ජනවාරියක නික්ම ගිය සේකරට රත්න ශ්‍රී තැබූ මලක්

මානව සෞන්දර්යවාදී ගීත රචකයා

මහගම සේකර
නොදත්තෙය තමා රුව
අවට මිනිසුන් අතර
යෝධයකු වී නැඟී සිටින බව

නොදත්තෙය තමා හඬ
සුවහසක්‌ රසික සිත් සතන් තුළ
නිධානව ප්‍රතිරාව නඟන බව

මලක්‌ දැක හිනැහෙන
මල යනු කිමැයි නොදැන ම
කුඩා දරුවකු මෙන් විය ඔහු

අඩසිය වසකට ද වඩා අඩු වූ සිය ජීවිතයෙන් නොකල්හි සමුගෙන යන විට මහගම සේකර කවියකු ගීත රචකයකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම සෞන්දර්යය අධ්‍යාපනඥයකු ලෙස ද ඒ ඒ ක්‍ෂේත්‍රයන් හි කීර්තියක්‌ අත්කර ගෙන සිටියේය. ඔහුගේ අවසන් කෘතිය වූ ප්‍රබුද්ධ කාව්‍යයෙන් උපුටා ගත් ඉහත කාව්‍ය ඛන්ඩය අනුව ප්‍රබුද්ධ මෙන්ම සේකර ද සිය දැවැන්ත නිර්මාණකාය පිළිබඳ සැබෑ වැටහීමක්‌ ඇතිව සිටියේ නැත. සේකරගේ නිර්මාණ සමූහය පුළුල් විද්වත් රසික පර්ෂද හමුවට වඩ වඩාත් පැමිණෙන්නට වූයේ ඔහුගේ අභාවයෙන් පසුවය. සිය ජීවිත කාලය තුළදී නොලද අවධානයක්‌ අභාවයෙන් පසුව තම නිර්මාණ වෙනුවෙන් ලැබු සේකර එහිලා කෙරුණු විමර්ශන පසු කාලීන නිර්මාණකරුවන් වෙත අත්වැලක්‌ කොට දුන්නේය. මෙහිලා විමසා බැලෙන්නේ ඔහුගේ රචනා කිහිපයක දැක ගත හැකි විශේෂතාවන් ය. ඔහු ලද ආභාසයන් මෙන්ම ඒවා ඉක්‌මවා යන්නට ඔහු තුළ වූ ශක්‌තිය ද එමගින් පැහැදිලි වෙයි.

 

 

sekara1

තමා ගීත රචකයකු වීම සඳහා පළමු පෙළඹවීම ලැබුවේ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවෙහි පැවැත්වුණු ශ්‍රී චද්‍රරත්න මානවසිංහයන්ගේ දේශනයකට සවන් දීමෙන් පසුව බව සේකර සිය ගීත සංග්‍රහයේ පෙරවදනෙහි සඳහන් කරයි. ඒ අනුව සේකරගේ නිර්මාණවල ආරම්භයේදී ඔහු ගෞරවයෙන් සැලකූ පුරෝගාමී කවියකු වන මානවසිංහයන්ගේ රචනාවල ආභාසය දැන ගත හැකි වීම අරුමයක්‌ නොවේ.

අහසේ නිල් පැහැය උරා
මේඝ වළා කඩින් පෙරා
යමුණා ගඟ ඉහළ කොණේ
මල් බර නිල් උපුල් වෙනේ
ඉඳුනිල් මිණි කැට අතරේ
බැස යන සීතල වතුරේ

සේකරගේ මුල් කාලයේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍යය ඛණ්‌ඩය මානවසිංහයන්ගේ පහත දැක්‌වෙන කාව්‍ය ඛණ්‌ඩය සමඟ ඇති සමීප නෑකම රූපික ලක්‍ෂණවලට පමණක්‌ නොව කථන ක්‍රමයට ද අදාළ ය.

ඈත එපිට දිගු මඩලේ
මහ කඳු වැටියක අසලේ
නිහඬ පිටිය වනන්තරේ
මහ කළුවර ගස්‌ අතරේ

එමෙන්ම මානවසිංහයන්ගේ ප්‍රකට වෙසක්‌ බැති ගීයක්‌ සමඟ සේකර ලියූ අප්‍රකට වෙසක්‌ බැති ගීයක්‌ ද සස¹ බැලීම සුදුqසු ය.

සෑ මිදුලේ සමන් මලේ
වෙසක්‌ සඳේ කැලුම් මැවේ
සාධු සමාධි ගුණ ගීතයකි විහාරේ
(මානවසිංහ)

විහාර මළුවේ සඳ කැන් දහරේ
අරලිය වදුලේ මල් පොකුරේ
පුහුල් පහන්වල
ගොක්‌ කොළ තොරණේ
සුදු සඳ රැස්‌ – එකසේ පැතිරේ
(සේකර)

 

 


මහගමසේකර මුල් කාලයේදී ලියූ ඉහත කී කවි ඇතුළත් වී ඇත්තේ ඔහුගේ අභාවයෙන් පසු පළ වූ “නොපළ ගීත” කෘතියට ය. සේකර ඒවා මුද්‍රණයෙන් පළ නොකරන්නට ඇත්තේ මන්දැයි යන්න පිළිබඳව ද අපගේ සැලකිල්ලට යොමු විය යුතුය. කෙසේ වුවද ඉතා ඉක්‌මනින් තමාට පුරෝගාමී වූ නිර්මාණ අනුව ගිය මංපෙත වෙනස්‌ කළ සේකර, ස්‌වායත්ත ලකුණෙන් යුක්‌ත ස්‌වාධීන කවීත්වය අත්පත් කර ගත්තේය. මානවසිංහයන්ගේ නිර්මාණවල කැපී පෙනෙණ ලක්‍ෂණය වූයේ චමත්කාරයෙන්ම පිරුණු සෞන්දර්යාත්මක ගුණයයි. ඊට මානව සෞන්දර්යය එක්‌කළ සේකර, මානව ජීවිත ඇසුරින් කළ සෞන්දර්යාත්මක විවරණය සිය නිර්මාණවල විශේෂතාව බවට පත් කර ගත්තේය.

මුල් අවධියේ සිය නිර්මාණවල භාෂාධිපත්‍යය, ව්‍යක්‌තභාවය සහ වනි හා ව්‍යඤ්ජන ගුණ පිණිස මහගම සේකර වඩාත් සමීපව ඇසුරු කළේ මහාචාර්ය සරච්චJද්‍රයන්ගේ නිර්මාණ සාහිත්‍යයි. සේකරගේ ප්‍රථම ගී නිර්මාණ ඇතුළත් “ස්‌වර්ණතිලකා” නාට්‍යයේ රචනාවලින් මේ ආභාසය මැනවින් පෙනේ. “ස්‌වර්ණතිලකා” නාට්‍යයේ ස්‌වර්ණතිලකාව දැක්‌මෙන් සිත් කැළඹිල්ලට පත් වන උද්දාල බමුණාගේ සිත, සේකර ගීත ආකෘතියට ගොනු කරන්නේ මෙලෙසිනි.

අන්ද – මන්ද වීය චිත්ත මා
ඇගේ ස්‌වර්ණකාන්තියේන
අන්ද – මන්ද වීය චිත්ත මා
කින්නරාංගනා සමාන
රූපයේන කායයේන
කින්ද මේ වුණේ
නොදැනේ ය මිතුරනේ
(ස්‌වර්ණතිලක)

අන්ද මන්ද වූයේ මසිතා
මෙ පුවතින
කින්ද නොදැනේ මේ අරුමා

(මනමේ)

මනමේ නාට්‍යයට ඇතුළත් ව තිබූ “ප්‍රේමයෙන් මන රංජිත වේ” නම් සුප්‍රකට ප්‍රේම ගීතය සේකර සිය “ස්‌වර්ණතිsලකා” නාට්‍යයේ උද්දාල සහ ස්‌වර්ණතිලකා අතර කැරෙන ප්‍රේම සංවාදය සඳහා ආභාස කොට ගෙන තිබේ.

උද්දාල  – එනු ස්‌වර්ණලතා – එනු ස්‌වර්ණලතා
මට ප්‍රේමයේ ආලෝකය පෑ
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිsලා
සුගන්දේ ආනන්දේ ගෙන එන්නේ
මදන රඟ මණ්‌ඩප පේ කරලා

ස්‌වර්ණලතා – සඳ වේය උදා – සඳ වේය උදා
ලොව රිදියෙන් නාවාලා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
නැළවෙන්නේ සැනසෙන්නේ වනගුල්මේ
යහන මත මංගල ගී කියලා

මනමේ නාට්‍යයේ පාත්‍රයන් මෙන් ම ස්‌වර්ණතිලකා නාට්‍යයේ උද්දාල හා ස්‌වර්ණතිලකා දෙදෙනා ද සිය අෙන්‍යාන්‍ය ප්‍රේමය ප්‍රකාශ කර ගත්තේ පරිසරය ආධාරයෙනි. පරිසර සුවනය මගින් සිය හැඟීම ඒ ඒ වස්‌තුන්ට ආරෝපණය කිරිම එකී නිරූපණ ක්‍රමයයි.

සිය නිර්මාණ පිළිබඳව වහා තෘප්තිමත්ව සෑහීමකට පත්වී එය පසෙක තැබීම සේකරට අභිමත නොවීය. 50 දශකයේ අග භාගයේදී ස්‌වර්ණතිලකා නාට්‍යයට ඔහු ලියූ ඉහත සංවාද ගීතය නැවත නැවතත් සකස්‌ කරමින් සිටී. ඔහු තමාගේ කුණ්‌ඩලකේශි නාට්‍යයට පරිසමාප්ත ගීතයක්‌ ලෙස එය ඇතුළත් කිරීමට සමත් විය. ඒ මෙලෙසිනි

අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු
සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස්‌ කියනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන් මන
බන්දා සෙනේ සිතිනි
ලියවැල් පැටලී ගොසිනී
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
මන්මද රංගන මණ්‌ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා ස්‌වාමිනේ

ඒ ගීතයට ඇතුළත් “අත් පසුරෙන් තුරු පෙම්බරයන් මන බන්දා සෙනේ සිතින” යන සංකල්ප රූප “සොර පව්ව” නම් ඔහුගේ මුල් කාලයේ ලියූ නාටකයක දී හමුවන්නේ “රළු ගස්‌ කඳ වැළඳ බදා” යනුවෙනි.

මේ අයුරින් සංකල්ප රූපවල නිර්මාණාත්මක ලක්‍ෂණ ඉහළ නැංවීමත්, ආධිපත්‍ය තහවුරු කර ගැනීමත් පමණක්‌ නොව සුගේයනාව වැඩිදියුණු කිරීමට අදාළ ශබ්දාලංකාර වර්ධනය කර ගැනීමත් ඔහු අතින් සිදුවිය. “සොර පව්ව” නාටකයට ඔහු ලියූ එක්‌ ගී ඛණ්‌ඩයක්‌ මෙසේ විය.

ගල් පර්වතයේ හැපිලා
ජල ධාරා ඇද හැලිලා
ගනි නිවුණා ඇවිලී ළසෝගේ

සේකරගේ නිර්මාණ සාහිත්‍යයේ විශේෂ ලක්‍ෂණ සාකච්ඡා කරන විට අවධානය යොමු විය යුතු තවත් කරුණක්‌ නම් පාලි හා සංස්‌කෘත සාහිත්‍යයෙන් ඔහු ලබා ඇති ආභාසයයි. චJද්‍රරත්න මානවසිංහ කවියා සිය නිර්මාණයෙහි මාර්ග කෝෂය පොහොසත් කර ගැනීම සඳහා පමණක්‌ නොව නිර්මාණවලට අදාළ පුවත්, අත්දැකීම් හා උක්‌තීන් සඳහා ද සංස්‌කෘත සාහිත්‍ය සමීපව ඇසුරු කළේය. ඔහු පාළි සාහිත්‍යයට නැඹුරු වූ බව පෙනෙන්නේ “පාතුර හෝසි බුද්ධ ජයන්ති” යනුවෙන් ලියූ බුද්ධ ජයන්ති ගීතය ආදී රචනා කිහිපයකදී පමණි.

එහෙත් මහගමසේකර සංස්‌කෘත සාහිත්‍යයට වඩා බෙහෙවින් ඇසුරු කරන්නේ පාලි සාහිත්‍යයයි. ජාතික පාලි පමණක්‌ නොව ථේර ථේරි ගාථාව ද සේකර ගේ රචනාවන්ට බෙහෙවින් මූලාශ්‍ර වී තිබේ. සද්ධර්මාලංකාරයෙහි ස්‌වර්ණතිලකා වස්‌තුවට ඇතුළත් පහත දැක්‌වෙන පාළි ගාථාව සේකර පදානුපදිකව සිංහල ගීතයට නඟන්නේ අරුත් රස සුන් නොවන අයුරිනි.

ලලනානනානි – චලලෝචනානී
තරුණාරුණානී – චලිතාදරානී
මනුජෝහියෝ නෙත්ත පියං කරෝති
සතුනීව ජාති මපිනෝජ භාති

නීල නයන අරුණේ පැහැ රඳනා
පීන අදර දර රූබර ලලනා
හීන කුලේ වුව දුටු සිත ලොබිනා
නූන පෙමින් අත් නොහරිති නිතිනා

සුභා තෙරණිය ගේ ථේරි ගාථාව ඇසුරින් ඔහු ලියූ ගීය ථේරී ගීයෙහි ඇතුළත් අලංකාරෝක්‌ති වඩාත් දියුණු කිරීමක්‌ මෙන් ම ඔහුගේ ප්‍රතිභාව මගින් නව සම්පත් රැස්‌ කිරීමක්‌ ද වේ.

අපි දූරගතා සරම්හසේ

ආයත පම්හෙ විසුද්ධ දස්‌සනේ
නහිචත්ථිතයාපියතරේ
නයනා කින්නරී මන්ද ලෝචනේ
(සුභාය ජීවකම්බත්ත නිකාය ථෙරී ගාථා-30,38)

කිඳුරඟනකගේ වැනි අඩවන් ඇස්‌ ඇත්තිය. දුරකට ගියේ වී නමුදු දික්‌ වූ ඇසිපිය ඇති පරිසුදු ඇස්‌ සිහිකරමි ඔබට වැඩි ප්‍රියතාරාවක්‌ මට නැත්තේය.

මේ අරුත් සේකර අතින් සිංහල ගීයට නැගෙන්නේ මෙලෙසිනි.

ඈත කඳුවැටි සේ නැමී ගිය
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දැසයි

මෙහි අරුත් සරසන ඈත කඳුවැටි සේ නැවී ගියේ නම් අලංකාරෝක්‌තිය සේකරගේම ප්‍රතිභාවෙහි සලකුණු ය.

සුළු කළිඟු කුමරියගේ රුසිරු වනන්නට ගුරුළු ගෝමීන්ට ද මූලාශ්‍ර වූවා සේ සැලකෙන මහා කවි කාලිදාස ප්‍රණීත කෘතියක්‌ සේ සැලකෙන “ශෘංගාර තිලක”, කාව්‍යයේ එන පහත ප්‍රකට පද්‍යාර්ධය බැලුව මැනව.

ඉන්දිවරේන නයනං මුඛ මම්බුඡේන
කුංදේන දන්ත මදරන් නව පල්ලවේන

සේකර නිම වන නීල උත්පල දිගටි දැස හා ආලවඩන දන්ත කැකුළු කුන්ද සමන් ආදී සංකල්ප රූපාවලී ඒ සකු කව් ඇසුරු කරන්නේ නොවේද? රත්නදීප හා නිරිඳුනි මේ මහා සීගිරි කූඨය ආදී ගීත කිහිපයකදීම ඖචිත්‍යය නොනසා සකු තත්සම වදන් හි සේවය තම ගීතෝක්‌ති අලංකාරවත් කරන්නට සේකර යොදාගෙන තිබේ. ඒ මේ අයුරිනි

පර්වත ප්‍රාන්තයේ
සුරංගනාවන් රතැඟිලි පොකුරේ
නිල් මහනෙල් මල් කැකුළු පිපේ
සෝපානේ දර්පණයේ
කවියට මුසු වී – හැඩ රුව ඔප වී
උන්ගේ ඡායා මැවී පෙනේ

මානවසිංහයන්ගේ ඉරහඳ පායන ලෝකේ, ගමන නොනිමෙයි, ජීවන ගමනේ ආදී ගීතත්, මඩවල රත්නායකයන්ගේ තණ්‌හා ආශා වැනි ගීතත් බෞද්ධ දාර්ශනික සංකල්ප ඇසුරෙන් සියුම් වින්දනාර්ථ සපයන සෘජු සදුපදේශ නොවූ නිර්මාණයන්ය. සේකර ලියූ රටකින් රටකට පාර අසාගෙන අද තැනකයි – හෙට තැනකයි ආදී ගීත ද එබඳුම බෞද්ධ දාර්ශනික සංකල්පවලින් සැරසී තිබේ. එහෙත් ආදරයයි කරුණාවයි චිත්‍රපටයට ඔහු ලියූ ගීය එමගම ගියද නිර්මාණාත්මක ලකුණින් වඩාත් පොහොසත් විය.

දුක සැප දෙකටම උල්පත එක වේ
එකම ගඟක දිය වේ
සැපත විපත වේ විපත සැපත වේ
ඒකයි ලොව නියමේ

දාර්ශනික අර්ථ ගීයට නැගීමේ විරල අවස්‌ථා සේකර වඩාත් අර්ථවත් කොට ගෙන ඇත්තේ එහිදී විශ්ව සාහිත්‍යයේ ද ඇසුර ලැබීමෙනි. ඛලීල් ජිබ්රාන්, සරෝජනී නායිදු, රවීන්ද්‍රනාත් තාගෝර් සහ ඔමාර් ඛයියාම් වැනි විදෙස්‌ කවි කිවිඳියන්ගේ රචනාවන් හි දාර්ශනික අර්ථ ඔහු සිංහල ගීයට නැගුවේ, සරල ගීතෝක්‌ති නිර්මාණය ගැන අමතක නොකරය. සරෝජනී තායිදුගේ ,ෂබාස්‌බ උeaඩැරි, ඉන්දියානු වියත්තෝ නම් කවි පෙළ වඩාත් සංවෘත හා ඒකීය ධාරණාවක්‌ යටතේ සංවිධානය කරමින්, වනි පූර්ණ දේශජ සංකල්ප රූපාවලියකින් සරසමින් ඔහු ලියූ “සන්නාලියනේ” ගීතයේ රුව – ගුණ බෙහෙවින් ප්‍රකට ය. ඛයියාම් ගේ රූබයියාට්‌ හි 11 වැනි පද්‍යය සේකර විසින් නිදහස්‌ කවියට නගනු ලැබ ඇත්තේ මෙලෙසිනි.

තුරු වදුලේ
රුක්‌ සෙවණේ පූපයක්‌ අතින් ගෙන
සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ ඔබ ගී ගයනා විට
මේ වන රොද පාරාදීසයකි මට

ගීයේ සහ කවියේ සීමා මායිම් මෙන් ම සුවිශේෂතා ද මැනවින් දැන සිටි සේකර, ශබ්දාලංකාර සහ භාෂාව තන්වැසි නුවණින් භාවිතයට ගත් අන්දම පිළිබඳ කදිම නිදසුනකි ඉහත කවියම ගීයට නැගූ අවස්‌ථාව.

සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවණැල්ලේ
ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ
මේ වන රොද මට ස්‌වර්ග රාජ්‍යයයි
සුරංගනා වියනේ

රත්න ශ්‍රී විඡේසිංහ

FU2

රත්න ශ්‍රි ත් ඒ ජනවාරි හැන්දෑවේ මෙතැන සිටියේය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.