ගෝඨා ගේ තහනම් නියෝගය ගැටළු සහගතයි-රනිල්

 

 

RANILW2
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් තළ තහනම් නියෝගය පිළිබඳ ගැටලු පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එවැනි තහනම් නියෝගයක් ලබාදීමට අවම වශයෙන් විනිසුරුවරුන් තිදෙනෙකු  සිටිය යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්    අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

කෙසේවෙතත් එම පෙත්සම විභාගයට ගැනීමට පෙර එය සලකා බැලීමට පත්කල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් බුවනෙක අළුවිහාරේ විනිසුරුවරයා ඉල්ලා අස්වුණි.

මේ හේතුවෙන්  ව්‍යවස්ථානුකූලව අදාළ තහනම් නියෝගය ලබාදීම සම්බන්ධයෙන් ගැටලු මතුවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උසාවියට ගොනු කරන ලද පිටු 600ක පෙත්සම ඊයේ සවස තමන් වෙත ලැබුණු බවද, එය සිය නීතිඥයින්ට බාරදුන් බවද  මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අගමැතිවරයා කියා සිටියේය.

එසේ වුවද දුන් නඩු තීන්දුව තවමත් ලැබී නැති බවද ඒ මහතා පැවසීය.

තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගියදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් උසාවියට ගොනු කළ අතර එය විභාගයට ගත් ඊවා වනසුන්දර හා සරත් ද ආබෲ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් වනතුරු ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් පෙරේදා නියෝගයක් නිකුත් කළේය.

ඒ අනූව එය  යළි ඔක්තෝබර් 06 තෙක් කල් දැමීය.

මේ අතර ජනමාධ්‍ය ප්‍රතිව්‍යුගත කිරී‍ම සම්බන්ධයෙන් පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ සමුළුවට ද සහභාගි වෙමින් අගමැතිවරයා ඊයේ කියා සිටියේ මෙම තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි.

ගෝඨාභයගේ පෙත්සම ඔක්තෝබර් 06 තෙක් කල්දැමීමත් සමග ඒවන විට අලුත් පාර්ලිමේන්තුවක් බිහිවීමට ඉඩ ඇති බැවින් එකී තීන්දුව ගැන පොදුරාජ්‍ය මණ්ඩලයේ නීති උපදෙස් ලබා ගැනීම සුදුසු බවද හෙතෙම පෙන්වාදුන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූරය දරන බවද මතක් කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

මේ අතර අද කැඳවූ මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ අදාළ තීන්දුව සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ උපදෙස් පැතීම අනවශ්‍ය බවයි.

අගමැතිවරයාගේ එම ප්‍රකාශයෙන් මෙරට අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්වන බවද, එවැනි ගැටලුවක් පොදුරාජ්‍ය මණ්ඩලය හමුවට නොගොස් රට තුළම විසඳා ගැනීම වැදගත් බවද හෙතෙම පැවසීය.

අධිකරණය ලබාදුන් තීන්දුවට ඒ අනූව ගරු කළ යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

 

 

[vsw id=”/ZOARM1mneIo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.