ජගත් සිනමා වංශ කථාවේ ශ්‍රී ලාංකීය සලකුණ අැයයි !

malani-fonsekaඅද දින,”70″ වන වියට එළඹුන හෙළ සිනමාවේ මුදුන් මල්කඩ බඳු, විශ්ව කීර්තී, අාචාර්ය “සෙනෙහෙලතා” මැතිණියගේ ජන්ම දිනය වෙනුවෙන් තබන සටහනයි.

රටක ඉතිහාසය පිරික්සන විට යම් යම් ක්‍ෂේත‍්‍ර අරබයා සුවිශේෂි මෙහෙවරක් කරන ලද පුද්ගලයන් හමුවනු ඇත. ලාංකීය කලා ඉතිහාසයේ පිටු පෙරළා බලන විට එවැනි චරිත අපට හමුවෙයි…ඒ අතර,වර්ෂ 1947 අප්‍රියෙල් මස 30 වන දින කැළණිය දී උපන් සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියක මෙන්ම වර්ථමානයේ “සිංහල සිනමාවේ නිලි රැජින” යන විරුදාවලියෙන් හඳුන්වන “වන්නිආරච්චි මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා.” නම් වු මේ අග්‍රග්‍යණය නිළියද සුවිශේෂී වන්නේය.

පුරා දශක කීපයක් සිංහල සිනමාව මනරංජනය කළ ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ වර්ෂ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී ‘හොඳම නිලිය සම්මානය’ ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසු 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිලිය සම්මානය කීප විටක් දිනා ගත්තාය. 2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සීඑන්එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.

අැයගේ ජීවන චරිතය හා මුල් අවධිය පිළිබදව සදහන් කිරිමේදි,ගිල්බට් හා සීලවතී ෆොන්සේකා යන අයට දාව තෙවන දරුවා ලෙස ඇය, කැළණිය malani-fonseka-1පෑලියගොඩ දී උපත ලැබුවාය. උපතින් පසු ඔවුන්, නුගේගොඩ ජම්බුගස්මුල්ල පදිංචියට ගිය අතර 1952 දී මාලනිය ඇගේ අධ්‍යාපන කටයුතු ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආරම්භ කලාය. නැවතත් පදිංචිය වෙනස් කරමින් ඔවුන් කැළණියේ වෙදමුල්ල ට පැමිණීම නිසා ඇය පාසල වෙනස් කරමින් කැළණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළු වූවාය, ඇය සිය අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ එම විද්‍යාලයේදී යි.

මාලනිය ඇගේ රංගන දිවිය පටන් ගන්නේ වේදිකාවෙනි.වර්ෂ 1963 දී, “නොරත රත” වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 වර්ෂයෙදී, රග පෑ අකල් වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිලිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය වේදිකා නාට්‍ය 14 කට සිය ප්‍රධාන රංගනය එක්කලාය.

මා මුලින් සදහන් කලාසේම ඇය සිනමා දිවියට පිවිසෙන්නේ වර්ෂ 1968 දී තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඉන්පසු එම වසරේදීම ඇය අබුද්දස්ස කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපට වලද රැගුවාය. ඇය රඟ පෑ සමස්ථ චිත්‍රපට සංඛ්‍යාව 140 ක් පමණ වේ, ඒ අතර විදේශීය චිත්‍රපට ද වෙයි.

ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය , අමරනාත් ජයතිලක ගේ සිරිපාල හා රන් මැණිකා, ධර්මසේන පතිරාජ ගේ එයා දැන් ලොකු ලමයෙක් සහ බඹරු ඇවිත් යන ඒවා හඳුනා ගත හැක . ඇගේ දිවියේ විශේෂ සනිටුහනක් තබමින් ඇය 1984 දී සසර චේතනා යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කලාය. ඇය විසින්ම 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රී යන චිත්‍රපටද අධ්‍යක්ෂණය කෙරිණි.

1978 දී ඇය දෙමළ රංගන ශිල්පී, සිවාජි ගනේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් හි රැඟුවාය.

malani-fonseka-2පසුකාලීනව ඇය රූපවාහිනිටද ප්‍රවිශ්ඨ වූවාය. ඇය රඟ පෑ මැනලද පුතේ කිරි දුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර, සහ අඹු දරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා හිමි විය. පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලි නාට්‍ය වල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලි නාට්‍ය නිලිය සම්මාන හිමි විය.

මාලනී, සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කල පලමු කාන්තාව බවටද පත් වූවාය.

2008 වර්ෂයේ තිරගත වු ඇය රග පෑ අවසන් චිත්‍රපටය ලෙස `ප්‍රසන්න වතානගේ ආකාස කුසුම් හැඳින්විය හැක.

රිදී තිරයේ මාලනීගේ රංගන වෘත්තිය ගාමිණී ෆොන්සේකා සහා විජය කුමාරතුංග සමග තවත් ඔපවත් විය.

අැය ලද සම්මානයන් අතර,
_______________

*ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කර ගත් පලමු ශ්‍රී ලාංකික නිලිය වූවේ මාලනියයි. ඒ 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගැනීමත් සමගයි. 1977 නව දිල්ලි චිත්‍රපට උළෙල දී ඇය තවත් සම්මානයක් හිමි කර ගත්තාය.

*2014 වසරේ මාර්තු 5 වනදා සිට 9 වනදා දක්වා ප‍්‍රංශයේ පැවැත්වූ 16 වන දෝවිල් (Deauvill) ආසියානු සම්මාන උළෙලේදීද, වසර 50 ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ දායකත්වය අගයමින්, මාලිනියට රන් නෙළුම සම්මානය පිරිනැමිණි.

*සරසවිය සම්මාන හැරුනු කොට ඇය ජනාධිපති සම්මාන, OCIC සම්මාන වලින්ද පිදුම් ලැබුවාය.

*ඇය රග පෑ “කෙම්මුර” ටෙලිනාට්‍යය සඳහා 2000 සුමති ටෙලි සම්මාන උළෙලදී ඇයට “හොඳම නිලිය සම්මානය” හිමි විය. ඇය විසින් සිනමාවට කල සේවාව අගයමින් 1996 දී ජනපති අතින් ඇයට විශ්ව ප්‍රසාධිනී සම්මානය පිරිනැමිණ.

*මාලිනියේ නමින් 2003 අප්‍රියෙල් 30 බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හී පැවැති මාලිනි ෆොන්සේකා අභිනන්දන malani-fonseka-3උළෙලට එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද සහභාගී වෙමින් දශක 4 ක් තිස්සේ ශ්‍රී ලංකීය සිනමාව ට ඇය දැක්වූ සේවාව අගය කලාය.

*2008 ජනවාරියේදී U.S.A. ලොස් ඇන්ජලිස් හි වසන ශ්‍රී ලාංකිකයින් විසින් මාලනියට උපහාර පල කෙරුණු අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වූ ජාලිය වික්‍රමසූරිය ඇතුළු පිරිස විසින්ද ඇය වෙනුවෙන් විශේෂ උත්සවයක් පවත්වන ලදී .

මාලිනීය හිමි කර ගත් සරසවිය සම්මානයන් වන්නේ,

*1979 හොඳම නිළිය – හිඟන කොල්ලා
*1979 වසරේ ජනප්‍රියතම නිළිය
*1980 ජනප්‍රියතම නිළිය
*1981 හොඳම නිළිය – ආරාධනා
*1981 ජනප්‍රියතම නිළිය
*1982 හොඳම නිළිය – යස ඉසුරු
*1982 ජනප්‍රියතම නිළිය
*1983 ජනප්‍රියතම නිළිය
*1984 ජනප්‍රියතම නිළිය
*1985 ජනප්‍රියතම නිළිය
*1985 විශේෂ සම්මානය – රුපියල් ලක්ෂ 50 ඉක්මවූ චිත්‍රපට සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සම්මානය
*1985 ජූරියේ විශේෂ සම්මානය – රංගනය,අධ්‍යක්ෂණය,නිෂ්පාදනය උදෙසා – සසර චේතනා
*1985 රණතිසර සම්මාන

*එමෙන්ම 2008 වර්ශයේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ශණය කරන ලද “ආකාස කුසුම් ” චිත්‍රපටයහි සන්ධ්‍යා රාණි ගේ චරිතයට පන පොවමින්- 39 වන ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලදි ජයග්‍රාහිකාව ලෙස රිදී මයුර සම්මානය හිමි කර ගනිමින් ලෝක ජනමාධ්‍යය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය ඔසවා තබන්නට හැකි විමද මෙහිලා සදහන් කරමි.

තවද 2009 වර්ශයෙදි ජැක්සන් ඇන්තනීගේ “අබා ” චිත්‍රපටයහි භද්දකච්චායනා කුමරිය ලෙස කර රංගනය වෙනුවෙන් සරසවිය සම්මාන උලලේදි හොඳම සහය නිලිය ලෙස සම්මානය හිමි කර ගන්නා ලදි.

මාලනියට ලැබුන ජාත්‍යන්තර තලයේ සම්මානයන් අතර,

malani-fonseka-3*1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් *සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
*1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
*1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
*රිදී මයුර සම්මානය – 39වෙනි ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
*1998 – උපහාර සම්මානය – ජාත්‍යන්තර සමුපකාර සමිතිය – කැළණිය

සදහන් කළ හැකිය.

ජනාධිපති සම්මාන අතර,

*1978 – හොඳම නිළිය – බඹරු ඇවිත්
*1979 – හොඳම නිළිය – වසන්තයේ දවසක්
*1981 – හොඳම නිළිය – ආරාධනා
*1985 – කලාසූරී සම්මානය
*1996 – “විශ්ව ප්‍රාසාදිනී” උපහාර සම්මානය – විශේෂ සම්මානය ජනාධිපති විසින් මාලිනී ෆොන්සේකා මහත්මිය හට පිරිනමනු ලැබූවා ඇය විසින් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයෙහි මෙහෙවරට.

සදහන් කළ හැකිය.

එමෙන්ම ලද “සිග්නීස (ඕසීඅයිසී) සම්මානයන් වන්නේ,

*1977 නිර්මාණශීලී රංග කුසලතා – එයා දැන් ලොකු ළමයෙක් / සිරිපාල සහ රන්මැණිකා සහ දෙවියනි ඔබ කොහෙද
*1980 නිර්මාණශීලී රංග කුසලතා – දඬු මොණරා
*1982 නිර්මාණශීලී රංග කුසලතා – බැද්දේගම /ඉන්දුට මල්මිටක් සහ සොල්දාදු උන්නැහේ
*1992 නිර්මාණශීලී රංග කුසලතා – මධුසමය
______________

තවද එදා සිට අද දක්වා දෙස් විදෙස් සිනමා කෘති 150ක පමණ ප්‍රධාන චරිත රඟපා පසු කාලීනව අධ්‍යක්ෂකවරියක, නිශ්පාදකවරියක ලෙස ලංකා සිනමා ක්ෂේත්‍රයට ඇය කළ දායකත්වය කිසි විටෙකත් මිල කළ නොහැකිය. එදා ආරම්භ කළ සිනමා දිවියේ මේ දක්වා ඇගේ රඟපෑම් දුටු සිනමා ලෝලියෝ සතුටු කඳූළු සැළුවෝය. සමහරෙක් ඇඩුවෝය. සමහරු දුක් වූවෝය. සමහරු පුදුම වූවෝය.

නිධානය, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ආකාස කුසුම්, ස්ත්‍රී , යන සිනමා කෘතිවල ඇගේ ප්‍රතිභාපූර්ණ රඟපෑම් වලින් ඔපවත් කර ඇත්තේය. ඇගේ රඟපෑම් ඒ තරමටම උසස්ය . විශිෂ්ටය . එම දක්ෂතාවයන්ට ඇය ලැබූ සම්මාන ගොන්නෙන් ඇගේ විසිත්ත කාමරය පිරී ඉතිරී ඇත්තේය.

සරසවි සම්මාන. කලා ශ්‍රී සම්මාන, විශ්ව ප්‍රසාදනී සම්මාන, රිදී මොනරා සම්මානය ආදි සම්මාන රැසක් හිමි කරගත් ඇය 2012 දි හා 2013 දි අනුපිළිවෙළින් ඉන්දියාවේ ජාත්‍යයන්තර සිනමා උළෙලෙ හා ඔස්ට්‍රේලියාවේ ආසියා පැසිපික් ජාත්‍යයන්තර සිනමා උළෙලේ විශේෂ ජූරියේ සමාඡිකාවක ලෙසද ඇය කටයුතු කළාය

2015 වර්සයේ මාර්තු 05 වැනිදා ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ ධෝවිල් 16 වැනි අන්තර් ජාතික ආසියා සිනමා උළෙලෙ ආරම්භ වුයේ ඇයගේ පනස් වසරක කලා දිවියට විශේෂ උපහාරයක් පුදමිනි.

මින් පෙර මෙම උළෙලේ උපහාර ලැබූවන් අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මා හා සුමිත්‍රා පීරිස් මහත්මිය අයත් වෙති. එය 2001 දී සිදුවුයේය.එහිදි උළෙල ආරම්භ කරමින් ධෝවිල් නගරයේ නගර සභාපති පිලිප් ඔඡියේ හා සිනමා උළෙලේ සභාපති ලයනල් ෂූසොන් දේශන පැවැත්වුහ. එහිදී සිනමා නිළි මාලනී විශේෂ ඇගයීමකට ලක් විය.

අවසාන වශයෙන් මෙම සටහන නිමාවට පත් කරමින් මා මෙලෙස යම් දෙයක් සදහන් කරමි…..නුතන නිලි රැජිණියනි ඔබ නැති දවසකට ඔබගේ අඩුව පුරවන්න කිසි විට කිසි දවසක ඔබ වැනි රංගණ ශිල්පිනියක් මෙ ලක් දෙරන මත බිහි නොවිම තුලින් ලාංකේ සිනමාවෙ ජාත්‍යන්තර සලකුනද මැකි යනු ඒකාන්තය.

එනම් මහා රංග වෙදිනියණි, ඔබට මා හදවතින් පතන්නෙමි සියක් අායු ගෙන චිරාත් කාලයක් ලාංකේය සිනමාව එකාලෝක කරන්නට වාසනාව ලැබෙවා යන්නයි.

අවිශ්ක මධුශංක බුලත්සිංහලගේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.