් ගමනට සෙට් වෙලා පොඩි මැණිකේ එක්ක යන්න කතා උනා. මම ඉතින් පාන් ටිකක් එහෙම ටෝස්ට් කරගෙන 9 වෙද්දී ලැස්ති වෙලා ස්ටේෂමට ආව.. එතෙන්දි අකිල අයියල හම්බුනා. යන්න ප්‍රවේශ පත්‍රයක් මට එයාලගේ අප්පච්චි අරන් දුන්නා.. ඔය අතරේ පොඩ්ඩි පේරාදෙණියෙන් පිටත් වූ බවට පේරාදෙණියෙන් දැනුම් දුන්නා..
. මෙයා දැන් ගෙලිඔයෙත් නතර කරන නිසා සෑහෙන්න ලේසි. මාර යාමනක් යන්නේ.. ඔව් ඉතින් දෙපැත්තෙන්ම බලය දෙනකොට යන්නැතුව පොල් ගාන්නයැ නේද?

 

මෙතන ඉතින් මේ ස්ථානය ගැන දත යුතු සියලු විස්තර තියනවා.. හැබැයි දිය ඇල්ලට යන්න තව ටිකක් යන්න ඕනේ කඳු පාරක.

අපි කොහොම හරි 10.45 වගේ වෙද්දී ගල්බොඩට ආව..

අපි යන්න සෙට් උනේ දවල් පෙරහැර දවසේ.. ඒ කියන්නේ 2013/08/21. ඒ දවසට සාමාන්යෙන් උඩරටට අනිවාර්යෙන් වහිනවා.. එදත් ඉතින් එකේ වෙනසක් තිබ්බේ නෑ..
මෙන්න ගිය කස්ටිය.. ඔය කුඩයක් ඉහලන් ඉන්නේ අකිල අයියගේ මලයා..
මේ දිය ඇල්ල ඈත ඉඳන් පේන හැටි..
මේ තියන්නේ දිය ඇල්ල උඩ කොටස.

මෙතෙන්ට ඇවිත් නාන්නේ නැතුව යනවා නම් ගමන සම්පූර්ණ නෑ,. ඒ උනාට පිහිනන්න නිදන්න කෙනෙක් නම් වැඩිය මැදට නොයන එක තමා නුවනට හුරු. අපි ඉතින් ගෙනාපු කෑම වලින් කොටසක් කාල, වැස්ස මැද්දෙම නාගෙන, ෆොටෝ ටිකක් අල්ලාගෙන ආපහු එන්න පිටත් උනා//

ඔය ඉන්නේ මමතුමා..
මේ තමයි මේ ගමනට මාව එක්කන් ගිය අකිල අයියා..
මෙන්න සූම් කරලා ගත්ත එකක්.
ලඟදි ඉඳන් මේඇල්ලෙන් වතුර අරන් ග්‍රාමීය ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. මේ ඒකෙ කොටහක්.
මේ තමයි අංක 1007 දරන දුම්රිය. මෙයා තමා දැනට මහනුවරින් උඩහට නැරඹුම් මැදිරි පහසුකම එක්ක යන එකම දුම්රිය.
මෙයාට කියන්නේ ගල්බොඩ මැණිකේ.. නාවෙලපිටියේ ඉඳන් ඇවිත් ආපහු යනවා..
මේ තියන්නේ ගල්බොඩ දුම්රිය ස්ථානය. බලන්න පරණ බ්‍රිතාන්‍ය යුගයේ  සිහිවටන සෑහෙන්න ඉතිරි වෙලා තියනවා..
මේ අපිව ආපහු ගෙදර අරන් ගිය කොළඹ බලා යන පොඩ්ඩි..

පොඩ්ඩි මෙතෙන්ට එන්නේ හවස 2.26ට . ඒ නිසා මේ දිය ඇල්ල බලන්න එනවා නම් හොඳම ක්‍රමය තමා උදේ 5.50ට කොළඹ කොටුවෙන් (උදේ 8.36 මහනුවරින්) පිටත් වෙන පොඩි මැණිකේ දුම්රියෙන් එන එක. එකේ ඇවිත් බලල නාල කනවා නම් කාල ආපහු හවස පහලට යන පොඩ්ඩි එක්කම යන්න පුළුවන්.. දැන් බලවේග කට්ටලයක් යන නිසා ඉඩ කඩේ ප්‍රශ්නෙකුත් නෑ.. ඕනේ නම් වෙන්කරවාගන්න පන්ති තුනෙන්ම මැදිරි තුනක් තියනවා..

අපි ඉතින් ගමන ඉවරල ආපහු සතුටින් ගෙලිඔයට සැපත් උනා. එතකොට නම් මගේ කැමරාවේ බැටරිය මැරිලා. ආ.. කැමරාව ගැන නම්  තියන්න තියන්නේ එච්චර හොඳ සටහනක් නෙවේ. වෙනද මම ෆොටෝ ගන්න නොකියා 6220 ජංගම දුරකතනයටත් අන්තයි. මේකේ දාල තියන ෆොටෝ උනත් තෝරලා තෝරලා ගත්තේ.. අනිත් ඒවා බොහොමයක් හරියට හවස 6ට 7ට ගත්ත ගානයි..

ප/ලි- කට්ටිය එල්ජින් ඇල්ල ගැන අහල තිබ්බ නිසා මෙන්න ඒකෙ ෆොටෝවකුත් දානවා-

මේ තමයි එල්ජින් ඇල්ල. මේක ගත්තේ කලින් දාපු මෙන්න මේ ගමන  ගිහින් පොඩ්ඩි එක්ක ආපහු එනකොට පා පුවරුවක ඉඳන්..

විශේෂයෙන් සැලකිය යුතුයි-

* පිහිනීමට කිසිඳු හැකියාවක් නොමැති හෝ දුර්වල ශරීර ඇති අය නෑමට ඇල පාර මැදට යාම නම් අතිශය භයානකයි.. එසේම දිය ඇල්ල පාමුලට යාමට මාර්ගයක් නොමැත. යා යුත්තේ ගල් පර්වත උඩින් පැනගෙනයි. එම ගල් නිරතුරුවම දියසෙවෙල් වලින් ආවරණය වී පවතී..

* මෙම ප්‍රදේශයේ ගෝනුස්සන්, සර්පයන් ආදී සතුන් ගැවසේ. විශේෂයෙන් කූඞැල්ලන්ගේ ප්‍රහාරයට ලක් වීම බලාපොරොත්තු විය හැක. දෙහි ගෙඩි දෙක තුනක් ගෙන යාම කොයි අතිනුත් ප්‍රයෝජනවත්ය.

* මෙම පරිසර පද්ධතිය රැකබලා ගැනීම හා ආරක්ෂා කිරීම මෙහි සංචාරය කරන ඔබ සතු වගකීමකි. පිය සටහන් පමණක් තබා එන්න. ඒ හැර ඉවත දමන දේ දැමීමට නියමිත තැන් වල පමණක් දමන්න.

* පානීය ජලය හා ආහාර රැගෙන යාමට වග බලාගන්න.-පිටසක්වල ගේ සටහනක්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.