ජනපති අනාරක්ෂාව ගැන හෙලිදරව්වක්

Maithripala Srisena_4

 

 

 

 

ඉකුත් අපේ‍්‍රල් 25වැනිදා අඟුණකොළපැලැස්සේ පැවැති ශී‍්‍රලනිප හම්බන්තොට දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීමට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අසල සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ශරීර ආරක්‍ෂකයකුයැ’යි කියන යුද හමුදා කෝප‍්‍රල්වරයා සතුව නීති විරෝධී පිස්තෝලයක් තිබුණු බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් දැනගන්න තිබෙන ආකාරයට, එම රැස්වීමට සහභාගිවී සිටි මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සමග පැමිණි පිරිසට ඇතුළත් වූ මෙම කෝප‍්‍රල්වරයාගේ ඉනේ පිස්තෝලයක් තිබෙනවා දුටු බවට එම ස්ථානයේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ විශේ්ෂ කාර්ය බලකායේ නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශ දෙමින් කියා ඇත.

ආරක්‍ෂක ධුරාවලි (ප්‍රොටෝකෝල්) නියමයන් අනුව, අතිවිශේෂ ප‍්‍රභූවරයකු (වීවීඅයිපී) සහභාගිවන අවස්ථාවකට කිසිදු ආරක්‍ෂක නිලධාරියකුට ගිනි අවියක් රැගෙන පැමිණීමට අවසරයක් නොමැත.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක අංශයේ දිගු කලක් සිටියායැ’යි කියන මේ කෝප‍්‍රල්වරයාද ඒ බව නොදැන සිටින්නට ඉඩක් නැතැ’යි අදාළ ආරංචි මාර්ග පවසයි.

අදාළ සිදුවීමේදී ශාලාවට ඇතුළුවන පිරිස් පරීක්‍ෂා කිරීමට සැකසූ පෝලිම් තුනකින් යුත් සෝදිසි කපොල්ලට උදේ 10.30ට පමණ නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා පැමිණ තිබේ.

මන්ත‍්‍රීවරයා සෝදිසි කපොල්ල පසුකර අඩි දෙක තුනක් ඇතුළට යන අවස්ථාවේ එතැන සිටි ජනාධිපති ආරක්‍ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී මල්වලගේ දැක ඔහු සමග කතාබහ කොට තිබේ.

මල්වලගේ මහතා මීට පෙර ජනාධිපති රාජපක්‍ෂගේ ආරක්‍ෂක අංශයේ දීර්ඝ කාලයක් සේවය කළ අයකු වන අතර, දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂක අංශයේ සේවය කරන්නෙකි.

පරණ දැනහැඳුනුම්කම නිසා නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා මල්වලගේ මහතාගෙන් ‘මෙතැන ඩියුටිදැ’යි විමසා ඇති අතර, ‘ඔව්’යැයි මල්වලගේ මහතාගෙන් පිළිතුරු ලැබී ඇත.

ඒ අවස්ථාවේදී නාමල් රාජපක්‍ෂ මහතා ‘මෙයාත් ඇතුළට දාන්න’ කියමින් කෝප‍්‍රල් සේනක කුමාර පෙන්වා ඇති අතර මල්වලගේ මහතා ඔහු කැඳවා ‘ගිනි අවිය ළඟ තිබෙනවාදැ’යි විමසා ඇත.

‘නැත’ යනුවෙන් කෝප‍්‍රල්වරයාගෙන් පිළිතුරු ලැබුණු හෙයින්, විධිමත් ශරීර පරීක්‍ෂාවක් නොකරම ඔහු ශාලාවට ඇතුළුකොට ඇත.

එහෙත් මල්වලගේ මහතා නිකමට මෙන් කෝප‍්‍රල්වරයාගේ ශරීරය ස්පර්ශ කර ඇති අතර, අවියක කොපුවක් ඔහු ළඟ තිබෙන බවට හැඟීමක් ඇතිවී ඇති නමුත්, නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාට ඇති පක්‍ෂපාතීත්වය හා දැනහැඳුනුම්කම මත ඊට වඩා පරීක්‍ෂාවක් කරන්නට ගොස් නැත. ඒ අවසරයෙන් කෝප‍්‍රල්වරයා ශාලාව තුළට පිවිස තිබේ.

කෙසේ වෙතත්, ඇතුළත ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සිටි විශේෂ කාර්ය බලකායේ ශරීරාරක්‍ෂක නිලධාරියකුට කෝප‍්‍රල්වරයාගේ ශරීරයේ පිටුපස වම් පැත්තේ සාක්කුව අසාමාන්‍ය ලෙස ඉස්සී ඇති බව නිරීක්‍ෂණය වී තිබේ.

මේ නිලධාරියා තමන්ගේ ආසන්නතම උසස් නිලධාරියා වන සාජන්ට්වරයාට මේ ගැන දැනුම්දුන් විට ඔහු කෝප‍්‍රල්වරයාගෙන් කාගේ කවුදැ’යි විමසා තිබේ.

තමා යුද හමුදාවේ බවත්, මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂගේ ආරක්‍ෂක නිලධාරියකු බවත් කෝප‍්‍රල්වරයා පවසා තිබේ.

ඒ අවස්ථාවේ කෝප‍්‍රල්වරයාගේ දකුණු පැත්තේ ඉණ ඉස්සී තිබෙනු දුටු සාජන්වරයා කමිසය ඔසොවා ඉන පරීක්‍ෂා කොට ඇති අතර, එහි තිබූ කළු පැහැති බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් ඔහුට දැකගන්නට ලැබී තිබේ.

ඒ පිස්තෝලය තමන් දෑසින් දුටු බවට එහි සිටි තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශ ලබාදෙමින් තහවුරු කර තිබේ.

ශරීරාරක්‍ෂකයන් ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරී නිශ්ශංකට මේ කෝප‍්‍රල්වරයා ගැන දැනුම් දී ඇති අතර, ඔහු කිසිදු පරීක්‍ෂාවකට භාජනය නොකොට කෝප‍්‍රල්වරයා පිටතට යවා ඇත.

කෙසේ වෙතත්, අපේ‍්‍රල් 27වැනිදා කෝප‍්‍රල් සේනක කුමාර හා නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක රථයේ රියැදුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශ ලබාදීම සඳහා ස්වේච්ඡුාවෙන්ම පැමිණ තිබේ.

එහිදී කෝප‍්‍රල්වරයා පවසා ඇත්තේ, තමාගේ නිල ගිනි අවිය වාහනයේ කැබිහෝල් එකේ තබා ඇතුළට ගිය බවයි.

රියැදුරුද එම ගිනි අවිය වාහනයේ තබා ගිය බවට ප‍්‍රකාශකොට තිබේ. එහෙත්, එතැන සිටි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන් දෙනකුම ප‍්‍රකාශ ලබාදෙමින් කියා ඇත්තේ කෝප‍්‍රල්වරයා සන්තකයෙහි පිස්තෝලයක් තිබෙනු තමන් දුටු බවයි.

දැන් පැන නැගී ඇති ප‍්‍රශ්නය වන්නේ, කෝප‍්‍රල්වරයා ගිනි අවිය වාහනයේ තබා ඇතුළට ආවා නම්, ඇතුළතදී ඔහු සන්තකයෙහි ගිනි අවියක් තිබුණේ කෙසේද යන්නයි. මේ තත්ත්වය මත අනවසර ගිනි අවියක් සන්තකයේ තබාගත්තේය යන චෝදනාව මත යුදහමුදා කෝප‍්‍රල්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

කෝප‍්‍රල්වරයා නීති විරෝධී කිසිවක් නොකළේ නම්, පිටතට යන්නට කී විට තම ප‍්‍රභූවරයා වන නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළත සිටියදී ඔහු වහාම පිටතට ගියේ ඇයිද යන්නද විශේෂ විමර්ශනයට භාජනය වී තිබේ.

සාමාන්‍යයෙන් ශරීරාරක්‍ෂක නිලධාරියකුට කිසිම හේතුවක් නිසා සිය ප‍්‍රභූවරයාගේ දෘෂ්ටි මානයෙන් පිටතට යෑම තහනම් වන අතර අන් කිසිවකු පිටතට යන ලෙස අණ කළත් කිසිදු ශරීරාරක්‍ෂකයෙක් එසේ නොකරති.

මේ අතර නිවේදනයක් නිකුත්කරමින් මහින්ද රාජපක්‍ෂ මහතා කියා ඇත්තේ, තමාගේ ආරක්‍ෂක නිලධාරියකු නාමල් රාජපක්‍ෂ මහතා සමග තමා රැස්වීමට එවූ බවයි.

‘කෝප‍්‍රල් කුමාර මගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙකි. මාගේ ඉල්ලීම පරිදි ඔහු මාගේ පුත් නාමල් සමග ශ‍්‍රී.ල.නි.ප. දිස්ත‍්‍රික් කමිටු රැස්වීමට ගියේය.

ඔහු සමග සිටි ප‍්‍රාදේශීය සභා හා පළාත් සභා සාමාජිකයන්ට ප‍්‍රභූවරුන්ගේ දොරටුවෙන් ඇතුළුවීමට ඉඩ නොදුන් නිසා ඔවුන් සියලූදෙනාම පොදු දොරටුවෙන් ශාලාවට ඇතුළු වී තිබේ. කෝප‍්‍රල් කුමාර දොරටුව අසල රැඳී සිට ඇත.

මඳ වේලාවකට පසු පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරියෙක් ඔහු කවුදැයි ඇසූ විට තමා නාමල් මන්ත‍්‍රීවරයා සමග පැමිණි බවත්, තමා යුධ හමුදාවේ සාමාජිකයෙකු බවත් කෝප‍්‍රල් කුමාර ඔහුට පවසා තිබුණි.

එම ස්ථානයේ රැඳී නොසිටින්නයි ඔහුට කී විට කෝප‍්‍රල් කුමාර තමාගේ වාහනයට ආපසු ගොස් තිබේ.

රැස්වීමෙන් පසු මාගේ පුතාත්, කෝප‍්‍රල් කුමාරත් සෙසු අයත් ගෙදර පැමිණියෝය. මාගේ ආරක්ෂකයෙක් ශ‍්‍රී.ල.නි.ප. රැස්වීමට ගිනි අවියක් සමග පැමිණ හසුවී ඇති බවට අප පසුව දැනගත්තේ මාධ්‍යයේ පළවූ වාර්තාවලිනියැ’යි ඔහු සිය නිවේදනයෙන් කියයි.

(රාවය)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.