”ග්ලයිපොසේට්” රසායන ද්‍රව්‍ය අඩංගු වල්නාශක වෙනත් නමකින් වෙළෙද පොලට…………..

Insecticidesදිනසේන රතුගමගේ
වකුගඩු රෝගය වැළදීම කෙරෙහි බලපාන ”ග්ලයිපොසේට්” රසායන ද්‍රව්‍ය අඩංගු වල්නාශකය අලෙවි කිරීම ශ්‍රී ලංකාව තුළ තහනම් කොට ඇතත් එම රසායන ද්‍රව්‍ය වෙනත් නමකින් හා වෙනත් ආකාරයකින් වෙළෙද පොලට පැමිණ ඇති බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය චන්න සුදත් ජයසුමන වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඉන්දියාවේ සිට මෙම වල්නාශකය උතුරු පළාතෙන් මුහුදු මගින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් අලෙවිකරණ බව කී එම වෛද්‍යවරයා කළින් දියරයක් වශයෙන් පැමිණි එම වල්නාශකය දැන් කුඩු වශයෙන් වෙළදපොලට පැමිණෙන බවද වකුගඩු රෝගීන් දැණුවත් කිරීම පිණිස වන්නියට පැමිණි චන්න සුදත් ජයසුමන වෛද්‍යවරයා කියා සිටියේය.

”ග්ලයිපොසේට්” රසායන ද්‍රව්‍ය අඩංගු වල්නාශක ගෙන්වීම තහනම් කිරීම නිසා වකුගඩු රෝගයෙන් මියයන සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් පහත වැටී ඇති නිසා රජයේ වගකිව යුතු අංශ ව්‍යාජ නමකින් වෙළද පොලට එන නව නිෂ්පාදනය අත් අඩංගුවට ගැනීමට පියවර ගතයුතුව ඇතැයි පෙන්වා දෙයි. දැනට උතුරු හා උතුරු මැද පළාත්වල වකුගඩු රෝගීන් හතළිස් දෙදාහක් පමණ සිටින බව පෙන්වා දෙන ජයසුමන වෛද්‍යවරයා අලුතෙන් වසරකට නව රෝගීන් දෙදහස් පන්සීයක් පමණ එකතු වන බවද සදහන් කළේය.

ගතවූ වසර පහක කාලය ඇතුළත වකුගඩු රෝගීන් විසිහතර දහස් තුන්සීයක් පමණ මියගොස් ඇති වග පැවසූ වෛද්‍යවරයා වත්මන් සංඛ්‍යා ලේඛණ වලට අනුව දිනකට වකුගඩු රෝගීන් හයත් අටත් අතර ප්‍රමාණයක් මියයන බවද සංඛ්‍යා ලේඛණ වලට අනුව පෙන්වා දුන්නේය. වකුගඩු රෝගය පාලනය කිරීම පිණිස රජයත් රාජ්ය නොවන සංවිධානත් ගම්මට්ටමින් පිහිටුවනු ලබන ජල පෙරණ යන්ත්‍ර සවි කිරීම මෙම රෝගය පාලනය කිරීමට සමත් නොවන බවද ඔහු කියා සිටියා. එම යන්ත්‍ර වලින් පෙරණ ජලයේ ජලය තුළ තිබියයුතු ප්‍රධාන සංඝටක පවා දක්නට නොලැබෙන නිසාත් එය නඩත්තු කිරීම සදහා විශාල වියදමක් දැරීමට සිදුවන බවත් ජයසුමන වෛද්‍යවරයාගේ මතයයි.

මේ නිසා පළාත්වල ඇති වැව් ප්‍රති සංස්කරණය කොට පානීය ජලය ලබාගැනීම සදහා විශේෂිත වැව් පිහිටුවීම මේ සදහා උචිතම වැඩපිළිවෙල බවට තමන් යෝජනා කරණ බවද පැවසීය. රජයෙන් දැනට එක් වකුගඩු රෝගියෙක් වෙණුවෙන් මසකට ලබාදෙන රුපියල් තුන්දහසක දීමනාව කාලානුරූපව රුපියල් හත්දහස දක්වා වැඩි කිරීමත්,එම රෝගීන් සිටින නිවසකට ආහාර,ඖෂධ ලබාගනීම පිණිස විශේෂ සලාකයක් නිකුත් කිරීමත් වඩා පලදායි වැඩසටහනක් බවද ඔහු කියා සිටිනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.